මෙරට බහුතරයකගේ මනස හැසිරෙන ආකාරය හා හිතන පතන විදිහ පුදුමාකාරය. කලකට ඉහතදී රටේ නායකයා තෝරා ගැනීමේදී, අනෙකුත් කරුණු පසෙකලා ඇතැමුන් සිය වටිනා ඡන්දය භාවිතා කළේ උඩු රැවුලට හා ජාතික ඇඳුමටය (එයට ජාතික ඇඳුමයැයි පවසන්නේ කුමන පදනමක සිටද යන්න පිළිබඳවනම්, පුද්ගලිකව මා හට ගැටළුවක් ඇත.)
මේ දිනවල බොහෝ දෙනෙකු කථාකරන්නේ නිදහස් සැමරුමේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පෙනුම පිළිබඳවය. එතුමන්ගේ ශරීර ප්‍රමාණය පිළිබඳවය. එතුමන්ගේ ඇඳුම පිළිබඳවය. සහ හිටපු ජනාධිපතිතුමාගේ පෙනුම හා ඇඳුම සමගින් සංසන්දනය කරමින් දෙදෙනාගේ වෙනස පිළිබඳවය. මේ දිනවල රටේ දැවෙන ප්‍රශ්න වන්නේ මේවාය.
ශරීර ප්‍රමාණය හා පෙනුම මතම රටේ නායකයා තීරණය කරනවානම්, මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වශයෙන් පත්වනතෙක්ම රට පාලනය කරන්නට නියමිතව තිබුණේ (යළි මරණයෙන් නැගිට හෝ) ඩී.එස්. සේනානායක මැතිතුමන්ටය. බණ්ඩාරනායකලා, ජේ.ආර්.ලා,ප්‍රේමදාසලා කෙසඟ මිනිසුන්ය. ඉතිං ඔවුන් කෙසේ රට පාලනය කරන්නද? මා මීට පෙර අවස්ථාවකදී පවසා ඇති පරිද්දෙන්ම, වර්තමානයේ මෙරට ඡන්ද දායකයින් ප්‍රධාන වශයෙන් දෙපිරිසකි. එක් පිරිසක් පාටක්, පක්ෂයක්, පුද්ගලයෙක් පිළිබඳව නොසිතා රට ගැන, රටේ උන්නතිය ගැන පමණක්ම සිතා සිය ඡන්දය භාවිතාකරන අතර, අනෙක් පිරිස, රටට වැඩක් වුනත් නැතත්, කොටින්ම රටට හෙන ගැහුවත් මහින්ද රාජපක්ෂ ගැන පමණක්ම සිතා සිය ඡන්දය භාවිතාකරයි.
හිටපු ජනපතිතුමන් චිරාත් කාලයක් ජීවත්වේවායැයි මම අවංකවම පතමි. නමුත් උපකල්පනයක් වශයෙන් එතුමන්ගේ ජීවිතයට හෝ ශරීර යෝග්‍යතාවයකට කිසියම් අනතුරක් සිදුවූවානම් මහින්ද රාජපක්ෂනම් වූ පුද්ගලයා මතම මැරීගෙන සිටින පිරිසට කුමක් සිදුවේවිද? ඊලඟට ඔවුන් මැරීගෙන කටයුතු කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්ද, නැතිනම් නාමල් රාජපක්ෂ වෙනුවෙන්ද, එසේත් නැතිනම් ඇමරිකාවෙන් ගෙන්වා බැසිල් රාජපක්ෂ වෙනුවෙන්ද? මෙතරම්ම පුද්ගලයෙකු වෙනුවෙන් ගැතිවන්නේ කෙසේද? කුමකටද? යුද්ධයෙන් රට මුදවාගැනීමේදී රටේ නායකත්වය හෙබවූ නිසානම්, සුද්දන්ගෙන් රට මුදවාගත් නායකයින්ටත් ඔය ආකාරයෙන්ම ගැති විය යුතු නොවේද?
දැන්වත් මෙවැනි වූ පටු අදහස්වලින් මිදිය හැකිනම්, පුද්ගලයා ගැන නොව රට ගැන සිතිය හැකිනම්, හෙට දිනයේදී, පුද්ගලයාට අපව පාලනය කළ හැකිවනවා වෙනුවට, අපට පුද්ගලයාව පාලනය කළ හැකිවනු ඇත.
ප්‍රදීප් ප්‍රේමලාල්