සාපරාධී රාජ්‍යය
ඉකුත් ජනවාරි 23 වැනිදා රත්ගම බූස්සට කඩා වැදුනු දකුණු පළාතේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට අයත් දහතුන් දෙනකුගෙන් සමන්විත පොලිස් සුනඛ පිරිසක් ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගත්හ. ඉන්පසු අක්මීමන නිවසකට ගෙනයන මේ දෙදෙනාට කටින් ලේ එනතුරු පහර දෙන ලදී. පහරදීමෙන් එකෙක් මළේය. ඒ බව අනෙකා දුටුවේය. ඒකා ජීවත් වුවහොත් සිදුවිය හැකි විනාශය කල්පනා කළ පොලිස් තිරිසන්නු ඔහුද මැරූහ. ඊළඟ පියවර වූයේ වලස්මුල්ලේ වන රක්‍ෂිතයකට ගෙන යන ලද මළ සිරුරු දෙක ඞීසල් දමා ගිනි තබා විනාශ කිරීමය. ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වහාම වසා දැමිය යුතු බව අපි යෝජනා කරමු. මන්ද රටේ ජනගහනය අඩු කිරීමේ කටයුත්ත මෑතක පටන් පොලිසිය විසින් යළි පටන් ගනු ලැබ තිබේ. පොලිසිය, ස්ත‍්‍රී දූෂකයන්ට සහ ළමා අපචාරකයන්ට හැර අනෙක් අයට පහර දෙනවාට මේ පුවත්පත ප‍්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධය. එහෙත් රත්ගම මිනීමරුවන් එල්ලා පහරදී හෝ පොලිසිය විසින් පොල් ගෙඩි දෙකක් හොරට කැඩූ අයට පවා දෙන වෝටර් කෝස්, ලාච්චුවට දැමීම, ධර්ම චක‍්‍රය, සැකකරු ගෝනියට දමා එහි කට බැඳ බෝල ගසනවාක් වැනිව පා පහර දීම, ඉන්පසු ගෝනියට මිරිස් දුම් ගසා එහි කට බැඳීම වැනි දණ්ඩනයන් දී වුව යොදා රත්ගම සිද්ධියේ ඇත්ත දැනගන්නවාට අප විරුද්ධ නැත. මේ සඳහා අවශ්‍ය ගෝනි 13 සපයා දීමට පින් කැමැති අය ඉදිරිපත් වනවාද ඇත.
න්‍යායයක් ලෙස ගත්කල ශ‍්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් නොවේ. අපට ආසන්නතම පොලිස් රාජ්‍ය උදාහරණය තමිල්නාඩුවය. ඊළඟ තැන ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තය ය. මෙම ප‍්‍රාන්තය තුළ හටගත් භගල්පුර් සිද්ධිය නමැති සුප‍්‍රකට අපරාධයක් තිබේ. ඉන්දියාවේ සුප‍්‍රසිද්ධ ගංගා නදිය මුහුද බලා යන ගමනේදී බිහාරයේ භගල්පුර් නගරයද පසු කරයි. මේ ගඟ ළඟ පිහිටි භගල්පුර් නාගරික පොලිසිය 1979-1980 අතර කාලය තුළදී අපරාධ මර්දනය සඳහා මාරම වැඩක් කළේය. එනම්, පොලිසියට ගෙනෙන සැකකරුවන් නිරුවත් කර මුනින් අතට බිම හොවා ඔවුන්ගේ අත් සහ කකුල් දෙපසට කර රාළහාමිලා හතර දෙනකු විසින් පාගාගෙන සිටිනු ලැබේ. ඒ අතර පස්වැනි රාළහාමි සැකකරුගේ ඇස් වලට ඇසිඞ් වත් කරයි. ඕ. අයි. සී. ඒ දෙස බලා සිටී. මෙවැනි හිඟන ඕ. අයි. සී ලා සහ පොලිස් පරීක්‍ෂකවරු ලංකාවේද වෙති. