සිරිපා මහා වනමැද දර්ම දුතයානන්

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සිරිපා මහා වනමැද දර්ම දුතයානන්



    පින්වත් ස්කයිලාක්,

    මේ බණත් මම මීට පෙර අහලා නැහැ. මේ බනේ අන්තිම හරියේ කියනවා ඔය "සියල්ල ඇතහැරීම" ගැන. අතහරින්න නම් සත්ව පුද්ගලයෙක් ඉන්නවා ගන්න වෙන බවත් ඔය අත්හැරීම ඉතාම ලාමක සම්මතය තුල "කරන" සෙල්ලමක් බවත් මේ ස්වාමීන් වහන්සේ දේශනාකරනවා (2.56.30). මේ ස්වාමීන් වහන්සේ අහනවා අලුත උපන් ලදරුවෙක් අත හරින්නටවත් කිසිම දෙයක් අල්ලාගෙන නෑ, ඒයා නිවන් දැකලාද කියා.

    මේ බනේ කියන මජ්ජ සුත්‍රයත් මා නොඇසූ තවත් සූත්‍රයක්. ඉතාම ගැඹුරුයි. මේ ස්වාමීන් වහන්සේත් සුදස්සන හාමුදුරුවෝත් නිතර කියන දෙයක් තමා "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" කියන දේශනාව. මේක ත්‍රිපිටකයේ කුමන සුත්‍රයේද තිබෙන්නේ කියා ඔබ දන්නවාද. මම අනිත් ත්‍රෙඩ් වලට හැකි ඉක්මනින් පිලිතුරු දෙනවා.



     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මම ඔබ දක්වා ඇති වීඩියෝ දෙකම අසා බලා වැඩි විස්තරයක් ලියන්නම්. ඒ නිසා පොඩි කාලයක් යාවි. වචන සහ අර්ථ යන දෙකම ගැන සැලකිලිමත්ව විමසුවොත් පවසන කරුණු වල වැරදි නිවැරදි බව ගැන පැහැදිලි කරගන්න පුළුවන් වේවි.

    දහම් දෙසීමේදී සමහරක් විටෙක ක්‍රියාවන් කරන කර්තෘ කෙනෙක් ගැන වාක්‍ය පැවසුවත් ඒ වාක්‍ය වල සඳහන් කර්තෘ පරමාර්ථ ලෙසින් ඇතය, ඒ කර්තෘ විසින් ඒ ක්‍රියාව කරනවා යැයි හිතුවොත් ඒ වාක්‍ය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා. උදාහරණයකට "දහම් අවබෝධ නො කිරීමෙන් සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්නෙහි "සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්න එබඳුයි. පද පිළිවෙල මදක් වෙනස් කලොත් එහිම අඩංගු "සත්ත්වයෝ දහම් අවබෝධ නො කිරීමෙන්" යන්නත් එබඳුයි.

    ඒත් සමහරක් විටෙක ක්‍රියාවන් කරණ කර්තෘ කෙනෙක් නොලැබේ යන අර්ථය ඉස්මතු කර දක්වන ලෙස දහම් දෙසීමේදී අසන කෙනා ඒ සමහරක් වාක්‍ය වල භාෂා උපක්‍රමයක් ලෙස කියැවෙන කර්තෘ සහ ක්‍රියාව ගැන විමසා බලා පරමාර්ථ ලෙස කර්තෘ කෙනෙක් නොලැබේ යන්න වටහා ගන්න උවමනයි. උදාහරණයකට "දැනුත් මෙතැන සත්ත්වයෙක් නොලබන එකේ මම මරණින් මතු ඉන්නවා යැ?" ආදී ලෙස කීවොත් එහෙමයි.

    දෙසන අය සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන නොසලකා දෙසුවොත් ඒ දහම් දෙසීම ව්‍යාකූල දහම් දෙසීමක් වෙන්න පුළුවන්. උදාහරණයකට පරමාර්ථ ලෙස සත්ත්වයෙක් නොමැත, ඒ නිසා මම කර්තෘ රහිතව පමණක් දහම් දෙසමි යැයි හිතා යම් අයෙක් "දහම් අවබෝධ නො කිරීමෙන් සසර නො ඉක්මවත්" යැයි පමණක් කීවොත් අසන අය ඒ දෙසන්නා කාට අදාල දෙයක් කීවේ දැයි නො පැහැදිලි බැවින් පවසන ලද දේ වටහා ගැනීමේ ව්‍යාකූලත්වයකට පත් වෙනවා.

