සම්මා වාචා - මහා චත්තාරීසක සූත්‍රයෙන්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිවන සඳහා වන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී දේශනා කොට වදාළ කරුණු මීට පෙර ත්‍රෙඩ් වලින් කියවිය හැකියි.

    1. සම්මා දිට්ඨිය යනු කුමක්ද?: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
    2. මාර්ග අංග සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/
    3. සම්මා සංකප්ප: https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006030/

    * ඊළඟ මාර්ග අංගය "සම්මා වාචා"ය. සම්මා වාචා යනු කුමක්ද? බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී ඒ පිළිබඳව මෙසේ දේශනා කළ සේක.


    මිත්‍යා වාචා:

    ~ කතමා ච භික්ඛවේ, මිච්ඡාවාචා: මුසාවාදෝ පිසුණා වාචා ඵරුසා වාචා සම්ඵප්පලාපෝ. අයං භික්ඛවේ මිච්ඡාවාචා. ~

    පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා වාචා කියන්නේ? බොරු කීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා වාචා.


    ලෞකික වශයෙන් වන සම්මා වාචා:

    ~ කතමා ච භික්ඛවේ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා: මුසාවාදා වේරමණී, පිසුණාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී. අයං භික්ඛවේ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා. ~

    පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වාචා කුමක්ද? ඒ කියන්නේ බොරුවෙන් වැළකුණු වචන කතා කිරීම, කේළමෙන් වැළකුණු වචන කතා කිරීම, ඵරුෂ වචනයෙන් වැළකුණු වචන කතා කිරීම, හිස් වචනයෙන් වැළකුණු වචන කතා කිරීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වාචා නම් මෙයයි.


    ලෝකෝත්තර වශයෙන් වන සම්මා වාචා:

    ~ කතමා ච භික්ඛවේ, සම්මාවාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා: යා ඛෝ භික්ඛවේ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ චතුහිපි වචීදුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී. අයං භික්ඛවේ, සම්මාවාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. සෝ මිච්ඡාවාචාය පහානාය වායමති, සම්මාවාචාය උපසම්පදාය. ස්වා’ස්ස හෝති සම්මාවායාමෝ.

    පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ සතර ආකාර වූ වචී දුෂ්චරිතයට නොඇලී වෙන් වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කියලයි.


    ~ සෝ සතෝ මිච්ඡාවාචං පජහති. සතෝ සම්මාවාචං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හෝති සම්මාසති. ඉති’ස්සිමේ තයෝ ධම්මා සම්මාවාචං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි, සම්මාවායාමෝ, සම්මාසති. ~

    එතකොට ඔහු මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා වාචා උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා වාචා අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා වාචා උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා වාචාවලට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.

    තෙරුවන් සරණයි!

    ඊළඟ ත්‍රෙඩ් එක: https://elakiri.com/threads/සම්මා-කම්මන්ත-යනු-කුමක්ද-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006370/
     
    Last edited: