සා/පෙ ලියපු හැටි

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    සා/පෙ ලියපු හැටි

    hurdles.jpg


    දෙසැම්බර් කියන්නෙ එකොළහ වසර ළමයි සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන මාසෙනෙ. මම සා/පෙ ට මුහුණ දුන්නු දෙසැම්බර් මාසෙ ගෙවිල දැනට අවුරුදු දහයක්. ජීවිතේ දෙවෙනියට හම්බවෙන ලොකු විභාග කඩඉම. මගේ සූදානම උපරිමේට තිබ්බ. ඉස්කෝලෙ සර්ල, මිස්ල අපි වෙනුවෙන් පුදුමාකාර මහන්සියක් දැරුව. හවස් වරුවේ, සති අන්තයේ වගේම නිවාඩු කාල වලත් මදි නොකියන්න අමතර පන්ති තිබ්බා. සල්ලි වලට නෙවෙයි. සිලබස් කවර් කරල අපිව විභාගෙට ලෑස්ති කරන්න. එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න ලැබිච්ච එකත් වාසනාවක්. ඒ නිසා ටියුෂන් පන්ති යන්න වැඩි අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. මමනං ටියුෂන් ගියේ ගණිතයටවිතරයි.


    ඔහොම මහන්සි වෙච්චි අවුරුද්ද ගෙවීගෙන ගිහින් සිලබස් කවර් කරල, හැඳුනුම්පත් හදල, මතක් කරන්න බැරි තරං වාර ගානක් පෙරහුරු පරීක්ෂණ කරල අන්තිමේදි ඇඩ්මිෂනුත් ඇවිල්ල මම එහෙමපිටින්ම විභාග මානසිකත්වයෙන් ඉන්නකොට තමයි මෙන්න මේ කියන්න යන වැඩේ උනේ.


    මට මතක විදියට ඒ වෙනකොට විභාගෙ පටන් ගන්න තිබ්බෙ සතියක් විතර. මුලින්ම හැදුනෙ හෙම්බිරිස්සාවක්. ඒක පේයාව, පස්පංගුව බිව්වට අඩුඋනේ නැහැ. ඊට පස්සෙ හෙම්බිරිස්සාව එක්ක උණත් හැදුන. තව බලාගෙන ඉන්න හො නැති නිසා ලම තිබ්බ ඩිස්පැන්සරියට ගිහින් බොහෙත් අරං ආව. ඒත් ඒ බේත් වලින් කිසි ගුණයක් නෑ. යන්තං උණ බහිනව ආයෙ පස්සෙ වැඩි වෙනව. කොහොම හරි විභාගෙ පටන් ගන්න ඉස්සෙල්ල දවසෙ රෑත් මට හොඳටම උණ. අම්මගෙයි අප්පච්චිගෙයි හිත්වලටත් හරිනෑ. “දැන් මොනාද කරන්නෙ” කියල බැරිම තැන අප්පච්චි කිව්ව...


    “ලොක්ක, එහෙනං අපි විභාගෙ ලියන එක ලබන අවුරුද්දට කල් දාමු...” කියල.


    ඒ වෙලාවෙ ඇතිවෙච්චි හැඟීම විස්තර කරන්නනං අදටත් මං ලඟ වචන නෑ. අවුරුද්දක් තිස්සෙ මෙච්චර මහන්සි වෙලා වැඩ කරල මේ කොහෙවත් යන උණකුයි හෙම්බිරිස්සාවකුයි නිසා ඒ මහන්සිය වතුරෙ යන්න අරින්න පුළුවන්ද? මට දැන් ඇ‍ෙඬන්න ඔන්න මෙන්න. මං කිව්ව...


    “බෑ!... බෑ!!... බෑ!!!... මට විභාගෙ ලියන්න යන්නම ඕනි” කියල.


    විභාග ශාලාවෙ වාඩිවෙලා ලියන්න පුළුවන්නං විභාගෙ යන්තං හරි ගොඩදාගන්න පුළුවං කියන විශ්වාසෙ මට තිබ්බ. ප්‍රශ්ණෙ උනේ මෙහෙම ලෙඩ වෙලා ඉන්නැද්දි එකදිගට පැය තුන හතරක් වාඩිවෙලා ඉන්න පුළුවන් වෙයිද කියන එකයි.


    පස්සෙ දවසෙ, ඒ කියන්නෙ මට විභාගෙ ලියන්න තිබ්බ පළවෙනි දවසෙ තිබ්බෙ ‘ඉංග්‍රීසි සාහිත්‍යය’ පේපර් එක. ඒ මං කරපු අතිරේක විෂය.


