#සරණ_නම්_කුමක්_ද?

සසර සැරිසරණ සත්ත්වයනට පැමිණිය හැකි අපාය දුක්ඛයෙන් හා ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාශ යන සංසාර දුක් වලින් ද මිදීම පිණිස සත්ත්වයනට උපකාර වන බැවින් බුද්ධ ධර්ම සංඝ යන මේ අත්‍යුත්තම වස්තු තුන ශරණ නම් වේ.
#බුද්ධ_නම්_කවරේ_ද?

සසර සැරිසරන අසරණ සත්ත්වයන් ගැන ඇති වූ මහා කරුණාව නිසා බොහෝ දුක්ගෙන අති දීර්ඝ කාලයක් දානශීලාදි පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පුණ්යස්කන්ධයාගේ බලයෙන් සියලු කෙලෙසුන් නසා සියල්ල දැන වදාළා වූ මහාකාරුණිකයන් වහන්සේ බුද්ධ නම් වන සේක.
#බුදුන්_වහන්සේ_සත්ත්වයනට_පිහිට_වන්_කෙසේ_ද?

මේ කුශලය, මේ අකුශලය ය, මේ කළ යුත්ත ය, මේ නොකළ යුත්ත ය, මෙසේ කිරීමෙන් මෙබඳු විපාක ඇතිවන්නේ ය” යි දුකින් මිදීමේ ද, ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීමේ ද මඟ දක්වා අනුශාසනා කිරීමෙන් බුදුන් වහන්සේ සත්ත්වයනට පිහිට වන සේක.
#බුදුන්_වහන්සේගේ_පිහිට_ලබන්නේ_කෙසේ_ද?

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් ද උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙන් ද උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළිපැදීමෙන් ද පිහිට ලැබිය යුතු ය.
#ධම්ම_රත්නය_සත්ත්වයනට_පිහිට_වන්_කෙසේ__ද?

සත්ත්වයනට ඒකාන්තයෙන් පිහිට වන්නේ ධර්මරත්නය ය. එහි පිිහට ලැබීමට සතරමාර්ග සතරඵල ධර්ම තමා තුළ ඇති කර ගත යුතු ය. නිවන් ප්රත්යක්ෂ කර ගත යුතු ය. මාර්ග ඵල ධර්ම නිසා තමා කෙරෙන් නොයෙක් දුක්වලට හේතුවන රාගාදි ක්ලේශයෝ මතු නොහට ගන්නා පරිද්දෙන් දුරුවෙති. එය මාර්ගඵලවලින් ලැබෙන පිහිට ය. නිවන ප්රත්යක්ෂ කර ගත් කල්හි එහි බලයෙන් මතු කිසි කලෙක දුක් ඇති නොවේ. බුදු රදුන් දෙසූ දහම සත්ත්වයනට දුකින් මිදීමට හා සැපයට පැමිණීමට මඟ දැක්වීම වශයෙන් පිහිට වේ.
#ධර්මරත්නයේ_පිහිට_ලබන්නේ_කෙසේ_ද?

ශීලයෙහි පිහිටා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදී මඟඵල ලබා නිවන ප්රත්යක්ෂ කර ගැනීමෙන් ලෝකෝත්තර ධර්මයන්ගේ පිහිට ලැබිය යුතු ය. තථාගතයන් වහ්නසේ දේශනා කර ඇති ධර්මය උගෙන තේරුම් ගෙන ඒ ධර්මය අනුව වැඩ කිරීමෙන් දේශනා ධර්මයේ පිහිට ලැබිය යුතු ය.
#සංඝරත්නය_පිහිට_වන්නේ_කෙසේ_ද?

ගොවියකුට කුඹුරක් පිහිට වන්නාක් මෙන් ද, අනුශාසනා කිරීමෙන් ද සංඝරත්නය ජනයාට පිහිට වේ. අපමණ සීලාදි ගුණවලින් යුක්ත බැවින් සංඝරත්නය උතුම් පින් කෙතකි. සරු කුඹුරෙහි වපුරා ගොවියන් බොහෝ ඵල ලබන්නාක් මෙන් සංඝරත්නයට පූජා සත්කාර කොට බොහෝ මනුෂ්‍යයෝ ද දෙවිමිනිස් සැප ලබති. සංඝරත්නයක් නැති නම් ජනයාට ඒ පින් නොලැබිය හැකි ය. පින් ලැබීමට උපකාරවීම සංඝරත්නයෙන් ලැබෙන පිහිට ය. බොහෝ භික්ෂූහු මහජනයාට දෙලොව වැඩ පිණිස අනුශාසනය කෙරෙති. එද සංඝයා ජනයාට පිහිටවන එක් ක්‍රමයෙකි.
#සංඝරත්නයේ_පිහිට_ලැබෙන්නේ_කෙසේ_ද?

පින් කෙතක් වන මහා සංඝරත්නයට සිවුපසය පිරිනැමීමෙන් හා වත් පිළිවෙත් කිරීමෙන් පින් සිදුකර ගැනීමෙන් ද, සංඝයා ඇසුරු කොට පින්පව් - කළ යුක්ත නො කළයුත්ත දැන ඒ අනුව පිළිපැදීමෙන් ද සංඝරත්නයේ පිහිට ලබා ගත යුතු ය. නිකම්ම “මට රත්නත්‍රය පිහිට වේවා, මාගේ පිහිට රත්නත්‍රය”යි කීවාට හෝ සිතුවාට රත්නත්‍රයේ පිහිට නො ලැබෙන බව ද සැලකිය යුතු ය.
#බුද්ධ_නම්_කවරේ_ද?
#බුදුන්_වහන්සේ_සත්ත්වයනට_පිහිට_වන්_කෙසේ_ද?
#බුදුන්_වහන්සේගේ_පිහිට_ලබන්නේ_කෙසේ_ද?
#ධම්ම_රත්නය_සත්ත්වයනට_පිහිට_වන්_කෙසේ__ද?
#ධර්මරත්නයේ_පිහිට_ලබන්නේ_කෙසේ_ද?
#සංඝරත්නය_පිහිට_වන්නේ_කෙසේ_ද?
#සංඝරත්නයේ_පිහිට_ලැබෙන්නේ_කෙසේ_ද?