    අසන අය සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන නොසලකා ඇසුවොත් දෙසන කෙනා මනාව දහම් දෙසුවත් ඒ නොමනා ඇසීම ව්‍යාකූල අර්ථ හිතා ගැනීමට හේතු වෙන්න පුළුවන්. උදාහරණයකට බුදු දහම මනාව දෙසන කෙනෙක් දෙසුවත් "ආත්මයක් නෑ ලු, කර්ම කරන්නෙක් නෑ ලු, කර්ම නිසා විපාක ඇති ලු, කරන්නෙක් නැත් නම් කවරෙකුට විපාක දෙන්නද? එතැනින්ම කර්ම විපාක කතාව මෝඩ කතාවකි. ඒ කතාව ගෙතූ බුදු හාමුදුරුවෝ මුලා වූ පුද්ගලයෙකි. බුද්ධ ශ්‍රාවකයෝ එබඳුම මෝඩයෝය." යැයි යම් අයෙක් වරදවා හිතන්න පුළුවන්.

    අන් අය පවසන ලද දහම් විචාරයේදී උවත් ඒ ගැන බෙහෙවින්ම සලකා තමයි විචාරය කරන්න ඕනෑ. සුදුසු තැන සුදුසු අයුරින් ඒ ඒ කරුණු පවසා තිබෙනවාද යන්න නිශ්චය කිරීම බෙහෙවින්ම දුෂ්කරයි.

    සුදස්සන හිමිගේ දේශනාව දැක්වෙන විඩියෝව දාපු කෙනා වීඩියෝවේ මාතෘකාව නිවැරදිව ලියා නැහැ. එහි "මජ්ජ සූත්‍රය" යන්න නිවැරදි නැහැ. එය "මජ්‌ඣෙ සූත්‍රය" ලෙස නිවැරදි විය යුතුයි. මමත් සෑහෙන කාලයකට පෙර පාලි භාෂාවේ ඔය වචන දෙකේ වෙනස ගැන නොදැන "මජ්‌ඣ" යන්න තිබිය යුතු තැන "මජ්ජ" ලෙස වැරදියට ලියන්න ඇතැයි හිතනවා. උදාහරණයකට "මජ්ඣිම නිකාය" වෙනුවට "මජ්ජිම නිකාය" වැනි වචන මමත් වැරදි ලෙස භාවිතා කරන්න ඇතැයි හිතනවා. "මජ්ජිම නිකාය" යැයි කීවොත් එය "මත් වෙන නිකාය" වැනි අර්ථයකුයි ඇති කරන්නේ. "මජ්ජිම නිකාය" යැයි මම පෙර කාලයේ වැරදි ලෙස භාවිතා කර තිබෙනවා නම් අර්ථ ලෙසින් "මජ්ඣිම නිකාය" යන්නයි මම අදහස් කර ඇත්තේ. නමුත් ඔය අකුරක පටලැවිල්ල කෙබඳු විනාශයන්ට හේතු කාරණා විය හැකි දැයි යන්න තේරුම් ගන්න මෙන්න මේ ලිපිය හැකි විටෙකදී කියවා බලන්න: http://www.trekmentor.com/si/content/book/633 . තවද http://www.trekmentor.com/si/content/book/649 යන තැන දැක්වෙන ලිපියේත් එවැනිම දෙයක් කියැවෙනවා.

    මජ්‌ඣෙ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp15/206 ] ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වග්ගයේ දැකිය හැකියී.

    "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යැයි කීම සංස්කාරයන් අරඹයා කියන ලද්දක් විය යුතුයි. එය පහත ගාථාව අනුසාරයෙනුත් වටහා ගන්න පුළුවන්:

    පාලියෙන්:

    "අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො"

    සිංහලෙන්:

    "සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ.
    ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය."

    ඉහත ගාථාව ත්‍රිපිටකයේ තැන් කිහිපයක දැකිය හැකියී. එක් තැනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වග්ගයේ මහාපරිනිර්වාණ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp2/126 ].