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාට පහරදී මරා දමද්දී ඒ දෙස බලා සිටි අයි. පී. ලා සහ එස්. අයි. ලා එවැනි සංසාරගත හිඟන්නෝය. අද පොලිසිය බැලූ බැල්මට හුඟක්ම හොඳය. ඔවුහු ඕනෑම පල් හොරකුට ‘මහත්මයා’ යනුවෙන් ආමන්ත‍්‍රණය කරති. ඉන්පසු පොලිසියට ගෙන ගොස් ශරීරයේ කුඩා කොටස් කටින් එන විදියට යටි කයට පා පහර දෙති. භගල්පුර් දණ්ඩනය නිසා බිහාරයේ සැකකරුවන් 51 දෙනෙක් පූර්ණ අන්ධභාවයට පත්වූහ. ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. ගුටි කා ලේ වමනය දමන සැකකරුවා ගැන කම්පාවන පොලිසිය ඔහුට තවදුරටත් දුක්විඳීමට ඉඩ නොදිය යුතු බව කල්පනා කරයි. ඉන්පසු සැකකරු මරළාම දමයි. එම මිනීමැරුම දකින සිවිල් පුද්ගලයන්ගේ හිත් දූෂ්‍ය විය හැකි බැවින් එවැනි සාක්කිකරුවන්ද සැනෙකින් මැරීමට තරම් පොලිස් විඤ්ඤානය ඉහළය. රත්ගම සිද්ධිය එම ඉහළ විඤ්ඤානය කි‍්‍රයාත්මක වූ අවස්ථාවකි.
ලංකාව සාපරාධී රාජ්‍යයකි. තර්කානුකූලව බලන විට එවැනි තත්ත්වයක් මැඬපැවැත්වීම සඳහා රට පොලිස් රාජ්‍යයක් විය යුතුමය. එහෙත් ඊළඟ තර්කයේදී එසේ නොවිය යුතුය. මන්දයත් අප ශිෂ්ට සමාජයක ජීවත්වන නිසාය. 1971 ජ.වි.පෙ කැරැල්ලෙන් පසු ශ‍්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්විය. කැලයක් මැද තිබූ මළමිනියක් ළඟ උඳුපියලිය කමින් සිටි හාවකු අල්ලා පහරදී මිනිසා මැරූ බවට එම සතාගෙන් කටඋත්තරයක් ලබාගත් රාළහාමිලා පිරිසක් ගැන ‘යාන්’ එකක් හෙවත් විහිළු කතාවක් 1970-77 ශ‍්‍රී.ල.නි.ප. ආණ්ඩු කාලයේ පැතිර ගියේය. මෙය කෲර විහිළුවකි. මෙරට පොලිසියේ කෲරත්වය මෙරට ජන විඤ්ඤානය විසින් හෑල්ලූවට ලක්කරන ලද අවස්ථාවකි. 1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට එන්නේම පොලිස් රාජ්‍යය නැති කරමියි කියාගෙනය. එහෙත් ඔහුගේ පාලනය සමයේ අලූත් කරනු ලැබූ පොලිස් රාජ්‍ය සංකල්පය පේ‍්‍රමදාස - රන්ජන් විජේරත්න සමයේ දරුණු වී, චන්ද්‍රිකාගේ කාලයේදී තවත් දරුණු වී අද වන විට නන්නත්තාර වී ඇත.
මෘදු ගති ඇති ඉක්මනින් කෝපවන නමුත් වහා සංවේදීවන පොලිස්පති පූජිත් ජයසුන්දර එක එකාගේ තිරිසන් වැඩවලට පෞද්ගලිකව වගකිව යුතු නැති බවට සාධනීය තර්කයක් ගොඩනැංවීමට මේ පුවත්පත සූදානම්ය. එසේම දක්‍ෂ නීතිඥයකු වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහ පොලිස් විනය කොට්ඨාසය භාර රුවන් ගුණසේකර තමාට වෘත්තීය වශයෙන් හිමිව ඇති අණ පනත් යටතේ පොලිසියේ නරක නම පිරිසිදු කිරීමට යාම සාධාරණ බව පිළිගැනීමටද අප සූදානම්ය. එහෙත් අපේ ජීවිත? පූජිත් සහ රුවන් මේ ගැන සිතන්නේ මොනවාද?
divaina.com