සාලිය & අශෝකමාලා

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    සාලිය & අශෝකමාලා


    2487269470086572749uodpmx_ph.jpg


    දුටුගැමුණු රජතුමාට සහ ඔහුගේ අග මෙහෙසිය වූ කොත්මලේ බිසවට සිටියේ එක ම දරුවෙක් පමණි. ඒ සාලිය කුමරු ය. සතුරන් පරදවා තුන් සිංහලය එක්සේසත් කිරීමෙන් පසු ව දැහැමින් සෙමෙන් රට පාලනය කිරීම රජුගේ ප්‍රතිපත්තිය විය.

    ඉන්දීය ආක්‍රමණිකයන් විසින් විනාශ කරන ලද බෞද්ධ වෙහෙර විහාර නැවැත ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පමණක් නො ව තමන් විසින් ම වෙහෙර විහාර රාශියක් ඉදි කිරීමෙන් ද රටේ බෞද්ධ පුනරුදයක් ඇති කළා වූත් සිංහල ජාතිය හා බුදු සමය සතුරන්ගෙන් බේරා ගත්තා වූත් දුටුගැමුණු රජතුමා ඒ මහඟු කර්තව්‍යය සපුරාලීමෙන් පසු ගත කළේ අතිශයින් ම දැහැමි දිවි පෙවෙතකි. ක

    ොත්මලේ බිසව ද එසේ ම දැහැමි පිළිවෙතින් යුක්ත වූවා ය. මෙබඳු දැහැමි මා පියන් ඇසුරේ හැදුණු වැඩුණු සාලිය කුමාරයා ද කුඩා අවදියේ සිට ම දැහැමි දිවි පෙවෙතකට හුරු පුරුදු විය. බුදුන් හා බුදු දහම කෙරෙහි මෙන් ම මහා සංඝ රත්නය කෙරෙහි ද සාලිය කුමරු තුළ වූයේ අචල භක්තියකි.

    තුරුණු වියට පත් සාලිය කුමරු යුව රජ පදවියට පත් කැරෙන ලද බවත්, සද්ධර්මාලංකාරයෙහි සඳහන් ය.

    “ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ සාලිය රාජ කුමාරයන්ට යුව රජු තනතුරු දී අනුරාධපුර නුවර දකුණු වීථියෙහි මහත් වූ ප්‍රාසාදයක් කැරැවා දුන් හ” යනුවෙන් ඒ බව දන්වා ඇත. තරුණ සාලිය කුමරු ආගම කෙරෙහි කො තරම් ඇල්කමක් දැක්වී ද යත් අසල පිහිටි ඉසුරුමුනි විහාරයට ගොස් අට සිල් සමාදන්වීමේ සිරිතක් ද එ කුමරු විසින් අනුගමනය කරන ලද බවත් සද්ධර්මාලංකාරය අනුව පැහැදිලි වෙයි.

    යුව රජ පදවියක් දැරුව ද කලාකාමියකු වූ සාලිය කුමරු ස්වභාව සෞන්දර්යයට බෙහෙවින් ඇලුම් කළේ ය. හෙතෙම සංගීත ලෝලියෙක් ද විය. අනුරාධපුර රාජ්‍යයෙහි වූ වෙහෙර විහාර කරා නිතර පිවිසෙමින් මහා සංඝයා ඇසුරු කිරීමත් අවසර ලැබෙන අයුරින් හුදෙකලාව වනගත වෙමින් හෝ විශාල කෙත් වතු මැද ගැවැසෙමින් එහි සෞන්දර්යය නැරැඹීමත් කුරුල්ලන්ගේ හඬට අපූරු ඇල්මකින් සවන් දීමත් හෙතෙම පුරුද්දක් කැරැ ගත්තේ ය. මෙ බඳු හුදෙකලා සංචාරයන් හි දී ඇතැම් විට දෙතුන් දිනක් බෞද්ධ විහාරයෙක නවාතැන් ගැනීම කුමාරයාගේ සිරිත විය. රජු සහ බිසව ද මේ බව දැන සිටිය හ.

