මහජන ආරක්ෂක ඇමැති ටිරාන්ගේ කෝටි 100 ලංකා බැංකු පොල්ල කෝප් කමිටුවේ දී හෙළිවේ.
___________________________________________________
ලංකා බැංකුව සම්බන්ධයෙන් අද කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර, එහිදී මහා පරිමාණයෙන් ලංකා බැංකුවට ගෙවිය යුතු මුදල් පැහැර හැරීම සිදු කළ පුද්ගලයන් 10 දෙනෙකු හෙළිදරව් වී තිබේ.
ටිරාන් අලස් සහ අර්ජුන් ඇලෝසියස් ඒ අතරින් ප්‍රමුඛත්වය ගෙන ඇති අතර, ටිරාන් අලස් විසින් ලංකා බැංකුවට රු. කෝටි 100 ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා විය.
2020-21 කාලය තුළ වත්මන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් මෙම පැහැර හැරීම කර තිබේ.
මව්බිම පුවත්පත් ආයතනයේ ද හිමිකරුවා වන අලස් පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ රාඩා ගනුදෙනුව නම් කුප්‍රකට සිදුවීම සම්බන්ධයෙන් ද රට පුරා ආන්දෝලනයකට පත් පුද්ගලයෙකු වන අතර, මංගල සමරවීර, ශ්‍රී පති සූරියආරච්චි යන සගයන් රාජපක්ෂවරුන් වෙත පාවා දී රාජපක්ෂවරුන් වෙනුවෙන් නැමුණු පුද්ගලයෙකු ලෙස ද ඔහු ප්රකටය.
මෙවන් වංචාකාරී පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් ව තිබීම හාසය්‍යට කරුණකි. මින් පෙර ද අප අනාවරණය කළ පරිදි ගෝඨාභය - මහින්ද රජයේ ඉහළම අධිකාරීත්වය දරණ පුද්ගලයන්ගේ පෞද්ගලික මැදිහත් වීම මත ලංකා බැංකුව මගින් ටිරාන් අලස් මේ ණය පහසුකම ලබා ගෙන ඇති අතර, නව ඇමැති ධුරය භාරගැනීම සඳහා එය ද හේතුවක් වී ඇති බව කියවේ.
තවද, අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දරණ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස සමාගම ද ලංකා බැංකුවට රු. කෝටි 350 ක මුදලක් ගෙවීම් පැහැර හැර ඇති බව කෝප් කමිටුව හමුවේ හෙළිදරව් වී තිබේ.
සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප්) අවධානයට ලක් විය. වාද්දූව සහ නැගෙනහිර පළාතේ ඉඩම් කට්ටි දෙකක් මෙසේ රු. කෝටි 350 බැගින් ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබා ගැනීම සඳහා ඇපකර ලෙස ලබා දී තිබේ.
එමගින් ආසන්න වශයෙන් මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා එම සමාගම රුපියල් බිලියන 07ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවද කෝප් කාරක සභාවේ මන්ත්‍රීවරුන් පෙන්වාදුන්හ.
ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (24දා) ලංකා බැංකුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මෙහිදී පසුගිය වසර පහක කාලය සඳහා ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳ මෙසේ අවධානය යොමු විය.
මේ අනුව සිමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම 2021 වර්ෂය වනවිට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපළ පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරු විසින් ලංකා බැංකු නිලධාරීන්ගෙන් විමසන ලදී.
පසුගියදා කෝප් කමිටුව හමුවට මහජන බැංකුව කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීන් පැවසුවේ ද අදාළ සමාගම මෙම දේපළම ඇපයට තබා මහජන බැංකුවෙන්ද ණය ලබාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වාදුන් අතර, මෙවැනි බරපතල කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පැවසීය.
මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කොට එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
Newspedia.lk