පසුගිය දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගල්ගමුව විවිධ සේවා සමූපකාරය සඳහා සභිකයන් තෝරා ගැනීමේ නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන කණ්ඩායමක් ජයග්‍රහණය කර තිබෙන බවට වාර්තා පළවුණා. ඒ පිළිබඳව බණ්ඩාර තිලකරත්න නම් අයෙකු සිය ෆේස් බුක් හි පළකර තිබූ සටහනකින් කොටසක් මෙහි පළකරන්නේ ඒ පිළිබඳව අපගෙන් කළ විමසීම් සඳහා යම් පැහැදිලි කිරීමක් ඉන් ලැබෙන නිසාවෙනි.
“සමූපකාර ඡන්දය හෙවත් කසකරුවන්ගේ සම්ප්‍රාප්තිය
ගල්ගමුව, මා උපන් හද්ද පිටිසර ගම්මානය අයත් වන ආසන්න නගරයයි. කුඩා කල අම්මා එක්ක පාසල් නිවාඩු කාලේ ආවේ ගල්ගමුව පොළටයි. අපේ ගෙදර ඉස්සරහින් මාසෙකට වතාවක් විතර ‘ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතිය’ කියලා ලියලා තියෙන ලොරියක් යනවා. අපේ ගමට එහා ගමේ තියෙන මහමේරුව ප්‍රාදේශිකයට තමයි ඒ ලොරිය යන්නෙ. ඒත් අපි සමූපකාර කියන්නෙ මොකක්ද කියලා දැනගෙන හිටියෙ නෑ. අම්මලා නං ඒකට සමාගං කඩේ කියලයි කිව්වෙ.
සමූපකාර ඡන්දය ගැන නං මං පුංචි කාලෙ ම දැනගත්තා. අපේ ගමේ ම කෙනෙක් ඇවිල්ල අප්පච්චිට සමූපකාර සාමාජික වෙන්ඩ කිව්වා. අප්පච්චි ගණන් ගත්තෙ නෑ. හේතුව සාමාජික මුදලක් දෙන්නෙ අපරාදෙ කියලා අප්පච්චි හිතපු එක. මොකද ගමේ සාමාජික වෙන නොවෙන කාටත් ලැබිච්ච එක ම දේ සල්ලි දීලා බඩු ගන්න එක විතරයි. ඒකට ඉතිං සාමාජික වෙන්ඩ ම ඕන යැ. ඒත් අප්පච්චිට සාමාජික වෙන්ඩ කියපු කෙනා එක දවසක් ඇවිත් අප්පච්චි බලෙන් ම එකතු කරගෙන ගිහිං සාමාජික මුදල එයා ම බැඳලා සාමජිකත්වය අරගෙන දුන්නා. ඊට අවුරුද්දක් විතර ගියාට පස්සෙ මෙන්න අරය ආපහු ඇවිත් කියනවා සමූපකාර ඡන්දය තියෙනවා. අපට ඡන්දය දෙන්න කියලා. අප්පච්චි ඡන්දය දාන්න ගියෙ නෑ. පහුවදා අරයා ඇවිත් බැනලා ගියා. ඔන්න ඔය විදියට එයාල ම සාමාජික මුදල් දීලා බන්දවපු සාමාජිකයන්ගේ ඡන්දය අරගෙන එයාලා ම අධ්යක්ෂ මණ්ඩලයට ගියා. සමුපකාරය බලය හිමි දේශපාලකයන්ගේ ව්‍යාපෘතියක් බවට පත් වුණේ එහෙම. ඒ සමූපකාරයට සේවකයන් බඳවා ගන්නකොට ප්‍රදේශයේ මන්ත්‍රීට බලය ලැබුණේ ඒ විදියට. අදටත් සමූපකාරයේ සාමාජික බහුතරයක් අර විදියේ අපේ රට මෙතෙක් පාලනය කරපු උත්තමයන්ට සිංහාසන හදපු අපේ අප්පච්චිලා වගේ අහිංසක මිනිස්සු.