    එක් උදෑසනක මෙසේ හුදෙකලා සංචාරයක නිරත ව සිටි කුමාරයා ආකර්ශනීය තුරු ලියෙන් ගහණ වන පෙතක් දැක එහි ඇතුළු ව මඳක් ඉදිරියට යද්දී රමණීය ගල් තලාවක් නෙත ගැටුණි. හෙතෙම ගල් තලාව මත වාඩි වී වන සිරිය නරඹන්නට විය. කුරුලු ගීතයන්ට සවන් යොමන්නට විය. මේ අතර ඈතින් සුළඟේ පාවී ආවේ කිසියම් යුවතියක ගයන කර්ණ රසායන ගී හඬකි. ඒ ගී හඬෙහි මාධුර්යය කුමරුන් කොතරම් වශී කළේ ද යත් හෙතෙම ධ්‍යානයකට සම වැදුණු අයුරින් නිසසල ව ඊට සවන් දුන්නේ ය.

    ඉන් පෙර කිසි දිනෙක තමා නොඇසූ විරූ මධුර කට හඬකින් හා අසාමාන්‍ය ලාලිත්‍යයකින් මේ ගීතය ගායනය කරන යුවතිය දැකීමෙහි අනභිභවනීය ආශාවක් සිත තුළ උපන් සාලිය කුමරු වාඩි වී හුන් තැනින් නැඟිට වන රොද ඔස්සේ සෙමින් සෙමින් එ දෙසට පා නැඟුවේ ය. මඳ දුරක් ඉදිරියට ගමන් කළ ඔහු පිවිසුණේ ඒ වන රොදෙහි අශෝක ගසින් පමණක් ගැවසී ගත් අශෝක උයනකට ය. එහි ඇතුළු වත් ම ඔහුගේ දෙනෙතට ලක් වූයේ මිහි බට දෙවඟනකට සමාන රූපශ්‍රීයෙන් යුත් භද්‍ර යෞවනයෙහි පසු වන යුවතියක මියුරු හ¼ඩින් ගී ගයමින් නිදැල්ලේ මල් නෙළන ආකාරය යි. ඕ අක්බමරු වන් සිය දිගු කාල වර්ණ කෙසේ කළඹ අශෝක මලින් සරසමින් සිටියා ය.

    සුදු පැහැති දළ රෙදි කඩකින් ඇගේ යටි කය ආවරණය වූ නමුත් උඩුකය සම්පූර්ණයෙන් ම නිරාවරණය ව තිබුණි. වට මට පුන් පියොවුරින් යුත් ශ්වේත වර්ණ උඩු කයැති ඇය සාලිය කුමරුට පෙනුණේ කිරිගරුඬයෙන් නිමැවුණු සුරංගනා පිළිරුවක් පරිද්දෙනි. හෙතෙම අශෝක ගසකට මුවා වී ඇසි පිය නොහෙළා ඇය දෙස බලා සිටියේ ය. ඇය එ තැනින් නික්ම යාමට සූදානම් වත් ම සාලිය කුමාරයා වහා ඇය ඉදිරියට ගියේ ය. එක් වරම ඔහු දැක තිගැස්සී බියට පත් ඕ දුවන්නට සැරැසුණා ය.

    “නැඟණිය, බිය වන්නට එපා. මගෙන් ඔබට කිසිම කරදරයක් සිදුවන්නේ නෑ” යි ඔහු ඉතා ශාන්ත ව කී වචනවලින් ඇගේ බිය මඳක් පහ ව ගිය බවක් පෙනුණි. එහෙත්, ගොළු වූ එකියක මෙන් ඕ තුෂ්ණිම්භූත ව කුමාරයා දෙස බලා සිටියා ය.

    යම් කිසිවක් දොඩන්නට යත්න දරණ නමුත් ඇගේ මුවින් ඒ වචන පිට නොවන බව කුමාරයාට පෙනුණි.

    “නැගණිය, මම කැමතියි ඔබේ නම දැනගන්න” යි කුමාරයා යළිත් ඇය ඇමැතී ය. ”මම කැමතියි ඔබේ වතගොත දැනගන්න”

    ක්‍රමයෙන් බිය තුරන් වෙමින් පැවැති හෙයින් ඕ කතා කළා ය. “මගේ නම අශෝකමාලා. මම රොඩී කෙල්ලක්. මම ඉන්නේ මේ වන රොද කෙළවර තියෙන හෙල්ලොලිය කියන රොඩී කුප්පායමේ” ඕ ඉතා යටත් පහත් ව සැලෙන හඬින් කීවා ය.

