ස්ටෙල්ත් තාක්ෂණය - ක්‍රියාකරන අයුරු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ස්ටෙල්ත් තාක්ෂණය - ක්‍රියාකරන අයුරු

    8WTBXLK.jpg

    ස්ටෙල්ත් යන වචනය ඇසෙද්දී බොහෝදෙනාට මතක් වන්නේ නූතන ප්‍රහාරක යානා වන එෆ්-22 රැප්ටර් සහ එෆ්-35 යානාය.යුද්ධයකදී ස්ටෙල්ත් ප්‍රහාරක/බෝම්බ හෙළන යානයක් ප්‍රථම වරට පාවිච්චි කලේ පළමු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජනපද විසින් ඉරාකයට එරෙහිවයි.ඒ එෆ්- 117 යානයයි.බොහෝදෙනා නොදන්නවා වුනාට ස්ටෙල්ත් තාක්ෂණය ප්‍රහාරක යානා,බෝම්බ හෙළන යානා පමණක් නොව යුද නෞකා,සබ්මැරීන සඳහාද භාවිතා කරයි.මන්ද ස්ටෙල්ත් තාක්ෂණය භාවිතා කරන්නේ රේඩාර් පද්ධතිවලට අනාවරණය නොවී පියාසර කිරීමට පමණක් නොවන නිසාය.ස්ටෙල්ත් තාක්ෂණය දැන් යුද ටැංකිවලට පවා භාවිත කරයි.ස්ටෙල්ත් තාක්ෂණය වැඩිදියුණු කිරීමට ලෝකයේ ප්‍රබල රටවල් ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරන්නේ අනාගත සංග්‍රාම භූමියේ ජයග්‍රහණය මෙම තාක්ෂණය මත රදාපවතින නිසාය.නමුත් ස්ටෙල්ත් යන වචනය සමාජය විසින් තේරුම් ගෙන තිබෙන්නේ මැජික් එකක් සහ යම් දෙයක් අදෘෂ්‍යමාන කිරීම ලෙසයි.සමාජ ගතවී තිබෙන තවත් මතයක් වන්නේ ස්ටෙල්ත් තාක්ෂණය පරාජය කල නොහැකි දෙයක් කියාය.එය එසේ නොවන බවට පෙන්වූ අවස්ථා ඉතිහාසය තුල තිබේ.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ස්ටෙල්ත් තාක්ෂණය පිටුපස තිබෙන භෞතික විද්‍යාව සහ ඉන්ජිනේරු මූලධර්මයන් සහ මෙම සංකීර්ණ තාක්ෂණය ක්‍රියා කරන ආකාරය සම්බන්ධවයි.

    WcN01K3.jpg
    සුප්‍රසිද්ධ B-2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය​





    රේඩාර් මූලධර්ම

    ස්ටෙල්ත් තාක්ෂණය තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම රේඩාර් මූලධර්ම ක්‍රියාත්මක වන අයුරු දැන සිටිය යුතුය.රේඩාර් පද්ධතියක් විද්‍යුත් චුම්භක තරංග අවකාශයට මුදා හරියි.ඒවා වස්තුවක ගැටුනු විට පරාවර්තනය වී ආපසු පැමිණේ.එලෙස පැමිණෙන සංඥාවෙන් වස්තුවේ පිහිටුම,ප්‍රමාණය සහ එය ගමන් කරන දිශාව පිළිබදව තොරතුරු ලබාදෙයි.යම් පාර්ශ්වයක් හදිසි ප්‍රහාරයක් එල්ල කිරීම රේඩාර් තාක්ෂණය ඔස්සේ දැනගත හැකිය.දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් ගුවන් හමුදාව දියත් කල බලාපොරොත්තු නොවූ ගුවන් ප්‍රහාරයේදී ජර්මන් බෝම්බ හෙළන යානා සමූහ වශයෙන් පැමිණෙන අයුරු බ්‍රිතාන්‍ය රේඩාර් පද්ධතිවලින් අනාවරණය වූ අතර ප්‍රහාරයට පෙර සිය ප්‍රහාරක යානා ගුවන් ගත කර ප්‍රති-ප්‍රහාර එල්ල කරන්නට ඒ හරහා බ්‍රිතාන්‍යයන්ට කාලය ලැබිණි.සීතල යුද්ධයේදී ඇමෙරිකාව සහ සෝවියට් දේශය රේඩාර් තාක්ෂණය තවත් දියුණු කලහ.දෙපාර්ශ්වයම ස්ටෙල්ත් තාක්ෂණය සම්බන්ධව පර්යේෂණ සිදුකලෝය.නමුත් ස්ටෙල්ත් තාක්ෂණය ඊළඟ අධියරයට එනම් ප්‍රයෝගික භාවිතයට ගෙන ගියේ එක්සත් ජනපදය පමණි.ස්ටෙල්ත් තාක්ෂණය අත්පත් කරගැනීම වෙනුවට එය පැරදවීමට හැකි රේඩාර් තාක්ෂණයන් දියුණු කිරීමට රුසියාව ක්‍රියාකලේය.නමුත් රුසියාව සහ චීනයද මෙම තාක්ෂණය අත්පත් කරගැනීමට බොහෝ උත්සාහ දරන බවට කිසිදු සැකයක් නොමැත.

