සිංහලයා_බනින_පර_සුද්දා_මෙයාකාරය
මෙම ලිපිය මා ලියුවක් නොවේ, මේ බ්ලොග් අඩවියෙන් ලබාගත්තකි.
මෙම ලිපිය මා ලියුවක් නොවේ, මේ බ්ලොග් අඩවියෙන් ලබාගත්තකි.
සුද්දෝ රකින අපි නොරකින අපේම වූ උරුමයක් ගැන සටහනකි මේ.
අපි හැමදාමත් වැඩියෙන් හඬනඟා ඝෝෂා කරන්නාට වාදයෙන් ජය ගත්තා යැයි සිතන්නට ඉඩ හරිමු ද? නැතහොත් ඇත්ත ඇති සැටියෙන් දකින්නට සුළු වෙහෙසක් ගනිමු ද?
“සංස්කෘත හා පාලි නමැති මවුපියන් බිහි කළ අතිජාත පුත්‍රයා සිංහල භාෂාවයි”. ඒ සිළුමිණ පත්‍රයේ පුන්කලස සංවාද මණ්ඩපයේ වූ ශීර්ෂයකි.
සිංහල බස වැඩිදුර ඉගෙන ගන්නට නම් තමන්ගේ අම්මා තාත්තා වූ සංස්කෘත හා පාලි දැන ගැනීම වැදගත්ය. හැබැයි අද කාලේ පර සුද්දාට බනින නමුත් සිංහල හරියාකාරව නොදත්තාට එවිට කුමන කලක් යාවි ද?
පාලි පාඨ සංගමය (Pali Text Society) 1881 දී, එනම් රොබට් නොක්ස් ලංකාවට පැමිණ වසර 200 කට පමණ පසුව, ලන්ඩනයේ දී ඇරඹියේ එංගලන්ත සුද්දෙක් වූ ටී. ඩබ්ලිව්. රීස් ඩේවිස් විසිනි. පුරා වසර 129 ක් පාලි භාෂාව සඳහා වෙන් වූ එය අද දිනයේ ද පාලි සාහිත්‍යය හා භාෂාව හැදෑරීම සඳහා වූ ආයතනයකි. එය ආසියානු පුස්කොළ පොත් සංරක්ෂණය ව්‍යාපෘතියක් පවත්වා ගෙන යයි. පාලි පාඨ සංගමයේ සඟරාව (Journal of the Pali Text Society) නව වෙළුමක් හා පාලි භාෂාව/සාහිත්‍ය පිළිබඳ පොත් දෙකක් වාර්ෂිකව පළ කිරීම ඔවුන්ගේ වෑයමයි.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන් උපදින්නේ 1896 දීය. උන්වහන්සේ ලියූ අද දිනයේ ද සිංහලෙන් පාලි හැදෑරීම පිණිස වූ අත්පොතක් වන “සරල පාලි සික්ෂකය” කුමන වසරේ මුලින්ම ලියා පළ කරන ලද දැයි නොදනිමි.
පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මාහිමියෝ උපන්නේ 1887 දීය. උන්වහන්සේ ලියූ “පාලි භාෂාව තරණය” මුල් පිටු ගැලවුන පොතක් මා සතුය. එහි මුල් ම ප්‍රකාශිත වසර කුමක් දැයි නොදනිමි.
‘සරල පාලි සික්ෂකය’ හා ‘පාලි භාෂාව තරණය’ පොත් කාණ්ඩ හැරෙන්නට අද දිනයේ ද සිංහලෙන් පාලි භාෂාව ඉගෙනීමට පොත් කුමන සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ ද යන්න සොයා බලා අපට අපේ උරුමය හැදෑරීමට ඇති උවමනාවත් පර සුද්දන්ට පිටදේශක්කාරයන්ගේ යල් පැන ගිය භාෂාවක් හදාරන්නට ඇති උවමනාවත් ගැන සිතා බලන්න.
විලියම් ඩ්වයිට් විට්නි ඉන්දු-යුරෝපීය වැඩ සටහනක් සඳහා මුලින්ම සංස්කෘත ව්‍යාකරණ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කළේ 1875 දීය. ඉන්පසු දිගටම සංස්කෘත හදාරන ඔහු යේල් විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂාව මහ පුටුව හොබවයි. ඔහු ලියූ SANSKRIT GRAMMAR, Including both the Classical Language, and the older Dialects, of Veda and Brahmana ග්‍රන්ථය ප්‍රකාශිත වසර 1950 දී ය. අද අන්තර්ජාලය මඟින් එය නොමිලයේ හැදෑරිය හැකිය.
Kurze Elementar-Grammatik der Sanskrit-Sparche නම් වූ මූලික සංස්කෘත භාෂාව හදාරන සරල පොතක්, අභ්‍යාස සමඟින්, කියවන්නට මූලාශ්‍ර- සහ ගැටපද විවරණයක් ද ඇතුව බිහිවන්නේ Jan Gonda විසින් 1963 දීය. එය A Concise Elementary Grammar of the Sanskrit Language නමින් The University of Alabama Press විසින් ඉංග්‍රීසියට පරිවර්තනය වන්නේ 1966 දීය. මෙහි සිංහල පරිවර්තනයක් ඇත්දැයි නොදනිමි. නෙදර්ලන්තයේ උපන් ගොන්ඩා Universiteit Utrecht හි සංස්කෘත මුල් පුටුවක් දැරුව ද ආසියාවට කිසි දිනක පය තබාවත් නැත.
සර් මෝනියර් මෝනියර්-විලියම් විසින් 1872 දී සම්පාදිත අන්තර්ජාලය මඟින් ද පරිහරණය කළ හැකි සංස්කෘත-ඉංග්‍රීසි ශබ්දකෝෂය අදත් සැලකෙන්නේ යම් ප්‍රමාණයකට සම්පූර්ණ වන එකම සංස්කෘත ශබ්දකෝෂය ලෙසයි. එහි නූතන ප්රකාශනයක කොපියක් මා සතු වටිනා වස්තුවක් ලෙස මම සලකමි.
මහාචාර්ය ජී. හේමපාල විජයවර්ධන අතින් The Influence of Sanskrit Alankara Sastra on Early Sinhalese Poetry ලියැවෙන්නේ 1963 දී ඉන්දියානු සරසවියක ආචාර්ය උපාධි නිබන්ධනය සඳහාය. මුල් භාගය ඉන්දියානු Chowkhamba Sanskrit Series Office විසින් Outlines of Sanskrit Poetics (1970) ඉංග්‍රීසියෙන් පළවිය. එය පරිවර්තනයක් ලෙසින් ‘සංස්කෘත කාව්‍ය විචාර මූලධර්ම’ යැයි පළ වූ දිනය කවදා දැයි නොදනිමි. එහි අපර භාගය ‘සිංහල ගී කාව්‍ය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත්රයේ බලපෑම’ යැයි සිංහල බසට පරිවර්තනය වන්නේ රෝහිණී පරණවිතාන අතින් 2010 දීය.
සංස්කෘත රචනා ගැන වූ ශාස්ත්‍රීය පොත් හා සංස්කෘත පරිවර්තන රාශියක් ලියා ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය සංස්කෘත පුටුව හොබවන ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් සංස්කෘත භාෂාව උගන්වන පොතක් ලියා ඇත්දැයි නොදනිමි.
‘සුරභාරතී සංස්කෘත භාෂා ප්‍රවේශය’ ඩබ්ලිව්. එස්. කරුණාතිලක ලියා පළ කර ඇත්තේ 1995 දීය. අද සිංහල බසින් සංස්කෘත හදාරන අයට භාෂාව ඉගෙනීමට පොත් කුමන සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ ද යන්න සොයා බලා අපට අපේ උරුමය හැදෑරීමට ඇති උවමනාවත් පර සුද්දන්ට පිටදේශක්කාරයන්ගේ යල් පැන ගිය භාෂාවක් හදාරන්නට ඇති උවමනාවත් ගැන සිතා බලන්න.
ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ දී ”The growth of Sinhalese language Nationalism: A study in the sociology of language” ආචාර්ය උපාධි නිබන්ධනය ලියන්නේ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස විසිනි. එය ප්‍රකාශයට පත්වන්නේ ලංකාවේ නොවේ. මිචිගන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය මඟින් 1992 දී ”language, Religion and Ethnic Assertiveness: The Rise of Sinhalese language Nationalism in Sri Lanka” නමින්ය එය පිළිගැන්වෙන්නේ. ඔහු පවසන අන්දමට 2002 දී රාජ්‍ය සම්මානය පිදි “ජාත්‍යානුරාගය” නම් ශාස්ත්‍රීය “කෘතිය බිහිවන තුරු දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය ආදී ක්ෂේත්‍ර වල විද්‍යාර්ථීන්ට සිංහල බසින් කියැවීමට න්‍යායාත්මක කෘතියක් තිබුණේ නෑ.” සිංහල භාෂාවේ දියුණුවට ඔහු මුහුණ පෑ අභියෝග කියවන්නට සිළුමිණ හි පළ වූ සාකච්ඡාව කියවිය යුතුමය.
එහෙත් අපි නිතර පාහේ පර සුද්දාට නම් පළු යන්නට කැඩිච්ච සිංහලෙන් බැන වැදීම නතර කර නැත. හෙම්බිරිස්සාව හැදුනත් සුද්දට බැනීම මිස නිදහස ලැබූ දා සිට අපේ අතිජාත පුතාටත්, මව්පියෝ දෙදෙනා වෙනුවෙනුත් කරන ලද කාර්ය භාර්ය කුමක් ද? මහා හයියෙන් අපේ උරුමය සූරා කෑවා යයි බයිලා කීම ද?


).