    සාලිය කුමරු ඇයට තවත් සමීප වෙමින් ඉදිරියට යද්දී “අයියෝ උතුමාණෙනි, මා කිට්ටුවට එන්න එපා. මගේ ඇඟට අත තියන්න එපා. අපි රොඩී කුලේ. මගේ ඇඟට අත තිබ්බොත් ඔබතුමාත් රොඩී කුලේට වැටෙනවා” යි කියමින් අශෝකමාලා කුමරුන් මඟහැර දුවන්නට වූවා ය.

    එහෙත් ඇයට වැඩි දුරක් දුවන්නට ඉඩ ලැබුණේ නැත. සාලිය කුමරු ඇය ලුහුබැඳ ගොස් ඇගේ අතින් අල්ලා ගත්තේ ය.

    “අයියෝ! උතුමාණෙනි, ඔබතුමා මොකක්ද මේ කරගත්ත පව? එපා කියද්දී මගේ අත අල්ලලා ඔබතුමාත් රොඩී රැහේට වැටෙන්න ද හදන්නෙ?” යි අසමින් ඕ හඬන්නට වූවා ය.

    “නැඟණිය, මේ අහන්න. ඔබේ කුල ගෝත්‍රවලින් මට කාරියක් නෑ. මා හොඳ බෞද්ධ පිළිවෙත් ගරු කරන තරුණයෙක්. මා ජාති ජාති පතාගෙන ආ මගේ ජීවිතයේ හවුල්කාරිය ඔබ බවට හැඟීමක් මගේ සිත වෙළාගෙන යි ඇත්තේ. ඒ නිසා මට ඔබ මගේ බිරිය කරගන්නට ඕනෑ. මට ඕනෑ ඔබ විනා ඔබේ කුලය නො වෙයි” සාලිය කුමරු ආදරයෙන් ඇය ඇමැතුවේ ය.

    “උතුමාණෙනි, ඔබතුමා කතා කරන්නේ නියම සිහි බුද්ධියෙන් නො වෙයි. ඒ නිසා කරුණාකර මට යන්න ඉඩ දෙන්න, ඇයි ඔබතුමා චණ්ඩාලයෙක් වෙන්න හදන්නේ?” අශෝකමාලා බැගෑපත් වූවා ය.

    “නෑ, නෑ ඔබ සමඟ මමත් ඔබේ ගමේ ම පදිංචි වෙනවා” යි කී සාලිය කුමරු ඇගේ අත අල්ලාගත් වන ම ඇය සමඟ සැඩොල් ගමට ඇතුළු විය.

    “හත්වලාමේ! මේක නම් මහා වින්නැහියක්! කවුදෝ උත්තමයෙක් අශෝකමාලා කෙල්ලගේ අත අල්ලාගෙන අපේ ගමට ඇවිල්ලා!” යි ඒ දුටු ගම් දෙටුවෙක් ගෙයක් ගෙයක් පාසා ගොස් එකී තොරතුර දන්වා සිටියේ ය.


     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මුළු හෙල්ලොලිය සැඩොල් ගම්මානය ම ඒ පුවතින් මහත් කලබලයටත් බියටත් පත් වූ අතර සාලිය කුමරු අශෝකමාලා කැටුව ඇගේ මවුපියන් මුණගැසී සිය සිතැඟි හෙළි කළේ ය. ඔවුන් ද මුලින් මහත් සේ බියට පත් වුව ද කුමාරයා ඔවුන් අස්වසා සියලු බිය දුරු කිරීමට සමත් විය. සිය අනන්‍යතාව සියල්ලන්ට රහසක් කොට තබාගන්නට ද හෙතෙම වග බලාගත්තේ ය.

