සිත එකඟ කර ගැනීමට නොහැකි වීමත්, සිත පිට යාමත් ය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    භාවනාවට ප්‍රවිෂ්ඨ වන ආධුනික අයටත්, කාලයක සිට කරන අයට වුවත් ඇති විශාලම ගැටළුව සිත එකඟ කර ගැනීමට නොහැකි වීමත්, සිත පිට යාමත් ය. දිගින් දිගටම මෙසේ සිත පිට යද්දි, කුඩා හෝ සමාධියක් නොලැබෙද්දී, ඔවුනට භාවනාව වෙහෙසකාරී ලෙස දැනේ. උනන්දුව, වීර්යය හීන වී යා හැකියි. භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම, තමාටත් නොදැනීම සිත නොයෙක් අරමුණු ඔස්සේ දිව යයි. නැවත සිහි උපදවා ගනිද්දි විශාල දුරකට ගොස්ය. මේවා ඇත්ත වශයෙන්ම ඉතාමත් පොදු, සුලබ දේවල්‍ ය.
    සිතේ ස්වභාවය අරමුණක් පස්සේ දිව යෑමමය. අතීතයටත්, අනාගතයටත් එය නිරතුරුව දුව යයි.
    භාවනාවේදි ඔබ සිත නතර කර ගන්නට උත්සාහ කරන විට, එය කැපී පෙනෙයි. අනෙක් වේලාවල් වලදී අප මෙසේ සිතට අවධානයක් දී සිත නතර කරගැනීමට උනන්දුවක් නැති බැවින් අපට එය පේන්නේ නැති වූවද, සිත සෑම විටම මෙසේ කොහේ හෝ ඇති අරමුණක එල්ලීම පවතී. මේ මොහොතේ සිහිය තියාගෙන කාර්යයන් කිරීමට අප පුරුදු කර නැත. භාවනාවට වාඩි වූ විටද ක්‍රියාත්මක වන්නේ ඒ ඔබ පුරුදු කර ඇති සිතය..
    මොහොතක් මෙනෙහි කර බලන්න. ඔබ උයන විට උයන්නේ ඒ කරන කාර්යය මත පමණක් සිත තබාගෙනද ? ගෙදර දොරේ හෝ ඕනෑම කාර්යයක නිරත වද්දී, ඒ කරන කාර්යය මත පමණක්ම සිත තබාගෙන ඒ වැඩය කරන්නට අප පුරුදු වී නැත. කයින් එක තැනකය. සිත වෙනත් තැනකය. නමුත් අපට ඒ ගැන වදවීමක් නොවේ. භාවනාවේදීත් මේ ඔබ පුරුදු කරපු ආකාරයටම, සිත ක්‍රියාත්මක වෙයි. ඔබ කයින් වාඩි වී ඇති මුත්, සිත එයට පුරුදු ආකාරයටම මහා දුරකට යයි.
    එසේ නම් මෙයට පිළියම කුමක්ද..!
    පළමු පියවර නම් මේ ගැන උපේක්ෂා වන්න. මන්ද දැන් ඔබ දන්නවා මේ ක්‍රියාත්මක වන්නේ ඔබම වැඩූ සිත බව. මේ ජීවිතයේ පමණක් නොව, සසර පුරා ඔබම වැඩූ සිත. ඔබ එයට ගැටී පලක් නොවන බව අවබෝධ කරගන්න. අතීතයේ නොකරපු දේ දැන්වත් තේරුම් ගැනීම ගැන සතුටු වන්න. මන්ද අඩුපාඩුව අවබෝධ කරගෙන එය පිළිගැනීම, එය නිවැරදි කිරීමේ පළමු පියවරයි. දවස පුරා කය එක තැනකත්, සිත එක තැන්කත් තබා හිඳිමින්, භාවනාවේදි පමණක් කයත් , සිතත් එක තැන හිඳිනු ඇතැයි අපේක්ෂා කළ වරද දකින්න.
    දැන් පිළියම් යෙදිය යුතු තැන ඔබම දන්නේය. පළමුව පිළියම් යෙදිය යුත්තේ, භාවනාවක නොසිටින, සාමාන්‍ය ජීවිතයේ සිටින විටය. මන්දයත් දවසේ වැඩි කාලයක් අප ගත කරන්නේ භාවනාවකින් තොරව බැවින්.