    තවද "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යැයි කීම "යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මං" යන පද පෙළ අනුසාරයෙනුත් වටහා ගන්න පුළුවන්. එහි සිංහල අර්ථය "යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු යැ" යන්නයි. මේ පද පෙළ ත්‍රිපිටකයේ බොහෝ තැන් වල දැකිය හැකියී. එක් තැනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ ගිලාන වග්ගයේ ගිලාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp10/128 ].

    තවද පහත දැක්වෙන ආකාරයේ සූත්‍රත් ගණනාවක් තිබෙනවා:

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ නිදාන වග්ගයේ අභිසමය සංයුක්තයේ දසබල වග්ගයේ ඇති දසබල සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp8/66 ]
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වග්ගයේ සොතාපත්ති සංයුක්තයේ සරකානි වග්ගයේ තතිය අනාථපිණ්‌ඩික සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp11p2/234 ]
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ අවිජ්‌ජා වග්ගයේ පඨම සමුදය ධම්‌ම සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp9/330 ]

    සංස්කාරයන් ගැන කීමේදී "පෙර නොතිබීම ඇතිවෙලා" සහ "ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" ලෙස භාවිතා කරනවා නම් එහිදී සලකා ඇත්තේ හටගෙන නිරුද්ධ වීම යන නැවත නැවත සිදුචන ක්‍රියා දාමයක එක පුරුකක් ගැන. උදාහරණයකට යම් රසවත් පානයක් බීම ගැන හිතන්න. එය පානය කරන විට දිවේ සුව වෙදනාවක් ඇති වෙනවා. නමුත් ඊට පෙර එම සුව වෙදනාවම පැවතියේ නැහැ. ඵස්සය නිසා අළුතින්ම සුව වෙදනාවක් ඒ අවස්ථාවේදී ඇති වෙනවා. එය ඊට කලින් වෙදනාවන් පැවතුනා නම් එම පැවති වෙදනාවන්ගේ ඉතිරියක් නිසා හටගන්නවා නොවෙයි. පෙර පැවති වෙදනාවන් ඇති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. නව සුව වෙදනාවක් අළුතින්ම හටගන්නවා, සුළු වේලාවකින් එයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වෙදනාව ගැන සැලකීමේදී ඒ සම්පූර්ණයෙන්ම නැති වීම තමයි "ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යන්නේ අදහස. රසවත් පානය බොන කොට ඔය ක්‍රියාව දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ ආකාරයට සංස්කාරයන් ගැන විමසා බලන්න.

    මම විඩියෝ බලලා තවත් කිව යුතු දෙයක් ඇතැයි හිතුනොත් දන්වන්නම්. අනිත් ත්‍රෙඩ් වලට පිලිතුරු දීමට හදිස්සි වෙන්න එපා. ඔබට විවේක ඇති විදිහට සුදුසු විටෙකදී පිලිතුරු දාන්න.

    Skylark
     
    Last edited:
    • Like
    Reactions: ex-muslim Ahmed
    Jul 5, 2012
    1,773
    265
    0
    පිංවත් එක්ස් මුස්ලිම් අහමඩ්,

    බොහොම පිං මේක අප සමඟ බෙදා ගත්තාට. කොහොම වුනත් සුදස්සන හාමුදුරුවෝ දෙසන බණ නම් කෙලින්ම කෝ එකටම ගිහිල්ලා දෙසන බණ. අරියඥානගේ "ගැලරි" බණ , "විසිල්" බණ වගේ පිරිසක් තමන් වටා ගොඩගහගන්න කියන බණක් නම් නෙවෙයි.

    අරියඥාන" මේ භික්ෂුව උතුම් වූ සමාධියෙන් බලන කොට" කිව්වහම අනේ අපේ බයියෝ සැට් එක නියමෙට ඇන්දෙනවා. දොලුකන්දෙන් වතුර බව්සර් ගෙනැල්ල බීපු බෞද්ධ සැට් එක නේහ්!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මම ඔබ දක්වන ලද පළමු වීඩියෝවේ මුල් විනාඩි හතලිස් පහක් පමණ අසා බැලුවා. ඊට පසුව ඔබ දක්වන ලද තැන ආසන්නයේ පැවසෙන දේත් අසා බැලුවා. සුදස්සන හිමිගේ දේශනාව සම්පූර්ණයෙන්ම ඇසුවා.

    එම මුල් වීඩියෝවේ කියවෙන ආකාරයට "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. මම මේ ත්‍රෙඩ් එකේ මුලින් ලියූ සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන විස්තර ටිකත් මතක් කර ගෙන පහත දැක්වෙන කරුණු ගැනත් හිතා බලන්න.