    ගමේ කලබලයත් බියත් දුටු අශෝකමාලාගේ පියා මුළු නෑ දෑ පරපුර ම සිය පැල්පත ඉදිරියට කැඳවී ය. එහි දී පළමු කොට ම ඔවුන් ඇමැතූ කුමාරයා සිය අභිප්‍රාය ඔවුන් සියල්ලන් ඉදිරියේ නොවළහා ප්‍රකාශ කළේ ය. අශෝකමාලා විවාහ කැරැගැනීමට තමා තීරණය කොට ඇති බව ඔහු කියා සිටියේ අශෝකමාලා ඇතුළු මුළු සැඩොල් ගම්මානය ම විස්මයට පත් කැරැවමිනි.

    ඔවුන් ඉදිරියේ එසේ සපථ කළ ද සාලිය කුමාරයා තුළ එක් බියක් හටගෙන තිබුණි. එ නම් යම් අයුරෙකින් සිය අනන්‍යතාව ඔවුනට එළිදරව් වුවහොත් මේ විවාහය කිසි සේත් සිදු නොවනු ඇත යන බිය යි. ඒ බව ඔවුන්ට නොඅඟවා සාලිය කුමාරයා කියා සිටියේ පසුවට කල් නොතබා එහි සිටි ඥාති පිරිස ඉදිරියේ ඒ මොහොතේ ම තමා අශෝකමාලා හා විවාහ වී ඒ සැඩොල් ගමේ ම පදිංචි වන්නට ආශාවෙන් සිටින බව ය.

    කුමාරයාගේ මේ වචනවලින් අතිශයින් ප්‍රසාදයට පත් ඔවුහු සිය කුල සිරිත් අනුව දෙදෙනාගේ විවාහය සිදු කොට නව යුවලගේ පදිංචිය සඳහා සැඩොල් ගමේ පැල්පතක් ද වෙන් කැර දුන් හ. ඒ අනුව එදින ම සාලිය අශෝකමාලා නව යුවලගේ යුග දිවිය ඇරැඹිණි.

    ඒ අතර අනුරාධපුර රජ මාළිගයේ ඇති වූයේ බලවත් නොසන්සුන් තත්ත්වයකි. හුදෙකලා ව සංචාරයේ ජීවත් වූ රජ කුමරු දෙතුන් දිනක් ඉක්ම යද්දීත් ආපසු නොපැමිණීම නිසා දුටුගැමුණු රජු සහ බිසව කලබලයට පත් වූ හ. මුලින් ම රජු සිතුවේ කුමාරයා පුරුදු පරිදි විහාරයක නවාතැන් ගෙන ඒ මේ අත සංචාරයේ යෙදී ඇතැයි යනුවෙනි.

    ඒ අනුව දෙතුන් දිනකින් ඔහුගේ ආපසු පැමිණීම අපේක්‍ෂා කළේ ය. එහෙත් එය එසේ සිදු නොවීම නිසා කණස්සල්ලටත් කලබලයටත් පත් වූ රජතුමා ඔහුගේ තොරතුරු සෙවීම පිණිස සෑම ප්‍රදේශයක් කරා ම සෙනෙවිවරුන් පිටත් කැර හැරියේ ය.

    හෙල්ලොලිය ප්‍රදේශයට පිටත් කරනු ලැබූ සෙනෙවියාට දක්නට ලැබුණේ ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ දර්ශනයකි. ගම අසල වූ අශෝක වනයෙහි තුරු සෙවණක ඉතා නිවිහැල්ලේ වාඩි වී සුර දූතිකාවක බඳු රුපශ්‍රීයෙන් යුත් යෞවනියක සමග පි‍්‍රය සල්ලාපයෙහි යෙදී සිටින සාලිය කුමරු ඔහුට දක්නට ලැබුණි.

    යෞවනියගේ සුරූපී බව හමුවේ ගල් ගැසී ගිය සෙනෙවියා තමා පැමිණි අරමුණ ද අමතක ව ගස් අතර සැඟවී බොහෝ වේලා අශෝකමාලා දෙස බලා සිටියේ ය. ඉක්බිති කුමරු ඉදිරියට පැමිණි සෙනෙවියා ඔහුට ගෞරවාචාර දක්වා කතා කළේ ය.

