මේ පල් වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කර රටට සෙතක් වන නව ක්‍රමයක් ගෙන ආ යුතුයි - ශ්‍රීලනිපයට ඇමැතිධූර දී ජාතික ආණ්ඩුවක් හැදීම ගැන රනිල් පැහැදිලි කරයි
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර ලබා දී ජාතික ආණ්ඩුවක් හැදීම රටට සෙතක් සිදුවන අලුත් ක්‍රමයක අත්හදා බැලීමකැයි ඒ සම්බන්ධයෙන් රට පුරා විවිධ මත පැන නගිද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් පළමු වරට තම අදහස් පළ කෙළේ පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් වෙනුවෙන් යතුරු පැදි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අද අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමිනි.
තෝරා ගත් එක කණ්ඩායමකට පමණක් රාජ්‍ය මුදල් සහ දේපොළ ආදියෙන් පහසුකම් සැලසීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. සියලු දෙනාටම එක සමානව සැලකීම සහ සියලූ දෙනාගේම අයිතීන් ආරක්‍ෂා කිරීම යහපාලනයේ කොටසක්. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ගෙවුණු වකවානුවේ දී සැලකුවේ ඒ අයට සහයෝගය දුන් තෝරා ගත් සුළු පිරිසකට පමණයි. නමුත් අප සියලූ දෙනාටම එක සමානව සලකමින් ඒ අයගේ අයිතීන් ද ආරක්‍ෂා කර ඉදිරියට ගමන් කරනවා.
මේ පල් වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කර මේ රටට අලූත් දේශපාලන සංස්කෘතියක් සහ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලූ පාර්ශ්වයන් එකට එක්ව ඔහුට සහයෝගය ලබා දුන්නේ ඒ අලූත් දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය ඇති කිරීමේ පළමු පියවර ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයාව රටේ ජනාධිපති කරවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහයෝගය ලබා දුන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම සඳහා අප වගේම ජාතික හෙළ උරුමය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් සහ ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ ඇතුලූ දේශපාලන බලවේග සහ සංවිධාන ගණනාවක් සහයෝගය ලබා දුන්නා. මේ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන අතර කිනම් මතභේදයක් තිබුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවට සහන සලසා අලූත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඒ සියලූ පාර්ශ්වයන් පොදු මතයකට සහ එකඟතාවකට පැමිණ, එකම වේදිකාවක සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ සහයෝගය ලබා දුන්නා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණාට පසුව ඒ අතර සිටි සමහර දේශපාලන පක්‍ෂ ආණ්ඩුව සමග එක් වී කැබිනට් මණ්ඩලයට පැමිණ ඇමැති ධූර භාර ගත්තා. ඇතැම් දේශපාලන පක්‍ෂ ආණ්ඩුව සමග එක් වී ඇමැති ධූර භාර නොගත්තත් දින 100 වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබාදුන්නා. අපේ යම් අඩුපාඩුවක් තිබුණොත් ඒ පිළිබඳව විවේචන පවා එල්ල කරන මේ කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම සඳහා දින 100ට අදාළ වැඩකටයුතුවලට සහයෝගය ලබාදෙනවා.
මේ අතර, ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැබිනට් මණ්ඩලයට එක්වීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට එක්වී ඇමතිධූර 10ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරද භාර ගෙන වැඩ කරන්නැයි අප ඒ අයගෙන් ඉල්ලා සිටියේ ජනවාරි මාසයේදීයි.
එහෙත් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න තිබූ නිසා ඒ අවස්ථාවේදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊට සූදානම් වූයේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අපත් එකට එක්ව යහපාලනයක් රටේ ක්‍රියාත්මක කරන බව තේරුම් ගත්තාට පසුව ඒ අයත් අප සමඟ එකට එක්වුණා. රටත් ජනතාවත් ඉල්ලා සිටින්නේ අලූත් දේශපාලන ක්‍රමයක් බව සියලූ දෙනාම මේ වන විට තේරුම් ගෙන සිටින බව මේ අනුව පැහැදිලි වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් මෙසේ ආණ්ඩුව සමඟ එක්වීම ඉතාම හොඳ පියවරක් ලෙස මම දකිනවා. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළත් ඒ ගැන මට කියන්න තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ ඒ ඇමති ධූර සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට සිදුවන්නේ පිටතින් නොව මේ පාර්ලිමේන්තුවෙන්ම වන බවයි.