    EAfSp3P.jpg



    රේඩාර් තාක්ෂණය ගැන වැඩි විස්තර

    RADAR LESSON 1​


    RADAR LESSON 2​






    රේඩාර් පරාවර්තන පෘෂ්ඨ වර්ගඵලය - Radar Cross-Section (RCS)

    රේඩාර් ක්‍රොස්-සෙක්ෂන් යනු රේඩාර් මගින් වස්තුවක් අනාවරණය කරගැනීමේ මිනුමකි.යම් වස්තුවක RCS අගය විශාල නම් එය පහසුවෙන් අනාවරණය වේ.මන්ද වස්තුවේ සලකුණක් රේඩාර් තිරයක පෙන්වීමට තරම් තරංග ප්‍රමාණයක් වස්තුවේ පෘෂ්ඨය මගින් පරාවර්තනය කරන නිසාය.තරංග පරාවර්තනය කරන පෘෂ්ඨ වර්ගඵලය වැඩිවන විට වස්තුව තිරයේ දර්ශනය වන ප්‍රමාණයද විශාල වේ.ඇමෙරිකානු බී-2 සහ එෆ්-22 යානාවල රේඩාර් පරාවර්තන පෘෂ්ඨවර්ගඵලය වර්ග මීටර් 0.0001කට වඩා අඩු යැයි සඳහන් වේ.එහි අරුථ දැනට භාවිතා කරන බොහෝ රේඩාර් පද්ධතීන්ගේ තිරවල දර්ශනය වීමට තරම් මෙම යානාවල අගය ප්‍රමාණවත් නොවන බවයි.පහත රූපයේ දක්වා තිබෙන්නේ වස්තූන් කිහිපයක අගයන්ය.ඒ ඔස්සේ ඔබට රේඩාර් පරාවර්තන පෘෂ්ඨ වර්ගඵලය හෙවත් Radar Cross-Section (RCS) ගැන යම් අදහසක් ලබාගත හැකිය.

    vc7ivmp.png





    ස්ටෙල්ත් තාක්ෂණයේ මූලධර්ම

    ඔබට මීටර් 10 ක් දුරින් පියාඹන සමනලයෙක් දකිනවා යැයි සිතන්න.ඔබේ ඇස්වලින් සමනලයා දැකීම හෝ ඇස්වලින් ඌගේ ගමන් මග ලුහුබැඳීම අවහිරයක් නැත.දැන් එම දුරින්ම මැස්සෙක් පියාඹනවා යැයි සිතුව හොත් ඌ දැක ගැනීම බොහෝ අසීරු වන්නේ මැස්සෙක් තරම් කුඩා සතෙක් ඒ තරම් දුරකදී දැක ගැනීමට තරම් මිනිස් ඇසේ දෘෂ්ඨිය ප්‍රමාණවත් නොවීමයි.එම මැස්සා ඔබට මීටරයක් දුරින් පියාඹන්නේ නම් ඌව ඇස්වලින් දැක ගැනීමට හැකි වුවද ඌගේ ගමන් මග ලුහුබැදීම සහ දෘෂ්‍ය අගුල් දැමීමක් කිරීම අසීරු වන්නේ ඌ ප්‍රමාණයෙන් කුඩා නිසාය.ඒ නිසා මැස්සා අල්ලාගැනීම හෝ මරාදැමීමද පහසු නැත.නමුත් අපගේ කන් යොදාගෙන මැස්සා පියාඹා යද්දී නිකුත් කරන ශබ්දය ග්‍රහණය කරගෙන ඌ සිටින දිශාව නිර්ණය කර ඇස්වලින් ඌ සිටින ස්ථානය නිවැරදිව සොයාගත හැකිය.කෙසේවෙතත් බොහෝ අවස්ථාවලදී ඌ සිටින දිශාව නිවැරදිව අනාවරණය කරගත් වහාම ඌ අතුරුදහන් වීමටද හැකිය.ස්ටෙල්ත් තාක්ෂණයක් මේ හා සමානව ක්‍රියා කරයි.