    “අවසර කුමාරයාණෙනි, ඔබ වහන්සේ ගේ පිය රජතුමාත් මව් බිසවත් ඔබ වහන්සේ මාළිගාවේ නැති නිසා දැන් පසුවන්නේ බලවත් ශෝකයෙන්. ඒ නිසා නොපමා ව මාළිගාවට සැපත් වන සේක්වා.”

    “සෙනෙවිය, මට අනුරාධපුර රජ මාළිගාවට වඩා සුව පහසු මාළිගාවක් මෙහි ලැබී තිබෙනවා. එ පමණක් නොවෙයි, මට ඔබින කුමාරිකාවකුත් ලැබී තිබෙනවා. ඒ නිසා මා ආපසු අනුරාධපුර රජ මාළිගාවට නොපැමිණෙන බව පිය රජතුමාටත් මව් බිසවටත් වහා ආපසු ගොස් සැල කරව“ යි කුමාරයා පිළිතුරු දුන්නේ ඔවුන් දෙදෙනාගේ සංවාදයේ අගක් මුලක් වටහාගත නොහී අශෝකමාලා අන්දුන් කුන්දුන් ව බලා සිටිය දී ය.

    එහෙත් මේ තමාගේ ස්වාමියා බවට පත්ව සිටින්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු බව අවබෝධ වූ කෙණෙහි ඕ බියෙන් වෙවුලන්නට පටන් ගත්තා ය. “අහෝ! කුමාරයාණෙනි, අසරණ මාත්, මගේ මවුපියනුත්, නෑදෑයනුත් රාජ උදහසට ලක් නොකර මේ උත්තමයා සමග ආපසු මාළිගාවට වඩින්න” යි අශෝකමාලා රජ කුමරු ඉදිරියේ හඬමින් වැඳ වැටී කන්නලව් කළා ය.

    “අශෝකමාලා, බිය නොවන්න. ඔබට හෝ ඔබේ මවුපියන්ට හෝ ඥාතීන්ට හෝ කිසි ම නපුරක් සිදු වන්නට මා ඉඩ දෙන්නේ නෑ” යි ඇය අස්වැසූ කුමරු නැවත සෙනෙවියාට ඇමැතුවේ ය.

    .​
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    “සෙනෙවිය, පිය රජතුමාගෙන් හා මව් බිසවගෙන් වෙන්වීම මට විශාල කණගාටුවක් බවත් සුදුසු අවස්ථාවේ දී මා ඔවුන් බැහැදකින බවත් සැළකරව. දැන් ආපසු යව“ යි සෙනෙවියාට ආපසු පිටත් වන ලෙස අණ කළේ ය. “එහෙත් කුමාරයාණන් වහන්ස, පිය රජතුමාගෙන් පසු ඔබ වහන්සේට හිමි රජකම?” යි සෙනෙවියා ආපසු පිටත් වන්නට හැරෙමින් ප්‍රශ්නයක් මතු කළේ ය.

    “මගේ අශෝකමාලා හමුවේ රජකම පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මට වටින්නේ නෑ. එහෙයින් තොප ඒ ගැන දුක්විය යුතු නෑ” යනු කුමාරයාගේ පිළිතුර විය.

    ආපසු රජ මාළිගය වෙත පැමිණි සෙනෙවියා රජුට සියලු තොරතුරු දැන්වී ය. ඒ ඇසූ රජතුමා තදින් කෝප වූ නමුත් අශෝකමාලාවගේ රූපශ්‍රීය ගැන සෙනෙවියා කළ වර්ණනය අනුව රජකමටත් වඩා වටිනා ඒ රූප සුන්දරිය ඇසින්දැක කරුණු අවබෝධ කැරැගැනීමේ අභිලාෂයක් දුටුගැමුණු රජු තුළ උපන්නේ ය. ඒ අනුව තමා සිය පුතණුවන් හා ලේලිය දැකගැනීමට එන බව සහ දිනය වේලාව ආදිය දන්වා රජතුමා සාලිය කුමරු වෙත පණිවිඩයක් යැවී ය.

    පණිවුඩය ලත් කුමරු පිය රජු ඇතුළු පිරිසට හිඳින්නට සුදුසු මණ්ඩපයක් අශෝකමාලාවගේඥාතීන් යොදවා ඉදිකැරැවී ය. එහෙත් ආහාරපාන වැනි කිසිවක් පිළියෙළ නොකළේ සැඩොල් කුලයෙන් එවැනි දේ කුලවතුන්ට පිළිකුල් වූ නිසා ය.

