ආටානාටිය:-
යම් දිග් භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (වස්ත්රාදීන්හි) මමත්වය නැති, (‘මේ මා බිරිය යැ’ යි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයත් කැරැ ගැන්මක්) නැති මිනිස්සු උපදිත්.
ඔහු ධාන්‍ය බිජුවට නො වපුරත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලැබෙත්. ඒ මිනිස්සු නො සානා ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභොග කරත්.
කුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳ ඇති සහල් සැළියෙක බහා පිසැ එයින් ගෙන බොජුන් වළඳත්.
එහි (වෙසවුණු රජු ගේ පිරිවර) යක්කු එළදෙන එක් කුරැති වාහනයක් කොට ගෙන, දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොටැ ගෙන දෙසින් දෙස යෙත්.
ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
ඒ වෙසවුණූ රජු ගේ පරිවාරක යක්ෂයෝ එලැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍ය යාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්.
යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රාසාද ද සිවිල්ගෙවල් ද වෙත්. එ රජුව අහසැ මොනොවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසිනාටා ය, නාටපුරියා ය, පරකුසිනාටා යැ යි නගරයෝ වූහ.