    මීටර් 10 දුරින් පියාඹන සමනලයා රේඩාර් තිරයක විශාල තිතක් ලෙස දිස්වන සාම්ප්‍රදායික ගුවන් යානයකටත් එම දුරින්ම පියාඹන මැස්සා රේඩාර් තිරයක දර්ශනය නොවන ස්ටෙල්ත් ගුවන් යානයකටත් සමාන කල හැකිය.මීටරයක් දුරකදී මැස්සා දර්ශනය වීම,රේඩාර් මධ්‍යස්ථානයක සිට කෙටි දුරකදී රේඩාර් තිරයේ දර්ශනය වන ස්ටෙල්ත් ගුවන් යානයකට සමාන කල හැකිය.පියවි ඇසට හසු වූ මැස්සා මෙන් ස්ටෙල්ත් ගුවන් යානයක් නූතන රේඩාර් පද්ධතියකින් අනාවරණය කරගත් පසු එය දිගින් දිගටම ලුහුබැදීම සහ අගුළු දැමීම පහසු කාර්යයක් නොවේ.මෙයින් අපට ඉගෙන ගත හැක්කේ ස්ටෙල්ත් තාක්ෂණයෙන් ගුවන් යානයක් අදෘෂ්‍යමාන නොකරන බවත් සතුරන්ට පුර්ව ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් නොදී ඔවුන්ගේ රේඩාර් පද්ධතිවලට අනාවරණය වීම පමා කර සතුරු භූමියට ඇතුලු වීමට ඉඩ ලබාදීමයි.ස්ටෙල්ත් ගුවන් යානාවලට භාවිතා කල යුතු නිරවද්‍ය නාමය වන්නේ ‘low-observable’ aircraft යන්නයි.

    vQBKxME.jpg
    නූතන ප්‍රහාරක යානා කිහිපයක RCS අගයන්​

    ස්ටෙල්ත් තාක්ෂණය ක්‍රියා කරන්නේ රේඩාර් තරංග පරාවර්තනය වීම වැළැක්වීමේ මූලධර්මය මත පදනම්වය.එම කාර්යය සඳහා පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ.

    1.රේඩාර් තරංග අවශෝෂණය කරගැනීම(රැම් ආලේපනය)​

    2.රේඩාර් තරංග වෙනතකට යොමු කිරීම(මතුපිට හැඩ ගැන්වීම)


    රේඩාර් තරංග යනු විවිධ සංඛ්‍යාත පරාසවල පවතින විද්‍යුත් චුම්භක තරංගය.ස්ටෙල්ත් ගුවන් යානා/නෞකා නිර්මාණය කිරීමේදී විද්‍යුත් චුම්භක තරංග අවශෝෂණය කිරීම සහ ඒවා වෙනතකට හැරවීම යන උපායමාර්ග දෙකම එකවිට යොදාගනියි.එවිට වස්තුවක රේඩාර් පරාවර්තන පෘෂ්ඨවර්ගඵලය අවම කරයි.ඒවා අදෘෂ්‍යමාන නොවන අතර අනාවරණය කරගැනීම ඉතා අපහසු වුවද ස්ටෙල්ත් නොවන වස්තුවක් කි.මී. 150-300 දුරකදී හඳුනාගත හැකි අති නූතන රේඩාර් පද්ධති හමුවේ කි.මී. 10-20 දුරකදී හඳුනාගත හැකිය.යුද්ධයකදී අතිශය තීරණාත්මක වන පුදුමය දනව ප්‍රහාර එල්ල කිරීමට එය හොඳටම ප්‍රමාණවත්ය.මන්ද ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරන ස්ටෙල්ත් ප්‍රහාරක යානයකට කි.මී. 10-20 යනු නොසැලකිය හැකි තරම්ය දුරකි.