    නියමිත දින නියමිත වේලාවට දුටුගැමුණු රජතුමා සපිරිවරින් එහි ළඟා විය. රජුගේ දෙපා නමැදි සාලිය කුමරු තමා කළ වරදට සමාව අයැද සිටිය ද අශෝකමාලාව රජු ඉදිරියට කැඳවාගෙන එනු ලැබුවේ ඇය දකින්නට තමන් තුළ ඇති අභිලාෂය පුත් කුමරුට රජතුමා කී පසු ව ය. බියෙන් ගැහෙමින් දුටුගැමුණු රජුගේ දෙපා මුල හඬා වැටුණු ඕ සමාව හා අභය දානය අයැද සිටියා ය.

    “දේවයන් වහන්ස, මගෙන් වරදක් වූවා නම් මටත් මගේ වරිගයාටත් සමාවත් අභය දානයත් දෙවා වදාරණ සේක්වා.

    සාලිය කුමාරයාණන් වහන්සේ මට අහිමි වුවහොත් මගේ ජීවිතය නොරැකෙන නමුත් මා වැනි සැඩොල් කෙල්ලකගේ ජීවිතයට වඩා රජ පරපුර ආරක්‍ෂා කිරීම වැදගත් නිසා කුමාරයාණන් වහන්සේ ආපසු ගෙන යනු මැනවි” යි අශෝකමාලා කඳුළු අතරින් කියා සිටියා ය.

    අශෝකමාලාවගේ රූපශ්‍රීය හමුවේ සාලිය කුමරු රජකම අමතක කිරීම අරුමයක් නොවන බව දුටුගැමුණු රජුට ඇය දැකීමෙන් අවබෝධ විය. සාලියගේ වයසෙහි වී නම් තමා ද ගන්නේ ඒ තීරණය ම බව රජු සිතුවේ ය.

    “දරුවනි, ඔබ දෙදෙනාට මගේ සමාව සහ ආශීර්වාදය හිමි වේවා!” යි ඔවුනට ආශීර්වාද කළ රජතුමා නව යුවලගේ මංගල්‍ය උත්සවය සඳහා කටයුතු සකස් කරන ලෙස ඇමැතියන් ඇණැවී ය. සාලිය අශෝකමාලා මුණගැසුනු අශෝක වනය තුළ ම ඉදිකැරුණු මණ්ඩපයක දී මංගලෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර දුටුගැමුණු රජතුමා අශෝකමාලාව සමග එක් ව භෝජන සංග්‍රහයට සහභාගිවීම නිසා ඕ සැඩොල් කුලයෙන් මිදුණා ය.

    එහෙත් එය ඈ රජ කුලයට වැද්දගැනීමක් නො වූයේ සම්මතය අනුව ඊට ඉඩක් නො වූ හෙයිනි.

    දුටුගැමුණු රජතුමාගේ අණින් අශෝක වනය තුළ ම ඉදි කැරුණු තෙමහල් මන්දිරයක ඔවුන් සෑම අතින් ම තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කළ නමුත් සැඩොලියක විවාහ කැරැගැනීම නිසා සාලිය කුමරුට රජකම සඳහා වූ හිමිකම අහෝසි විය. එහෙත් එය සාලිය කුමරු විසින් කැමැත්තෙන් ම තමා වෙත කැඳවාගනු ලැබූ ඉරණමකි.

    මේ අනුව දුටුගැමුණු රජුගේ ඇවෑමෙන් රජකම හිමි වූයේ ඔහුගේ කණිටු සොයුරු තිස්ස කුමරුට ය. හෙතෙම සද්ධාතිස්ස නමින් ක්‍රි. පූ. 137 සිට 119 දක්වා අනුරාධපුර රාජ්‍යයේ රජකම් කළේ ය
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ammata udu niyama love story ekane..me pissu wikara films hadanawata wada onna owage ape ithihasaya gena films unath haduwanam mara lassanai ne :D

    thanx for sharing bro
    rep +