    මොන විභාගෙ ලියන්නත් ඉස්සෙල්ල ලෙඩේට බේත් අරං ඉන්න එපැයි. ඉතිං එදා උදේම අප්පච්චි ටවුමෙ දොස්තර කෙනෙත් ගාවට මාවත් එක්කරගෙන ගියා.


    දොස්තර මහත්තයට ලෙඩේ විස්තරෙයි මම මේපාර විභාගෙ ලියන විස්තරෙයි ඔක්කොම කිව්ව. ඒ ඔක්කොම අහගෙන ඉඳල රෝග පරීක්ෂාවත් කරල දොස්තර කිව්වෙ නැතැයි මට හැදිල තියෙන්නෙ වෛරස් උණක් කියල.


    “කොහොමද ඩොක්ට... මෙයාට විභාගෙ ලියන්න පුළුවන් වෙයි නේද?” අප්පච්චි ඇහැව්ව.


    “කලින් බෙහෙත් බීපු නිසා ලෙඩේ බාගෙට නැවතිලා වගේ තියෙන්නෙ.


    දැං ඔයාට විභාගෙ ලියන්නම ඕනි නේද?” දොස්තර මගෙං ඇහැව්ව.


    දොස්තරත් පිස්සු කතා කරනව, මං මේ විභාගෙ ලියන්ඩ බැරි වෙයි කියල බයේ ඉන්න වෙලාවෙ. මමත් ඔළුව වනල “ඔව්” කිව්ව.


    “හරි. මං ඔයාට බේත් ටිකක් දෙන්නං. විභාගෙ ලියන්ඩ අමාරු වෙන හින්ද ගොඩක් සැර බෙහෙත් දෙන්නෙ නෑ. ඕක ඇරිල යන්නනං ටික දවසක් යයි.


    බ්ලඩ් එකකුත් චෙක් කරගන්න... හොඳට විභාගෙ ලියන්න... ගුඩ් ලක්!” දොස්තර මහත්තය මූණෙ හිනාවකුත් එක්ක කිව්ව.


    අපි බෙහෙතුත් අරගෙන ටවුමට ඇවිල්ල, කාඩේකින් උදේට කාල, මගේ බෙහෙත්වල උදේ වඩියත් බීල ඉස්කෝලෙට ගියා. එදා අප්පච්චි ගෙදර ගියේ ඉස්කෝලෙ ගේට්ටුව ගාවටම මාව ඇරලවල.


    මං ගිහින් විභාග ශාලාවෙ වාඩි උනා. පුදුමෙකට වගේ විභාගෙ ලියන්න බැරි වෙයි කියල ඇති වෙච්චි බය නිසා මට විභාගෙ ගැන තිබ්බ බය එහෙමපිටින්ම වගේ නැතිවෙලා ගිහින්. හිතේ අවුල් ගතියක් නෑ. මම ලිව්වා... ලිව්වා... ලිව්වා... පැය තුනක්ම ලිව්වා. එදාට තිබ්බෙ එච්චරයි. හැබැයි ආයෙ ගෙදර යනකොට මට එකසිය ගානට උණ.


    ඊලඟ දවස් ටිකෙත් එහෙමයි. හවසට ගෙදර යද්දි උණ. ගිහිං වොෂක් දාල කනව. කනව කිව්වට කොහොම කන්නද. කට තිත්තම තිත්තයි. අම්ම හදල දුන්නු ලුණු කැ‍ෙඳ් බලෙන් තමයි ඔළුව උස්සගෙන හිටියෙ. පස්සෙ බෙහෙත් බීල නිදා ගන්නව. උදේට උණ බැහැල. ලක ලෑස්ති වෙලා විභාගෙට යනව. හවසට ආයෙ උණ.


    ඔහොම දවසි තුනක් විතර ගියාම තමයි ලෙඩේ හොඳ වේගෙන එනව කියල ඇඟට දැනෙන්න ගත්තෙ. විභාගෙට ලිව්වෙ මොනාද කියලනං දැං මතක නෑ. ඒත් එක දෙයක්නං මතකයි. වෙලාව මදි වෙච්චි නිසා ගණං පේපර් එකේ අන්තිම ගාන හැදුව නිකං ආවේස වෙලා වගේ.


    කොහොමින් කොහොමින් හරි මම විභාගෙ විෂයන් ඔක්කොම ටික ලියා ගත්ත. ඊට මාස ගානකට පස්සෙ ප්‍රතිඵල ලේඛණය බැලුවම මට තේරුණා මගේ මහන්සිය අපතෙ ගිහිං නැති බව. ඉංග්‍රීසි සාහිත්‍යයට තිබ්බෙ “S” එකක්. චිත්‍ර වලට තිබ්බ “B” එකක්. අනිත් ඔක්කොම ඉතිං“A” තමයි.

    Source:-Click Here
     
    • Like
    Reactions: Thilinacba