    XEZPBe9.jpg
    රේඩාර් තිරයක්​





    රේඩාර් තරංග අවශෝෂණය කිරීම

    රේඩාර් අවශෝෂක ද්‍රව්‍ය හෙවත් RAM ආලේප කිරීමෙන් වස්තුවක් මත පතින වන විද්‍යුත් චුම්භක තරංග අවශෝෂණය කරගැනේ.පසුගිය වසර 40 කට වැඩි කාලය තුල එක්සත් ජනපදය මෙම තාක්ෂණයේ පුරෝගාමියා වේ.මේවා පාරවිද්‍යුත් ද්‍රව්‍ය, සංයුක්ත ද්‍රව්‍ය වලින් නිර්මාණය කල රේඩාර් තරංග උරාගත හැකි විශේෂයෙන් තැනූ ද්‍රව්‍ය වේ.නමුත් ඒවාහි අන්තර්ගතය අතිශය රහසිගතය.1970 දශකයේදී නිර්මාණය කල එස් ආර්-71 යානයට අයන් බෝල් නම් තීන්ත වර්ගය යොදාගෙන තිබෙන බව සඳහන් වේ.රැම් ආලේපය වසර 45 ක් පමණ පැරණි තාක්ෂණයක් වන අතර වර්තමානයේ භාවිතා නොකරන තරම්ය.නමුත් එහි අන්තර්ගතය තවමත් රහසකි.ආලේපනය මතට රේඩාර් තරංග පතිත වූ විට ඒවාහි ශක්තිය විසුරුවා හැරේ.රේඩාර් තරංගවල ශක්තිය තාපය බවට පරිවර්තනය වී ගුවන් යානයේ පෘෂ්ඨයෙන් පිටතට මුදා හැරේ.මෙය දැනට අනාවරණය වී ඇති රේඩාර් අවශෝෂණ ද්‍රව්‍ය ක්‍රියාකරන එක් ආකාරයක් පමණි.

    Yrg2ocm.jpg
    මුල් කාලීන ස්ටෙල්ත් ගුවන් යානයක් වන SR-71 යානයක්​

    රේඩාර් තරංග වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීම සඳහා ආලේපයේ සියුම් පිරමීඩ ව්‍යුහයක් අන්තර්ගත වේ.පිරමීඩ නිසා තරංගවල පරාවර්තන සංඛ්‍යාව වැඩි වේ.එවිට රේඩාර් තරංගවල ශක්තිය හීන වී ගොස් රේඩාර් පද්ධතියේ ප්‍රතිග්‍රාහකය වෙත ගමන් කරන තරංග දුර්වල වේ.

    YKZELLD.jpg
    RAM ආලේපයේ පිරමීඩ​





    රේඩාර් තරංග වෙනතකට හැරවීම

    වස්තුවක හැඩය වෙනස් කිරීම ඔස්සේ රේඩාර් තරංග පරාවර්තනය වී රේඩාර් ප්‍රතිග්‍රාහකය වෙත ගමන් කිරීම වැළැක්විය හැකිය.මෙම කාර්යය සඳහා තියුණු ආනති සහිත පැතලි පෘෂ්ඨයන් සහ විශේෂ වක්‍ර සහිත පෘෂ්ඨ වස්තුවේ නිර්මාණය කෙරේ.එෆ්-117 යනු ආනති සහිත පෘෂ්ඨ භාවිතා කරන ගුවන් යානයකට හොඳම උදාහරණයයි.බී-2 සහ් එෆ්-22 යානා ආනති සහ වක්‍ර සහිත පෘෂ්ඨ යන දෙවර්ගයේම එකතුවකි.

