සිරුර දරකඩක් වැනිය

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සිරුර දරකඩක් වැනිය

    ඌරුගමුවේ අස්සජි හිමි

    නමෝ තස්ස භගවතෝ අරහතෝ
    ‍සම්මා සම්බුද්ධස්ස
    අචිරං වතයං කායො
    පඨවිං අධිසෙස්සති
    ඡුද්ධො අපෙත විඤ්ඤාණො
    නිරත්ථං’ ව කලිංගරං


    සැදැහැවත්නි,
    මාතෘකා කරගත් ඉහත ගාථා ධර්මය සඳහන්ව ඇත්තේ ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි ය. එහි සාමාන්‍ය අර්ථය නම් “මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය” යනුයි.
    බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කොට වදාළේ පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අරභයාය. ධම්මපදට්ඨ කථාවෙහි එන එහි නිධාන කතාව සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියෝ ඉතා සිත්ගන්නාසුළු බස් වහරකින් ඉදිරිපත් කරති. ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි එම කතා පුවත දැක්වීමෙහි පරමාර්ථය ලෙස සඳහන් කොටස සරල සිංහලෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය.
    “ජීවිතය විදුලි රේඛාවක් මෙන් බොහෝ කල් නො පවත්නා ආකාරය ද ගිණිය නොහැකි තරම් විශාල අවුරුදු සංඛ්‍යාවක් ජීවත්වුවත් ජල බිංදුවක් සේ ඉක්මනින්ම නැති වී යන ආකාරය ද තණ කොළයේ කෙළවර ඇති පිනි බින්දුවක් සේ ආයුෂ අවසානවීමේ දී නැති වී යන ආකාරය ද ජලයෙහි ඇඳි ඉරක් සේ මැකී යන ආකාරය ද දක්වන්නා වු අපි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරමු”.
     