ගල්ගමුව සමූපකාරයේ ඡන්දයකට ජවිපෙ මීට කලින් ඉදිරිපත් වුණේ නෑ. හේතුව ජවිපෙ කාටවත් තමන්ගෙ අතින් සාමාජික මුදල් ගෙවලා සාමාජිකයෝ දාහක් විතර බන්දවන්ඩ අවශ්‍ය වුණේ නෑ. එහෙම කරලා තමන්ට ජීවන මාර්ගයක් හදා ගන්න එක දේශපාලනය නෙවෙයි කියලා ජවිපෙ දන්නවා. මේ පාර රටේ දේශපාලනය වෙනස්. ජාතික ජනබලවේගය විදියට ගම්දනව්වල ජවිපෙ පීඩිත මිනිසුන් හොයාගෙන ගියා. ඒ අතරෙ තමයි පහුගි 23 වන දා (දෙසැම්බර් 23) සමූපකාර ඡන්දය යෙදුණේ. ඉතිං, අරවිදියට සාමාජිකත්වය ගත්ත මිනිස්සු ම ජවිපෙට ආරාධනා කළා, බලපෑම් කළා සමූපකාර ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා. ඊට පස්සෙ තමයි ජවිපෙ නායකත්වය යටතේ කණ්ඩායමක් ඉදිරිපත් වුණේ. ඒ අය අතර බහුතරයක් පොහොට්ටු සහ යූඇන්පී මත දරපු ක්‍රියාකාරී අය. මේ වෙනස දැකපු අලි පොහොට්ටු හොරු හොඳට ම කලබල වුණා. පළාතේ ඉහළ නායකයන් එකතු වෙලා එකට තරග කරන්න තීරණය කළා. ගෙවල් ගානෙ ඇවිදලා කැන්වසින් කළා. අංක ලියපු තුණ්ඩු අතට ම දීලා වෙන දා වගේ ම අපට ඡන්දය දෙන්න කීවා. මිනිස්සුත් හිනාවෙලා දෙන්නම් කීවා. ජවිපෙත් ඒ විදියට ම මිනිසුන්ගෙන් ඡන්දය ඉල්ලා හිටියා. නියමිත දිනයේ මිනිස්සු ඡන්දය දුන්නා. ඒ කොහොම ද දන්නවා ද? අලි පොහොට්ටු සෙට් එක දාපු වාහනවල ම ආවා. (ජවිපෙ මිනිස්සුන්ට වාහන නෑ) උන් ම අරගෙන දීපු තේ වතුරත් බීවා. ජවිපෙ හිතුවෙ ම හැම දා ම වගේ මේ පාරත් මිනිස්සු එයාලට පස්ස හරවයි කියලා. ඒත් එහෙම නෑ. කූඩුව අස්සට ගිහිං හරියට වැඩේ කෙරුවා.
ගල්ගමුව සමූපකාර සමිතියට අයිති ප්‍රාදේශික ඡන්ද මධ්‍යස්ථාන 26යි. එවායින් 15ක ම බලය හිමි වුණේ ජවිපෙ ප්රමුඛ කණ්ඩායමට.
1. දේවගිරිපුර - 9/9
2. මහගල්කඩවල - 7/9
3. බුල්නෑව - 9/9
4. පලුකන්දෑව - 9/9
5. මීගලෑව - 5/9
6. කත්නෝරුව - 9/9
7. ගල්ගමුව දකුණ - 9/9
8. නාන්නේරිය - 9/9
9. ජයබිම - 9/9
10. උස්ගල ගැමුණු - 8/9
11. නොච්චිය - 8/9
12. වලත්වැව - 9/9
13. ඇහැටුවැව - 8/9
14. හිද්දෑව - 9/9
15. බෝංගම - 9/9
මේ එක් ප්‍රාදේශිකයක් සඳහා අපේක්ෂකයින් 9ක් බැගින් තෝරා ගැනීමට නියමිතයි. මේ 15 හැර ඉතිරි මධ්‍යස්ථාන 9හි ද ජවිපෙට බලය අහිමි වී ඇත්තේ ඡන්ද සීමිත ගණනකින්. එක් මධ්‍යස්ථානයක අපේක්ෂක 9 දෙනා ම ගිලිහී ඇත්තේ ඡන්ද තුනක් අහිමි වීමෙන්. තවත් මධ්‍යස්ථානයක ඡන්ද 8කින් ගිලිහිලා. ඒ සියල්ල ජවිපෙ ලද යෝධ ජයග්‍රහණ බව කිව යුතුයි. මේ විදියට ගල්ගමුව සමූපකාරයේ මහ සභාව සඳහා තෝරා ගැනෙන නියෝජිතයන් සිය දෙනා අතරට ජවිපෙ සටන් සගයන් 57ක් තෝරා යවන්න ගල්ගමුවේ අපේ මිනිසුන් කටයුතු කරලා තියෙනවා.