    fPGKLMv.jpg
    F-117 යානයක ඉදිරිපස පෙනුම​

    රේඩාර් වලට හසුවීම පමා කිරීමට නම් රේඩාර් අවශෝෂණ ආලේපය සහ රේඩාර් තරංග වෙනතකට යොමුකිරීම යන ක්‍රම දෙකම භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ. සාම්ප්‍රදායික ගුවන් යානයක් සමග සන්සන්දනය කරද්දී ස්ටෙල්ත් ගුවන් යානයක් නිර්මාණය කිරීමට පර්යේෂණ සහ අත්හදා බැලීම් රැසක් සිදුකල යුතුය.ස්ටෙල්ත් ගුවන් යානා මිල අධික වීමට එය එක් හේතුවකි.

    1NqlrJ7.jpg





    ස්ටෙල්ත් නෞකා

    ස්ටෙල්ත් නෞකා සම්බන්ධව පුළුල්ව පැතිරගොස් තිබෙන දුර්මතය වන්නේ ඒවා රේඩාර් හමුවේ අදෘෂ්‍යමාන සේම ස්ටෙල්ත් ගුවන් යානා තරම්ම ස්ටෙල්ත් හැකියාවෙන් යුක්ත බවයි.ස්ටෙල්ත් නෞකා පහසුවෙන් රේඩාර් පද්ධතිවලට හසුවේ.ටොන් 5000ක් බර RCS අගය වර්ගමීටර් 1000ක් වන සාමාන්‍යය යුද නෞකාවක් කි.මී. 200ක් දුරකදී රේඩාර් තිරයක දිස්වන අතර ටොන් 5000ක් බර RCS අගය වර්ගමීටර් 200ක් වන ස්ටෙල්ත් නෞකාවක්ද සමාන දුරකදී රේඩාර් වලට හසුවේ.වෙනස තිබෙන්නේ නෞකා දෙක රේඩාර් තිරයේ දර්ශනය වන විශාලත්වයයි.ස්ටෙල්ත් නෞකාව ,සාමාන්‍යය යුද නෞකාවකට වඩා කුඩාවට රේඩාර් තිරයක දර්ශනය වේ.ටොන් 1000 ක් බර RCS අගය වර්ගමීටර් 100 වන ස්ටෙල්ත් නෞකාවක්, ටොන් 250ක් බර RCS අගය වර්ගමීටර් 10ක් වන වෙළඳ නෞකාවක් මෙන් රේඩාර් තිරයක දිස්වේ.නමුත් සතුරන්ට එම නෞකා දෙක අතර වෙනස රේඩාර් තිරය ඔස්සේ හඳුනාගත නොහැකිය.නාවුක ස්ටෙල්ත් තාක්ෂණයේ ප්‍රධාන අරමුණ කුඩාවට දිස්වීම සහ අනෙකුත් නෞකා බෝට්ටු සමග මිශ්‍ර වී යාත්‍රා කිරීමයි.

    r9x13YF.jpg
    විස්බි පන්තියේ නෞකාවක්​

    ටොන් 10,000ක් බර RCS අගය වර්ගමීටර් 2000ක් වන ඩිස්ට්‍රෝයර් වර්ගයේ යුද නෞකාවක් සංග්‍රාමයකදී කුඩා යුද නෞකා සමග එකට යාත්‍රා කරන්නේ නම් එය සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් වීමට ඉඩ තිබේ.නමුත් එම ටොන් 10,000 නෞකාව ස්ටෙල්ත් තාක්ෂණයට අනුකූලව නිර්මාණය කල සුම්වොල්ට් වැනි නෞකාවක් වූයේ නම් සතුරු රේඩාර් තිරයේ එය පෙන්වන්නේ ටොන් 5000ක් බර යුද නෞකාවක් ලෙසයි.ඒ නිසා සතුරන්ට වඩාත් වටිනා ඉලක්කය හඳුනාගැනීම අසීරු වේවි.ස්වීඩන් නාවික හමුදාව පාවිච්චි කරන විස්බි පන්තියේ corvette නෞකා,මෙහෙයුම්වල යෙදවිය හැකි ලොව ප්‍රථම ස්ටෙල්ත් නෞකා වේ.මෙම නෞකාවක් ටොන් 640ක බරකින් යුක්ත වුවද සතුරු රේඩාර් පද්ධතියක දිස්වන්නේ ටොන් 50ක් බර බෝට්ටුවක් මෙනි.ධීවර බෝට්ටු අතර සැඟවී ගොස් සතුරන්ට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම හැකියාව ප්‍රයෝජනයට ගත හැකිය.

