සිනමාවට මෝටර් බයිසිකල් ඇවිත්

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    සිනමාවට මෝටර් බයිසිකල් ඇවිත්

    5089c9fe68a39d8b3be857100fd54e75_L.jpg


    මෝටර් බයිසිකලයක් දිහා ඇහැ ගහගෙන ඉන්න තරුණ හාදයෙකුගෙ සමීප රූපයක් ඉන්ද්‍රචාප දකිනවා. පදික වේදිකාවක නතර කරල තිබුණු මෝටර් බයිසිකලේ ළඟට ගිහින් ඒක අතපත ගාන තරුණ හාදයගෙ මධ්‍යම රූපෙ ඊළඟට.

    රූප පෙළක් ම ඇඳිල යන අතරෙ සින්දුවක් කියන තරුණ හාදයා ගිටාර් එකක් ප්ලේ කරන රූපෙකුත් සින්දුවක කෑල්ලකුත් ඇහෙනවා. ‘මම නයි නටවන පවුලක ඉපදුණා නම් වගේ වචන තියෙන සින්දුවක්. එයාගෙ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් එක්ක මෝටර් බයිසිකලේක නැගල ආකාසෙ පාවෙලා පාවෙලා යනව වගේ සින්දුවක් කියමින් යන රූප රාමුවක්.

    හැබැයි ඒක එයාගෙ හීනයක් වගෙත් පේන්නෙ. ඉන්ද්‍රචාප මේ පින්තූර දකින්නෙ මේ දවස්වල චිත්‍රපට ශාලාවට ඇවිත් තියෙන මෝට‍ර් බයිසිකල් ෆිල්ම් එකේ. මෝටර් බයිසිකල් ඇවිත් කියන්නෙ බඹරු ඇවිත් අහස් ගව්ව වගේ හැත්තෑව කාලෙ පතිරාජ මහත්තයා හදපු චිත්‍රපට මතක් කරන ෆිල්ම් එකක් කියල ඉන්ද්‍රචාපට වෙලාවකට හිතෙනවා.

    මෝටර් බයිසිකල් සිනමාශාලාවට එන්න අවුරුදු ගාණක් පෝලිමේ බලාගෙන ඉන්න වුණාලු. සාර්ක් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදි වගේ ම ලෝකෙ තවත් ෆිල්ම් ෆෙස්ටිවල් ගණනාවකට ගියපු මෝටර් බයිසිකල් ටීම් එකට එවෝර්ඩ් හම්බ වුණත් අ‍පේ ප්‍රේක්ෂකයන්ට ඒක බලන්න ලැබුණෙ පහුගිය සතියේ ඉඳලා.

    ඒක මොනතරම් අවාසනාවක් ද කියල ඉන්ද්‍රචාප කල්පනා කරනවා. මොකද මේ වගේ කලාත්මක, අනිත් අතට සිනමාත්මක චිත්‍රපට පෙන්නනව වෙනුවට අපේ රටේ චිත්‍රපට බලන ප්‍රේක්ෂකයො හෙම්බත් වෙලා ඉන්නා මායා කතා, දේවකතා ඉතිහාස කතාවලට වැඩි ඉඩකඩක් ලැබෙනව කියන්නෙ අපේ සිනමාව ආපස්සට යන තත්වයක් නිසා.

    හැත්තෑවෙ ඉඳල පතිරාජල, වසන්ත ඔබේසේකරල ඒ ගොල්ලන්ගෙ චිත්‍රපටවලින් හොඳ චිත්‍රපටයක් කියන්නෙ මොකක්ද, ඒව කතා කරන්න ඕන මොනව ගැන ද කවුරු ගැන ද කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර හෙව්වා ඉන්ද්‍රචාපට මතකයි.

    ඊට පස්සෙ පරම්පරාව හඳගමල, ප්‍රසන්නල, බූඩිලා, විමුක්තිල ඇතුළු තවත් අලුත් පරම්පරාව චිත්‍රපට හදන අයගෙ නම්වැලට එකතු වෙන අලුත් ම ‍තරුණයා ශමීර රංගන නාඔටුන්න කියල ඉන්ද්‍රචාපට හිතෙනවා.

    මෝටර් බයිසිකල් ඇවිත් තියෙන්නෙ අපේ සිනමාවෙ අහස්ගව්ව වගේ චිත්‍රපටයක් නවත්වපු තැන ඉඳලා සිනමාවෙ අලුත් ගමන් මඟ‍ මෙන්න මේකයි කියන්න වගේ උදාහරණයක් එක්ක. මෝටර් බයිසිකල් තරුණ කණ්ඩායම තරුණයන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන්නෙ ඒ ගොල්ලන් තෝරගත්ත මාධ්‍යය මොකක්ද කියල තේරුමක් බේරුමක් ඇතුව වගේ.

    දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා වගේ රංගනයේ අති දක්ෂ තරුණ මුහුණු ඉන්ද්‍රචාප දකිනවා. ඒ අය වගේ ම ප්‍රවීණ මුහුණු විදියට පේන වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර වගේ වැඩිහිටියන්ගේ ද උපරිම රංගන දායකත්වය ලබා ගන්න ශමීර රංගන සමත්වෙලා තියෙනව කියලයි ඉන්ද්‍රචාප හිතන්නෙ.

    වර්තමාන තරුණ පරම්පරාව මුහුණ පා සිටින දහසකුත් එකක් ප්‍රශ්න අතර විරැකියාව, යෞවන ප්‍රේමය හා ඊට සම්මත සමාජ ඕනෑ එපාකම් බලපාන ආකාරය, නිදහස වගේ කාලීන ප්‍රශ්න කීපයක් තෝර ගෙන ලියැවුණු තිර කතාවෙන් කියවෙන ඉතාම කුඩා සිද්ධියක් මෝටර් බයිසිකල් සිනමාවට ගෙන ආපු සුරංග ජයසූරිය ඇතුළු කණ්ඩායම කියන්න උත්සාහ ගන්නවා.

    මෝටර් බයිසිකල් සිනමාවට ඇවිත් අපේ ප්‍රේක්ෂකයන්ට හැබෑ සිනමාව කියන්නෙ මෙන්න මේ වගේ චිත්‍රපට කියල වටහල දෙන්න ගත්තු පුංචි උත්සාහයක සාර්ථක ප්‍රතිඵල ඉන්ද්‍රචාපට පෙනෙනවා.

    ඉන්ද්‍රචාප