මේ සිදුවීම නිකං ම වෙච්ච එකක් නෙවෙයි. ජාතික ජනබලවේගයේ මිනිස්සු කාපු කට්ටක ප්‍රතිඵලය. ඒ අය ගත්ත වෙහෙස අසීමිතයි. ඔය අතරෙ අලිපොහොට්ටු සහ පුතාණෝගෙ සෙට් එකට යනඑනමං නැතිවෙච්ච සිදුවීම් පවා තියෙනවා. සමිතියේ හිටපු සභාපතිට ඡන්දය තිබුණේ ගල්ගමුව දකුණේ. එයා අතින් සල්ලි දීලා සාමාජික කරපු හාරපන්සීයක් විතර ඒකෙ ඡන්දය දුන්නා. ඒත් එයාට ඡන්ද පනහක්වත් තිබුණේ නෑ කියලයි ආරංචිය. 9 දෙනා ම ජවිපෙන් තමයි මිනිස්සු තෝරලා තිබුණේ.
තව අපූරු සිද්ධියක් ගල්ගමුව නගරය ආසන්න ඡන්ද පොළකින් වාර්තා වුණා. නගරයේ ප්‍රබල පොහොට්ටු සාමාජිකයෙක් ඡන්ද පොළට එනකොට ම පොහොට්ටු සෙට් එක ගිහිං එයාව වටකරගෙන එයාලගෙ අංක දීලා මනාප ගහන්න කිව්ව ලු. මේ මනුස්සයා මහා හයියෙන් ‘ඇයි තොපිට හොරා කෑවා මදි ද? ....’ කියලා කුණුහරුපත් කියලා. ‘මම දෙන්නෙ ජවිපෙට. තොපි මේ රට කෑවා’ කියලා සද්දෙන් කීව කියල මට කිව්වෙ එතන හිටපු මගෙ යාළුවෙක්.
අනෙක ඔය මහගල්කඩවලයි උස්ගල ගැමුණුයි ඡන්ද මධ්‍යස්ථාන දෙක ගල්ගමුව ප්‍රාදේශීය සභාවෙ සභාපතිගෙ බලප්‍රදේශයට අයිති දෙකක්. ඒ දෙක ම පරාදයි. අනික බුල්නෑව. එහෙ ඉන්නවා ප්‍රාදේශීය සභාවෙ උපසභාපති වගේ පොරක්. එයා තමයි අරගලේට ගහන්ඩ ගිහිං බේරේ වැවෙන් නාලා එහෙම ආවෙ. මිනිහා දාපු කණ්ඩායමට වැලේ වැල් නෑ. ඡන්ද ගණන් කරන්ඩ පටන්ගෙන විනාඩි පහළොවක් විතර යනකොට කට්ටිය වාෂ්ප වෙලා.
තව සිදුවීමක් තමයි ගල්කඩවල, නාන්නේරිය, මීගලෑව, ගල්ගමුව දකුණ වගේ ඡන්ද මධ්‍යස්ථාන ළඟ තිබුණු වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් තිබුණු සහය. එයාලා පාරට ඇවිත් කෑගහලා කියනවා ජවිපෙට ඡන්දය දෙන අය ඇවිල්ලා තේ එකක් බීලා යන්න. එයාලගෙන් සල්ලි ගන්නෙ නෑ කියලා. ඇත්තට ම මිනිස්සු ජවිපෙ හදවතින් ම අල්ලගෙන ඉන්න බව පැහැදිලියි.
සමූපකාර සඳහා අඩු ම තොග මිලට භාණ්ඩ සපයා දිය හැකි නම් ඔබ ඉදිරිපත් වන්න. ඔබට අවස්ථාව ලැබෙනු ඇත. සමූපකාර පරිශ්‍රය ප්‍රියමනාප තැනක් කර ගැනීමට ශ්‍රමදානයක් කිරීමට සිදුවුවහොත් ඔබ එයට දායක වන්න. සමිතිය දියුණු කිරීමට යෝජනා අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන්න. එකා සැමටත් සැම එකාටත් යන සමූපකාර සංකල්පය අකුරට ම ඉටු කිරීම ගල්ගමුවෙන් පටන් ගනිමු” යි එම ෆේස්බුක් සටහනේ සඳහන්ව තිබෙනවා.