    යම් ආකාරයකට විමසුවොත් "අතහරිනවා" සහ "අතහැරෙනවා" යන වචන දෙකේ වෙනස වන්නේ "අතහරිනවා" යන්නෙන් ක්‍රියාවක් කරනවා යන්න දැක්වීම සහ "අතහැරෙනවා" යන්නෙන් ඒ ක්‍රියාවෙන් සිදුවන දේ දැක්වීම. කෑවොත් කැවෙනවා, බීවොත් පෙවනවා, බැලුවොත් පෙනෙනවා, ඇසුවොත් ඇසෙනවා යැයි කියනා ආකාරයටම අතහැරියොත් අතහැරෙනවා යැයි කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගත්තොත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. එහිදී "සියල්ල අතහරින්න" යැයි කීවත් නිවැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් නිවැරදියී. "සියල්ල අතහරින්න" යැයි කීවාම කවර දෙයක් කළ යුතුද යන්න දැක්වෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවාම ඒ ක්‍රියාවෙදී කවර දෙයක් සිදුවේද යන්න දැක්වෙනවා.

    තවත් ආකාරයකින් විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීමේදී ක්‍රියාවක් කළ යුතුය යන්න පැවසෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමේදී එය ඉබේ හෝ බාහිර බලපෑමක් නිසා සිදුවන දෙයක් යැයි කෙනෙක් හිතන්න පුළුවන්. යම් අයෙක් තමන්ගේම උත්සාහයෙන්, වීර්යයයෙන්
    ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩා තෘෂ්ණාව ක්ෂය කල යුතුයි. ආර්යය අෂ්ඨාංගික මාර්ගය ඉබේ වැඩෙන්නේත් නැහැ, බාහිර බලපෑමකින් වැඩෙන්නෙත් නැහැ. වැඩීම පිණිස අන් අයගේ උපකාර හේතු වෙන්න පුළුවන්, නමුත් තමන්ම ඒ උපකාර භාවිතා කර වැඩීම සලසා ගන්න ඕනෑ. ඒ නිසා ඒ ආකාරයට විමසීමේදී "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ධර්මයට ගැළපෙන්නේ නැහැ, නමුත් "සියල්ල අතහරින්න" යැයි කීම ධර්මයට ගැළපෙනවා. ඉතින් ඒ විදිහට ගත්තත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ.

    ක්‍රියාව කරන්නා ගැන හිතා තවත් ආකාරයකට විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවාම අතහරින කෙනෙක් ඉන්නවා යැයි පැනවෙනවා නම්, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" කීවත් "කාටද/කාගෙන්ද අතහැරෙන්න ඕනෑ?" යැයි පුද්ගලයෙක් පැනවෙන බව කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම බැලුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවත් පරමාර්ථයෙන් වැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් පරමාර්ථයෙන් වැරදියී. ඔය දැක්වෙන්නේ දහම් පද වැරදි විදිහට අර්ථ විමසීම නිසා පටලැවෙන හැටි. මම මේ ත්‍රෙඩ් එකේ මුලින් ලියූ "දහම් දෙසීමේදී සමහරක් විටෙක ක්‍රියාවන් කරන කර්තෘ කෙනෙක් ගැන වාක්‍ය පැවසුවත් ඒ වාක්‍ය වල සඳහන් කර්තෘ පරමාර්ථ ලෙසින් ඇතය, ඒ කර්තෘ විසින් ඒ ක්‍රියාව කරනවා යැයි හිතුවොත් ඒ වාක්‍ය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා." යැයි කීමට අනුව සලකා බලන්න. ඒ නිසා ඒ විදිහට සැලකුවත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යැයි කීවත් නිවැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් නිවැරදියී. ඒ ආකාර දෙකේදීම පරමාර්ථ ලෙස කර්තෘ කෙනෙක් පැනවෙනවා යැයි හිතුවොත් තමයි දහම් පද වල අර්ථ වැරදෙන්නේ. ඒ නිසා අන් කෙනෙක් දහම් දෙසීමේදී "සියල්ල අතහරින්න" යැයි කියනවා නම් එම වචන දෙක පමණක් සලකා එසේ දහම් දෙසීම වැරදි යැයි කීම සුදුසු නැහැ. ඒ දේශකයා අන් තවත් කරුණුත් සමඟ පුද්ගලයෙක් පැනවෙන අර්ථය ඉස්මතු වන පරිදි වචන භාවිතා කරනවා දැයි දැඩිව විමසා බලා තමයි එවන් දෝෂයක් ඇත්නම් එය සකාරණව දැක්විය හැක්කේ.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ දෙවදහ වග්ගයේ දැක්වෙන පලාස සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/284 ] සහ ඊට පසු සූත්‍රය වන දුතිය පලාස සූත්‍රයේ සඳහන් දෑ දෙස බලන්න. එහිදී බුදුරජානන් වහන්සේ මෙසේ පවසා ඇති බව දැකිය හැකියී:

    "යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ."

    එනම්,

    "මහණෙනි යමක් තොපගේ නො වේ නම් එය පහකරවු."

    එසේ පහකරන්න යැයි කීම වැරදිය, එසේ කීවොත් පහකරනවා යන ක්‍රියාව කරන පුද්ගලයෙක් පරමාර්ථ ලෙස පැනවේ යැයි කීම සුදුසු නැහැ. සම්මත භාෂාව භාවිතා කර පරමාර්ථයන්ට අනුකූල දහම් දෙසීමේදී ක්‍රියාවන් කරන පුද්ගලයෙක් පරමාර්ථයෙන් නොමැති උවත් භාෂා උපක්‍රමයක් ලෙස ක්‍රියාව කරන කර්තෘ කෙනෙක් දැක්වෙන වාක්‍ය භාවිතා කරන්න සිදුවෙනවා.

    දහම් දෙසන අයත්, දහම් අසන අයත් සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන සලකාම තමයි දහම් දෙසිය යුත්තේ සහ ඇසිය යුත්තේ. එහිදී සමහරක් දේශකයින්ට දෙසීමේදී වැරදීම් වෙන්න පුළුවන්. එවිට අසන අයත් වරදවා ගන්න පුළුවන්. තවත් විටෙක දෙසන කෙනා මනා කොට දෙසුවත්, අසන අය නොමනාව විමසීම නිසා ඒ මනා දහම් දෙසීම වැරදි අර්ථයන්ගෙන් ගන්න පුළුවන්. මේ ලියන මටත්
    සම්මත භාෂාව සහ පරමාර්ථය පිළිබඳ ඔවැනි වැරදීම් සිදුව තිබෙනවා. එසේ වැරදුණු බව පසුව හෝ දුටු අවස්ථාවන් හිදී වැරදුණු ආකාරයන් ගැන මම වැඩි වැඩියෙන් අවධානය යොමු කරනවා. එසේ දැඩිව විමසීම මේ මේ ආකාරයන්ගෙන් අසවල් කරුණ පැවසිය යුතුය, මේ මේ ආකාරයන්ගෙන් එය නොපැවසිය යුතුය ආදී ලෙස මනා සේ දහම් දෙසිය යුතු ආකාරය ගැන අවබෝධය ඇති කරනවා. එම හැකියාව සූත්‍ර ආදියේ දැක්වෙන සියුම් විස්තර කිරීම් නිවැරදි අර්ථයන්ගෙන් වටහා ගැනීමට හේතු වෙනවා.

    ඉතින් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම වැරදි අර්ථයන් ඇති කරන්න හේතු වන නිසා එම කාරණය තහවුරු කරන්න අලුත උපන් දරුවෙකු ගැන සලකා බැලීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යන්නත් "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යන්නත් යන දෙආකාරයම බුදු දහමට ගැළපෙන පරිදි භාවිතා කරන්න පුළුවන්. යම් කිසි ඉබේ සිදුවන හෝ බාහිර බලපෑමක් මත සිදුවන දෙයක් ගැන නම් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ගැළපෙන්න පුළුවන්.

    අලුත උපන් දරුවෙකු ගැනත් පැවසුනු නිසා ඒ ගැන යම් වැටහීමක් ලබන්න කැමති නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ භික්ඛු වග්ගයේ මහාමාලුඞ්ක්‍ය සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp5/180 ] කියවා බලන්න. පඤ්චොරම්භාගිය සංයොජන ගැන පැවසෙන එම සූත්‍රයේ අලුත උපන් දරුවෙකුගේ ස්වරූපය ගැනත් විස්තර සඳහන් වෙනවා.

    Skylark