    • Like
    Reactions: චගු

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ ඇට තරම්ද, නෙල්ලි ගෙඩි තරම්ද, අවසානයේදී බෙලි ගෙඩි තරම්ද විශාලත්වයට පත් විය. ඒවා පැසවා පැළී හිල් වන්නට ද වූ අතර මුළු ශරීරයම වේයන් කෑ පරඬැල් කොලයක් සේ කුඩා සිදුරු හා ඊටත් කුඩා සිදුරුවලින් යුක්ත විය. එතැන් සිට උන්වහන්සේ “පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ” යැයි ප්‍රසිද්ධ වූහ. පසුව දවස් කිහිපයකින් ශරීරයේ ඇට බිඳුණි. එබැවින් බැලීමටත් අපහසු වූ අතර පෙරවු සිවුරු සැරවවලින් හා ලේ වලින් යුක්තව පුස් කෑ පැණි යොදා සාදන කැවුම් මෙන් පෙනෙන්නට විය. ශිෂ්‍යයෝත් උන්වහන්සේ දෙස බැලීමට ඇති අපහසුකම නිසා අත්හැර ගියහ. එබැවින් උන්වහන්සේ කිසිවෙකු ගේ පිහිටක් නොමැතිව ඇඳටම සීමා වී වැතිර සිටියහ.
    එකල බුදුරදුන් ගේ නුවණ නමැති දැල තුළට ශරීරය කුණුවී ගියත් රහත්වීමට හේතුවන පිනින් අඩු නොවු පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙනුණු සේක. භික්ෂූන් වහන්සේත් සමග එහි වැඩමවා පළමුව රෝගී තෙරුන් වහන්සේ ඇඳ පිටින්ම ඔසවාගෙන ස්නානය කරන තැනට ගෙන ආහ. සිවුරු සේදීමට දමන ඔරුවක් ගෙන්වාගෙන උණුවතුර එයට වත්කොට තෙරුන් වහන්සේ පොරවාගෙන සිටි සිවුරු ඉවත්කොට ඒවා උණු වතුරෙන් සේදූ හ. පසුව බුදුරදුන් රෝගී තෙරුන් ළගට ම වී තමන් වහන්සේගේ අතින්ම උණුවතුර වත් කරවා ඇඟ අත ගා නැවූ සේක. තෙරුන් වහන්සේද නිරෝගී භාවයට පින නැතත්, ශක්‍ර බ්‍රහ්ම ආදීන් ගෙන් පවා අත් පා සේදීම් ආදී උපස්ථාන ලබන බුදුරදුන්ගෙන් එම උපස්ථාන ලැබීමට තරම් පින ඇති බැවින් එම දිය නෑවීම ලබමින් වැඩ හුන්හ. දිය නාවා අවසන් වූ විට සේදූ සිවුරු වේලී තිබිණි. ඒවා ගෙන අවුත් උන්වහන්සේට පෙරවීමෙන් පසුව සැරව කුණු ඉවත් වී ශරීරය සැහැල්ලු බවට පත්වූ හෙයින් සිත එකඟ කොටගෙන ඇඳෙහි වැතිර සිටියහ.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බුදුරජාණන් වහන්සේ රෝගී තෙරුන්ගේ හිස සමීපයෙහි වැඩ සිටිමින් උණුවතුර නාවා ඉන්පසුව ආහාර අනුභව කිරීමක් කරවන්නාක් මෙන් මෙසේ දෙසූහ.
    “මහණෙනි, ලී දඬුවලින් ප්‍රයෝජන ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති ලී ඇද නැතුවම ද, ඇද ලී ඇද ඇතුවම ද කපාගෙන සිදුරු තිබෙන ස්ථාන, දිරීමට පත්වූ ස්ථාන ගැටිති සහිත ස්ථාන කපා එතැනම දමා යත් ද, පසුව දඬු හා ලෑලි සොයාගෙන පැමිණි කෙනෙක් ගැලපෙන දඬු හා ලෑලි කපාගෙන යන නමුත් කපා දැමූ දඬු හා ලෑලි එපරිද්දෙන්ම රැගෙන නොයත්. තවත් එයින් යටට තැබීමට ගන්නා ලී කැබලි ආධාරකයකට ප්‍රයෝජනයක් ඇති නමුත් මෙම ආත්ම භාවයේදී ශරීරයේ ඇති කුණු කොටස් තිස් දෙකින් එක කොටසක් හෝ පාද ආධාරකයකට යනාදි වූ කිසිම දෙයකට ගැනීමට නොහැකි හෙයින් කපා දැමු දඬු කෑලි ආදිය තරම්වත් ප්‍රයෝජනයක් නැත. එම නිසා මේ සිරුරෙහි රූප අරූප ජීවිතය ද නැතිවන්නා සේ සැප පහසු අගනා ඇඳන්වල නිදා සිටිය ද වළ දැමීම යනාදිය මහ පොළොවේම වන බැවින් වැඩිකල් යාමට පෙර අත්හැර දැමු ලී කැබැල්ලක් මෙන් මහ පොළොවටම පැමිණෙයි.
    සෑම දෙයකටම සිරුර උචිත නොවෙතත් සිත දුබල නොවී පවත්නා නිසා මේ ආකාර වූ කිලිටි ආත්මභාවය දිගටම පවතියි. ශරීරයේ කෙස්,ලොම් , නිය, දත් හා හම යන අංග පහ හැර ඊට වඩා වෙනත් කුණු කොටස් නැති දිව්‍ය ආත්මභාව හා බ්‍රහ්ම ආත්මභාවයන්ද නොමැතිවීම නිසා සසර අවසන් කිරීමටද උත්සාහ කළ යුතුය”
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මෙම දේශනාව අවසානයේදී පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අර්ථ,ධර්ම ,නිරුක්ති, ප්‍රතිභාන වශයෙන් වශයෙන් ඇති දැනීම උපදවා රහත් බව ලැබ කෙලෙස්වලින් හටගන්නා රෝගයෙන්ද සුවපත් වී ආයුෂ ප්‍රමාණය ද අවසන් වූ බැවින් පිරිනිවන් පෑහ. තවත් බොහෝ පිරිසක් නිවන් දුටුවහ. බුදුහු උන්වහන්සේගේ සිරුර ආදාහනය කරවා අවසානයේ ධාතු ලබාගෙන චෛත්‍යයක්ද කරවූහ.
    සෙසු භික්ෂූන් වහන්සේලා “ ස්වාමීනි, තෙරුන් වහන්සේ මෙතරම් දැඩි දුකකින් පීඩා විඳි ශරීරයේ වේදනාව බලවත් වූ බැවින් මරණය සිදුවන විට පැවැති සිතේ පිරිසුදුකම කෙසේද? කවරනම් තැනෙක ඉපදුණ සේක් දැ”යි විමසූහ. බුදුහු උන්වහන්සේ රහත්ව පිරිනිවන් පා වදාළ බව දේශනා කළහ. රහත් වූ බැව් අසා “ ස්වාමීනි, රහත්වීමට තරම් සුදුසු මෙබඳු වූ පින් තිබිය දීත් සිරුර කුණූ වුයේ ඇයි? සිරුරේ ඇට සියල්ල බිඳී ගියේත් ඇයි? රහත් භාවයට පත්වීමත් කෙසේ සිදු වී දැ”යි විමසූ හ. “ මහණෙනි, මේ සියල්ලක්ම වෙනත් අයෙකු විසින් කරන ලද දෙයක් නොවෙයි” තම තමන් විසින්ම කළ දේවල් යැයි, බුදුහු පැහැදිලි කළහ. පසුව කර්මයේ ස්වභාවය අසා දැන ගනු කැමතිව සිටි භික්‍ෂූන් වහන්සේලාට මෙසේ වදාළහ. “ මහණෙනි, මේ තෙමේ කාශ්‍යප බුදුරදුන් කාලයෙහි පක්ෂීන් අල්වා බැඳ විකුණා ජීවත්වීම සිදුකරන වැදි පවුලක ඉපදී මොනර, කුකුළු ආදි වූ පක්ෂීන් අල්වාගෙන නො මරා ඇති දැඩි කිරීම සඳහා බොහෝ දෙනාට දෙයි. පක්ෂීන් ඉතිරිව ඇත්නම් මරා මස් කන්නවුන්ටත් විකුණයි. විකුණා ඉතිරි වූ පක්ෂීන් මරා තැබූ විට නරක් වන නිසා පියඹා යාමට නොහැකි වන ආකාරයට කකුල් ඇට ආදිය බිඳ දමා විකුණයි. ඉතා වැඩියෙන් පක්ෂීන් ලැබුණි නම් ඔහු ද පිසවාගෙන කයි.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක.
    මෙම පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතෙන් සිරුරෙහි ඇති නිස්සාරත්වයත්, කර්ම විපාකයේ බිහිසුණු බවත්, මනාව වටහාගත හැකිය. එබැවින් මේ ගැන මනා නුවණින් වටහාගෙන අකුසලයෙන් දුරුව කුසල් දහම් රැස් කරගනිමින් ඉතා අපහසුවෙන් ලබාගත් මෙම මනුෂ්‍ය භාවයෙන් මෙලොව පරලොව වශයෙන් උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම නොපමාව උත්සාහවත් විය යුතුය.
    තෙරුවන් සරණයි!

    Budusarana newspaper
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    හොද වැඩක් යාළුවා .බොහොම පින් ඔබට .දර්මය කියදිමත් දානයක්
     

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    සබ්භ දානං ධම්ම දානං ජිනාති
    ඒ නිසා...
    බොහොම පින්