නිමල් ඉපදුනේ පිටිසර නොදියුණු ගමකය. ඒ පලාතේ සිටි එවුන් ජනතා නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ නූගත් කසිප්පු මුදලාලි කෙනෙකි. කසිප්පු මුදලාලි ගමට කිසිම සංවර්ධනයක් නොකලේය. මේ නිසා නිමල්ගේ ගමට හරි හමන් තාර පාරක්වත් තිබුනේ නැත.
නිමල්ගේ පවුල ගමේ නින්දා අපහාස ලැබුවේ කුල පීඩනය නිසාය . ගමේ උසස් කුල වල එවුන් ගේ ළමයි නිමල් සමග සෙල්ලම් කිරීමද වර්ජනය කරන ලදි. මේ නිසා නිමල් සෙල්ලම් කලේ තමා මෙන් පිටමං කරන ලද කොල්ලන් කුරුට්ටන් සමගය.
නිමල්ගේ පියා කසිප්පු බීගෙන බිරිඳට සහ ළමුන්ට පහර දෙන්නේය. මේ නිසා නිමල්ට ගෙදර අපායකි. ගෙදර අඟහිඟකම් නිසා නිමල්ගේ අම්මා මැදපෙරදිග රැකියාවකට ගියාය. මේ නිසා නිමල්ට මවගේ උණුසුමද අහිමි විය. ගෙදර හරි හමන් ආරක්‍ෂකයෙකු නැති නිසා වරින් වර අල්ලපු ගෙදර වැඩිහිටියා -විශ්‍රාමික ග්‍රාමසේවක නිමල්ව ලිංගිකව අපයෝජනයද කලේය.
නිමල් , නිමල් ගේ අක්කා හා මල්ලී යන්තම් පණ ගැට ගහ ගත්තේ කොස් ගෙඩියක් දෙකක් තම්බාගෙන කමිනි. ගමේ කුඩා කඩයක් කල තේගිස් මුදලාලි ඉඳහිට පිනට එවූ පාං ගෙඩි දෙක තුනද කුසගින්න නිවා ගන්නට උපකාරී විය.
කෙසේ නමුත් නිමල් ගෙදර අපායෙන් ගැලවීමට ඉගෙන ගත යුතුයි කියා සිතුවේය. මැදපෙරදිග ගිය මවද පඩි නොමැතිව දුක් විඳින නිසා නිමල්ගේ අක්කා ටවුමේ ගාමන්ට් එකක රැකියාවකට ගියාය. මේ නිසා නිමල්ලාට යන්නතම් තුන් වේල කෑමට යමක් ලැබුණි.
නිමල් උසස් පෙළ යන්තමින් සමත් වූවද දිස්ත්‍රික් කෝටාව නිසා සරසවි ප්‍රවේශය ලැබුවේය. සරසවියට ගිය නිමල්ට නවක වධය ලෙස ජේෂ්ඨයෝ කුණුහරප කීවෝය. තවද නිමල්ලාව නිරුවත් කොට ව්‍යායාමද කරවන ලදි. මෙසේ නා නාවිධ අපහාස හිංසා නවක වධයේ නාමයෙන් ලැබුණු නිමල් ඊලඟ වසරේ ජේෂ්ඨයෙකු විය. ජේෂ්ඨයෙකු වූ නිමල් කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන් තෝරාගෙන ඔවුන්ට තමා ලැබුවාටත් වඩා නවක වධ දුන්නේ කොලඹට කිරි ගමට කැකිරි කියමිනි.
තමන් ඉගන ගත් ගමේ පාසල හරක් මඩුවක් මෙන් වූයේත් කොලඹ ඉස්කෝල වල ලොකු බිල්ඩිං තිබුනේත් කෙසේද කියා නොදත් නිමල් මේ විශමතා සඳහා දොස් කීවේ කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන්ටය. මේ සඳහා නිමල්ට තමා සමග ගමේ පාසලේ ඉගෙන ගත් ඉන්දික සහ හේමන්තද උල් පන්දම් දුන්නේය.
නිමල් අන්තරයට බැඳුනේය. අන්තරයේ අයියලා කී පරිදි ගමේ උළු ගෙයක ඉන්නා තේගිස් මුදලාලි ධනපතියෙකි. එසේම තම අක්කාට රස්සාවක් දුන් තවත් පවුල් ගනනාවක් නඩත්තු වෙන ගාමන්ට් එකේ හිමිකරු සමරසිංහ මහතා සූරාකන්නෙකි.
අන්තරයේ නියමය පරිදි නිමල්ලා සරසවි අධ්‍යාපනය පසෙකලා නොයෙකුත් උද්ගෝෂණ කෙරුවෝය. පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියා පාරවල් බ්ලොක් කලෝය.
කුඩා කලයේ සිට තිබූ මානසික පීඩන නිසා නිමල් සමාජය කෙරෙහි සිටියේ තරහෙනි. මෙය තමන් ගේ වාසියට යොදාගත් අන්තරයේ අයියලා නිමල්ට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරන්න කියා කීවෝය. නිමල් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා බස් ගිනි තබන්නට ගොස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්නට ගොස් අට පාස් කොස්සෙක් ගෙන් වෙඩි පාරක් කා මලේය.
නිමල්ව ෆෝම් කල අයියලා තම උපාධි අවසන්කොට ඔස්ට්‍රේලියාවට, ඇමරිකාවට සහ මහා බ්‍රිතාන්‍යට ගොස් එහි පවුල් පන්සල් වූහ. ඉන්පසු තමන් ගේ ළමයි ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යැවූහ. බිලි බෝයි කෙනෙකු වූ නිමලයා පසු කාලයක විරු සිසුවෙකු විය.
උපුටා ගැනීම ට්‍රාන්ස් සැල්වෙනියා බ්ලොග් අඩවියෙනි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Last edited:



