සාවත්ථියං විහරති ජේතවනේ..

hpalpola

Well-known member
  • සාවත්ථියං විහරති ජේතවනේ..

    ලෝක ප්‍රසිද්ධ ජේතවන දෙකකි. ඒ ඉන්දියාවේ ජේතවනාරාමයත් ශ්‍රී ලංකාවේ ජේතවනාරාමයත් ය. ලංකාවේ ජේතවනාරාමය ගැන මේ දිනවල වාහන නැවතුම්පොලක් හේතුවෙන් වැඩි වැඩියෙන් කථා කරයි. ඒ ගැන මෙහි කථා කිරීමට බලාපොරොත්තු නොවේ. මේ කථා කරන්නේ ඉන්දියාවේ ජේතවනාරාමය ගැනය.

    දඹදිව චාරිකා යන අය අනිවාර්යෙන්ම සංචාරයට තෝරා ගන්නා ස්ථානයක් ලෙසින් ජේතවනාරාමය නම් කළ හැක. අද ඉන්දියානු රජය සංචාරක ව්‍යාපාරයෙන් ධනය ඉපැයීමේ ස්ථානයක් ලෙසින් ජේතවනාරාමය ආශ්‍රිත බිම පාවිච්චි කරයි.

    ත්‍රිපිටකයට අනුව ජේතවනාරාමය, අනාථ පිණ්ඩික සිටුතුමා විසින් සැකසීම පිළිබඳව විනය පිටකයේ දැක් වේ. ඔහු රජගහ නුවරට ගිය අවස්ථාවේ දී බුදුරජාණන්වහන්සේ මුණ ගැසී උන්වහන්සේ ට සැවැත්නුවරට වැඩම කිරීමට ආරාධනාවක් කරයි. එම ආරාධනාව බුදුරජාණන්වහන්සේ පිළිගනී. ඉන් පසුව සැවැත්නුවරට පැමිණෙන සිටුතුමා, බුදුරජාණන්වහන්සේට වාසය කිරීමට ආරාමයක් තනවයි. විනය පිටකයේ දැක්වෙන ආකාරයට ජේතරාජ කුමාරයාට (රොක්හිල් විසින් ජේතරාජ කුමාරයා පසේනදි රජුගේ පුතකු ලෙසින් හඳුන්වයි. ඔහුට අනුව විඩූඩහ විසින් ජේතරාජ කුමාරයා මරා දමයි.) අයත් උද්‍යානයක් මේ සඳහා අනාථ පිණ්ඩික සිටුතුමා විසින් තෝරා ගෙන තිබේ. ඒ පහත පරිදි ය.

    අනේපිඬු සිටු තෙම ගමට ඉතා දුරැ නොවූ ඉතා ළඟ ද නො වූ ගමනාගමනයට පහසු වූ, (බුදුරජුන් දැකීම් ආදිය) කැමැති කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වූ දහවල් ජනාකීර්‍ණ නොවූ, රාත්‍රියෙහි නිහඬ වූ නගර ඝොෂ රහිත වූ, ජනවාත විරහිත වූ, මිනිසුන්ගේ හුදෙකලාව කරන ක්‍රියාවනට යොග්‍ය වූ විවේක වාසයට සුදුසු වූ ජෙතරාජකුමාරයාගේ උයන දුටුයේ ය.

    මෙහි දැක්වෙන ගම ශ්‍රාවස්තිය නැත්නම් සැවැත්නුවර වේ. කෙසේවෙතත් ජේතරාජ කුමාරයා එක්වරම තමුන්ගේ උයන මේ සඳහා ලබා දීමට සූදානම් නොවිනි. අවසානයේ ඉඩම පිළිබඳව වූ හබ විසඳෙන්නේ අධිකරණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි. බිම පිරෙන්නට කහවුණු ඇතිරීම සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව සඳහන් වේ. කෙසේවෙතත් කහවුණු පිරවීමේ දී එක් ස්ථානයක් සඳහා යම් අඩුවක් තිබිණි. මේ අඩුව දුටු ජේතරාජ කුමාරයා එම ස්ථානය තමුන්ගේ නමින් පූජා කරන්නට විය. ඒ බව මෙසේ දැක් වේ.

    එවිට ජේතරාජකුමාරයාට “යම්හෙයකින් මේ ගැහැවි තෙම ඒ සා මහත් මසුරන් රැසක් පරිත්‍යාග කරන්නේ ද එ හෙයින් මෙ සුළු කාරියෙක් නො වන්නේ යැ” යි මේ සිත විය. ඉක්බිති හෙතෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, අවශ්‍ය නැත. ඒ අවකාශය නො අතුරවන්න. ඒ අවකාශය මට දෙන්න. එය මගේ දානය වන්නේයැ” යි කී ය.

    එවිට අනේපිඬු “මේ ජේතරාජකුමාර තෙම (මහ ජනයා විසින්) වෙසෙසින් දන්නා ලද ප්‍රකට මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මෙ සස්නෙහි පැහැදීම මහත් වැඩ සිදුකරන්නේ වේ” යැ යි සිතා ඒ අවකාශ ප්‍රදේශය ජේතරාජකුමාරයාට දුන්නේ ය.

    මේ ආකාරයට ඉඩම ලබා ගත් පසු අනාථ පිණ්ඩික සිටුතුමා කරන්නේ ආරාමය ඉදි කිරීමයි. ඒ ගැන මෙසේ සඳහන් වේ.

    ඉක්බිත්තෙන් අනේපිඬු සිටු ජේතවනයෙහි විහාරයන් කැරැවිය. පිරිවෙන් කැරැවිය, දොරටු කැරැවිය, උවටන්හල් කැරැවිය, ගිනිහල් කැරැවිය, කැපකිළි කැරැවිය. වැසිකිළි කැරැවිය, කෙසකිළි කැරැවිය. සක්මන්මළු කැරැවිය, සක්මන් හල් කැරැවිය. ළින් කැරැවිය, ළින්හල් කැරැවිය, ජෙන්තාකගෘහ කැරැවිය, ජෙන්තාකගතෘහශාලා කැරැවීය. පොකුණු කැරැවිය මඩු කැරැවිය.

    ජේතරාජ කුමාරයා ද, තමුන් ලබා ගත් බිම් කොටසේ දොරටුවක් සකස් කිරීමට යොමු ව ඇත. දැන් මේ ජේතරාජ කුමාරයාගේ උද්‍යානයේ සිටුතුමා විසින් කරවූ විහාරයේ අංග කීපයක් ම හඳුනා ගැනීමට ලැබේ. ඒ පහත ලෙසිනි.

    පිරිවෙන්, දොරටු, උවටන්හල්, ගිනිහල්, කැපකිළි, වැසිකිළි, කැසිකිළි, සක්මන් මළු, සක්මන් හල්, ළින්, ළින්හල්, ජෙන්තාකගෘහ, ජෙනතාකගතෘශාලා, පොකුණු සහ මඩු

    මේ ආරාම කර්මාන්තය අවසන් වූ පසුව බුදුරජාණන්වහන්සේ රජගහ නුවර සිට සැවැත්නුවරට වැඩි සේක. එසේ වැඩම කර ආරාමය පිළිගත් සේක.

    ත්‍රිපිටකයේ කෙරෙන මේ විස්තරය අනුව ක්‍රි.පූ.5 වන සියවස වන විට සැවැත්නුවර ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබී ඇති බවට අමුතුවෙන් කිව යුතු නොවේ. මුදල් භාවිතාව ගැන දැක්වෙන කරුණු වලින් ම ඒ බව තහවුරු වේ.

    සැවැත්නුවර කෝසල රාජ්‍යයේ අගනගරය විය. බුදුරජාණන්වහන්සේ මේ වන විට වැඩ සිටි රජගහ නුවර මගධයේ අගනුවර විය. බුද්ධ කාලයේ දී ඉන්දියාවේ තිබූ විශාලම රාජ්‍ය 6 අතරින් දෙකක් ලෙසින් මේ රාජ්‍ය දෙක හැඳින් වේ. ත්‍රිපිටකය තුළම සොළොස් මහ ජනපද පිළිබඳව නම් කරද්දී කෝසල ගැනත් කියයි. බුදුරජාණන්වහන්සේත් අයත් වූයේ කොසොල් රාජ්‍යයටම වේ.

    ජාතක කථා ආශ්‍රයෙන් විමසීමේ දී මේ ආරාම පූජාව මාස 9 ක පමණ කාලයක් සිදුව තිබේ. ඒ සඳහා සිටුතුමාගේ චූල සුභද්‍රා, මහා සුභද්‍රා දූවරු මෙන්ම පුත්‍රයාද සම්බන්ධව ඇත.

    ජේතවනාරාමයේ සිටියදී බුදුරජාණන්වහන්සේ පැන් පහසු වූ පොකුණ, ජේතවණපොක්ඛරණී නැත්නම් ජේතවණ පොකුණ ලෙසින් හැඳින්විනි.

    ජේතවනාරාමය ආශ්‍රිතව තිබුනේ වනයකි. අරණ්‍යයක් ලෙසින් එය දැක් වේ. එයට වටින් අඹ වනයක් විය. දොරටුවට ඉදිරියෙන් ආනන්ද බෝධිය පිහිටුවීමට සිටුතුමා කටයුතු කරන ලදි. ධම්මපදය සමඟ සැලකිල්ලට ගත් විට චින්චිමානවිකාව ද වාසය කරනු ලැබ ඇත්තේ ජේතවනාරාමය ආශ්‍රිතව ය. ජේතවනාරාමයට පිටින් තීර්ථකයන් පදිංචිව සිටිනු ලැබූ ස්ථානයකි. ජාතක කථා කියවන්නේ නම් ඔවුන් පසේනදි රජුට අල්ලස් දී ජේතවනාරාමයට හානි කිරීමට දරනු ලැබූ උත්සාහය ගැන අසා ඇතුවාට සැක නැත.

    ජේතවනාරාමය අසල ළමයින්ගේ ක්‍රීඩා පිට්ටනියක් ද තිබී ඇත. එහි සෙල්ලම් කරනා ළමුන් පිපාසය දැනුන විට ජලය ලබා ගෙන ඇත්තේ ජේතවනාරාමයෙනි. සැවැත්නුවරට ගමන් කරනා ප්‍රධාන මාර්ගය ද වැටී තිබී ඇත්තේ ජේතවනයට මායිම් ව ය. මෙනිසා මාර්ගයේ ගමන් ගන්නා මගීන් විවේකය සඳහා මෙහි සෙවන ලබා තිබේ.

    දිව්‍යාවදානයේ දැක්වෙන ආකාරයට සැරියුත් සහ මුගලන් දෙනම වෙනුවෙන් සැකසූ ස්ථූප අශෝක කාලය දක්වාත් මෙහි තිබී ඇත. ෆා හියන් භික්ෂුව මෙන්ම හ්‍යුත් සාං භික්ෂුව විසින් ද ජේතවනාරාමය පිළිබඳව විස්තර කර තිබේ. ෆා හියන්ට අනුව විහාරය සත්මහල් ය. මීයකුගෙන් සිදු වූ අනතුරක් නිසා ගින්නෙන් පිළිස්සුණු විහාරය පසුව මහල් දෙකකට නවීකරණය කර ඇත. ෆා හියන් තවදුරටත් මෙහිදී බුදුරජාණන්වහන්සේට සම්බන්ධ කරමින් සකස් කර තිබූ ස්ථූප කීපයක් ම දැක තිබේ.

    බුදුරජාණන්වහන්සේ වැඩ සිටි ඝන්ධකුටියේ ඇඳේ කණු හතර බිම වදින ස්ථානය, සෑම බුදු කෙනෙකුටම නොවෙනස්ව පවතින බවට කියයි. නමුත් විහාරය එක් එක් බුදුවරයාට අනුව වෙනස් විය හැක.

    බුදුරජාණන්වහන්සේ වස් කාල 19 ක් ජේතවනාරාමයේ වැඩ වාසය කර තිබේ.

    ඉන්දියානු රජය විසින් සහෙත් මහෙත් දිස්ත්‍රික්කයේ සහෙත් යන්නෙන් ජේතවනය අදහස් කරයි.

    ඡායාරූප සඳහා මෙහි පිවිසෙන්න.