    කය තියෙන තැනම සිතත් තබාගැනීමට පුරුදු කරන්න. සිත එකඟ වීම, සමාධියට පත්වීම සිතට ලබාදෙන සුවපත් භාවයකි. සත්කාරයකි. ලෝකේ වටේම ගොස් මහන්සි වූවකු, වාඩි වී ගිමන් හැරීම ඔහුට ලැබෙනා සැනසිල්ලක් නොවේද.. ගුටි බැට කා සිටින අයෙකු ඒවායින් මුදවා ගෙන ආරක්ෂිතව තැබීම ඔහුට කරන සත්කාරයක් නොවේද.. ඔබේ සිතත් එලෙසින්ය. ඔබ එය ලෝකේ වටේ යවා වෙහෙස කරා හොදටම ඇතිය. රාගයෙන් , ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ලෝභකමින්, මසුරුකමින්, මානයෙන්, උද්ධච්ඡ කමෙන්, එයට පහර දුන්නා හොඳටම ඇතිය. එයට සුවපත් වන්නට ඉඩ දෙන්න. ඔබ සිතුවාට ආශාව, ආදරය, කාමය , ඇලීම, බැඳීම ආදි දේවල් ඔබට ආශ්වාදය ගෙන දුන්නා, ඔබව සතුටට උන්මාදයට පත් කළා කියා. එය මුලාවකි. සිත ඒවා කෙලෙස් බව දන්නේය. සිත ඒවායින් නිරතුරුව බැට කමින් පවතී. ඒවායින් සිත වෙන්කර තබන්න. ඒ කෙලෙස් ගුටි බැට වලින් ආරක්ෂා කොට තබන්න. ලෝකේ වටෙ නුදුවා තබන්න. ඉන් පසු භාවනාවට වාඩි වී බලන්න. එය කෙතරම් සුවච, කීකරු, යහපත් කෙනෙක්ද යන්න ඔබටම නිරීක්ෂණය කරගත හැකි වනු ඇත.
    මෙසේ කීවාට කිරීම පහසු නැත.
    සිත නිතරම සාමාන්‍ය ජීවිතයේදී එහෙ මෙහෙ දුවයි. කෙලෙස් වල පිහිනයි. නමුත් අප කල්පනාකාරි විය යුතුය. අප සිහියෙන් එය දෙස බලමින් සිටිය යුතුය. දඟාකර ඔබේ කුඩා දරුවා දෙස ඔබ ඇසි පිල්ලමක් එහා මෙහා වූවොත් ඔහු කුමක් කරයිද ඔබ දන්නේ නැත. එලෙසින්ම ඔබ ඔබේ සිත ගැන සිහියෙන් ඉන්න. සිත දෙස මෙසේ විපරමින් සිටින විට එය දුර යද්දීම ඔබ දකී. කුඩා දරුවා දඟ වැඩක් කරන විටම ඔබ දැක්කා මෙනි. ඔබේ දරුවා එසේ එක තැනක තබා ගැනීම අමාරුය. ඒ දරුවා නිතරම දුර දුවන්නට , දඟ කරන්නට බලයි. ඔබ කුමක්ද කරන්නෙ ? ඔබ ඔහුට ඔහු ආස සෙල්ලම් බඩුවක් අතට දෙයි. ඔහු එයට සතුටුව එය හා සෙල්ලම් කරයි. සිතටත් මේ දේම කරන්න. කෙලෙස් ඔස්සේ දිවීම නතර කරන්නට, යහපත් මනසිකාර ලබා දෙන්න.
    රාගයට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න.
    ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න.
    ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න.
    නිතරම ඒ යහපත් මනසිකාර දෙන්න. සිත ඒ මනසිකාර වල ගිල්වන්න.
    නොදැණුවත්වම මේ ඔබ පුහුණු කරන්නේ, සමාධියට අත්‍යවශ්‍ය වන සතිය හා යෝනිසෝ මනසිකාරයයි.
    ලෝකේ වටේම දුවවමින්, කුණු ගා ගෙන ගෙට ඇතුල් වන දඟකාර දරුවා පිරිසිදු කරගන්න. ඔහුට නුසුදුසු අය හා ඇසුරට ගොස් ඔහු නාස්ති වේ යැයි බියෙන් ඔහුට හොඳ මිතුරන්, හොඳ ආශ්‍රයන් ලබාදීමට ඔබ වෙහෙස වන්න. ඔහු සෙල්ලම් කිරීමට ආස , යහපත් කෙනෙක් ඔහුට හඳුන්වා දෙන්න.
    සිත ලෝකේම ඇති අරමුණු හා ඇලෙමින් ගැටෙමින් කිළිටි කර ගැනීමට ඉඩ නොදී, සිතට යහපත් අරමුණක් ලබාදෙන්න.
    බුදුරජාණන් වහන්සේට ඔබ හදවතින්ම ප්‍රිය වන්න. විශ්වාස කරන්න. ගෞරව කරන්න. පැහැදෙන්න. ශ්‍රද්ධාවන්ත වන්න. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න නිරතුරුව. ඔබේ සිත පිරිසිදු වී , ප්‍රීතිය ගලා එන අයුරු අත්දකින්න. ඔබ ධර්මය දන්නේ යම්තාක්ද ඒ අමාදම් බිඳක් හෝ මෙනෙහි කරන්න. සිත සුවදායි වන අයුරු දකින්න. ඔබ ගරු කරන, ප්‍රිය, භාවනා වඩමින්, සසරින් එතෙර වන්නට හෝ වීර්යය කරන, සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක්, මෙහෙණින් වහන්සේ නමක් ගැන මෙනෙහි කරන්න. ඔවුන්ගේ ගුණ හදවතින් දකිමින් ජීවත් වන්න. නිතර දෙවේලේ ඔවුන් හා සිතින් ජීවත් වන්න. දැන් ඔබේ සිතට සැනසෙන්නට ඔබ යහපත් මිතුරන් හඳුන්වා දී ඇත. ඔබ කළ යුතු කාරයය එයයි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය සිත පිරිසිදු කරවන, සතිය වඩවන, පින් වඩවාලන යහපත් මනසිකාරයන්ය.
    ඔබේ සිත දැන් කෙලෙස් මඬ ගොහොරේ වේදනාවට පත් වන්නේ නැත. එය පිට දුවන්නේ නැත. හිස්, කේළාම්,බොරු, පරුෂ වචන වලට පසුබසින්නටම සිදුවේ. මන්ද ඔබ ඒවාට රැඳෙන්නට තිබූ ඉඩකඩ නැති කරන්නේය. ඔබේ සිතේ දැන් සිටින්නේ බුදු රජාණන් වහන්සේය, ධර්මයය, සංඝයාය. අතීත සංසාරයේ පටන් මේ දක්වා මේ ලෝක ධාතුවේ පහළ වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අයෝමය බුද්ධ ශක්තිය, ඒ බුදුවරුන් ලොව අන්ධකාරය නසමින් දෙසූ ධර්මයේ බලය, ඒ බුදුන් වැඩි මඟ ගමන් කළ අතීතයේ සිට අද දක්වා වැඩ සිටිනා මහා සංඝ රත්නයේ බලය, ඔබේ ගත සිත සුවපත් කරයි. ඔබ ඒ ශක්තියෙන් නිරතුව වට වී සිටින්නේය. කොහෙන්ද ඔබේ සිතට පිට යන්නට ඉඩක්.
    දැන් සිත ඔබටත් හොරා යථාර්ථය දකින්නට පටන් ගනී. මේ කයේ යථා ස්වරූපය, සිතේ ස්වරූපය ඔබට අවබෝධ වන්නට පටන් ගනී. කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා ඔබේ මිතුරන්ය. සුඛ සංඥාවෙන් මුලාවන්නට, නිත්‍ය සංඥාවෙන් මුලා වන්නට, ආත්මීය සංඥාවෙන් මුලාවන්නට දැන් ඔබේ සිත නැවත ඒ බොරුවේ රැවටෙන්නට ඉඩක් නැත. ඔබේ සිත ප්‍රිය වන්නේම සත්‍යය දකින්නටය. අවබෝධ කරගන්නටය. අරයාගේ , මෙයාගේ, ලෝකයේ කුණු ගොඩවල් අස්සේ රිංගමින් මඬෙහිම දැවටුණු සිත නැවත ඒවා වෙත යන්නට කැමති නැත.
    දැන් ඔබ භාවනාවට වාඩි වී... ඔබේ භාවනා අරමුණෙහි සිත පිහිටුවා ගන්න..
    සිත යනු කෙතරම් සුවච, කීකරු මෙහෙකරුවෙක්ද යන්න ඔබම අත්දකින්න..!
    ඔබේ සිත මුවහත් අසිපතකි.
    මතක තබාගන්න..
    ඔබ සතුව ඇත්තේ, අති දරුණු සතුරන් පවා බියට පත් කරමින්, ඒ සතුරු ගෙළ සිඳලා, මහා සංග්‍රාමය ජයගත හැකි වටිනාම අසිපත බව....!
    එය නිවැරදිව හසුරවන්න...!!!
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හිත එක අරමුණක තබා ගැනීම බුද්ධ දේශනාවක් නොවේ

    "න සබ්බතො මනො නිවාරයෙ,

    න මනො සංයතත්තමාගතං;
    යතො යතො ච පාපකං,

    තතො තතො මනො නිවාරයෙ'ති"

    "සිත සියල්ලෙන්ම නොවළකන්නේය. (වැළකිය යුතු නොවේ.) සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය. යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්, ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්නේය"

    (සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, දේවතා සංයුත්‌තය, මනෝනිවාරණ සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524

    https://pitaka.lk/main?n=211032

     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1631875805747.png