    MJL96ly.jpg
    ස්ටෙල්ත් සුම්වෝල්ට් පන්තියේ නෞකාවක්​





    අවාසි සහ දුර්වලතා

    මේ කාලයේ ඕනෑම තාක්ෂණයකට ප්‍රතිවිරුද්ධ තාක්ෂණයක්ද පවතියි.දැන් ස්ටෙල්ත් ගුවන් යානා අදෘෂ්‍යමාන වන්නේ නියමිත රේඩාර් සංඛ්‍යාත පරාසයකට පමණි.

    -නූතන පද්ධති එල්-බ්‍රෑන්ඩ් රේඩාර් හෙවත් ගිගාහර්ට්ස් 1-2 අතර සංඛ්‍යාත පරාසය භාවිතා කරන අතර ඒවාට ස්ටෙල්ත් ගුවන් යානා හඳුනාගැනීමට හැකියාව තිබෙන බව කියවේ.

    -ස්ටෙල්ත් තාක්ෂණය යනු රේඩාර් තරංගවලට අනාවරණය නොවීම පමණක් නොවේ.ස්ටෙල්ත් ගුවන් යානා ඔවුන්ගේ අධෝරක්ත සංඥා සතුරන්ට අනාවරණය වීමද වළක්වාලිය යුතුය.

    -අධෝරක්ත සෙවුම් සහ ලුහුබැඳීම් වැනි නූතන පද්ධතීන් වලට ස්ටෙල්ත් ගුවන් යානාවලින් නිකුත් කෙරෙන තාප සංඥාව ග්‍රහණය කරගත හැකිය.ඒ නිසා රේඩාර් අවශෝෂණ ආලේපයක් භාවිතා කල පමණින් ඔබට ගුවන් යානයක් අහසේදී සැඟවීමට නොහැකිය.

    -ස්ටෙල්ත් ගුවන් යානා බෝම්බ සහ මිසයිල ගබඩා කරන්නේ යානය ඇතුලතය.ප්‍රහාරයක් එල්ල කිරීමට අවි ගබඩාවේ දොර විවර කල පසු ස්ටෙල්ත් යානයක් රේඩාර් තිරයක දිස්වේ/වඩාත් හොඳින් දිස්වේ.එනම් යානයේ අගය වැඩිවේ.

    -ස්ටෙල්ත් ගුවන් යානාවල තිබෙන ලොකුම අවාසිය වනුයේ නිෂ්පාදන,මෙහෙයුම් සහ නඩත්තු වියදම් අතිවිශාල වීමයි.

    -රේඩාර් අවශෝෂණ ආලේපය පහසුවෙන් බිදෙන සුළුය.සටනකට හෝ රථ කාලගුණික තත්තවයකට මුහුණ දුන් පසු ආලේපය නැවත ගැල්විය යුතුය.


    0yXkbZ9.jpg
    F-117 යානයක් බෝම්බ හෙළීමට එහි අවි ගබඩාවේ දොර විවර කල අවස්ථාවක්​

    මෙම ලිපිය ඔස්සේ මූලිකවම විමසා බැලුවේ ස්ටෙල්ත් තාක්ෂණය ක්‍රියා කරන අයුරු සම්බන්ධවයි.ස්ටෙල්ත් තාක්ෂණය සුලභ යෙදවීම් වනුයේ ගුවන් යානා නිසා ඒ සම්බන්ධව වැඩිපුර කතා කරන ලදි.රේඩාර් මගහැරීම යනු ස්ටෙල්ත් තාක්ෂණයේ එක් උපක්‍රමයක් පමණි.ඒ අනුව ස්ටෙල්ත් තාක්ෂණය ගැන තවත් කරුණු කාරණා සාකච්ඡා කිරීමට ඉතිරිව තිබේ.




    මතු සම්බන්ධයි​




    Source:defencyclopedia.com

    -HarshaLulzSec-