සිවුර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    im1820b.jpg




    බුදු රජාණන් වහන්සේ දිනක් අනඳ හිමියන් සමග වඩින විට මගධ කෙත පෙන්වා “ආනන්දය, අර පෙනෙන මගධ කෙතෙහි ආකාරයට සිවුරු සකස් කරගැනීම අනුදනිමි,” යනුවෙන් දේශනා කළහ.

    එතැන් සිට භික්ෂූන් වහන්සේලා චීවරය සකස් කරගත්තේ මගධ කෙතෙහි ආකාරයට බව සඳහන් වේ. සිවුරෙහි සැලැස්ම එසේ වූ අතර, සිවුරු සඳහා සුදුසු වස්ත්‍ර වර්ග ද ‘අනුජානාමි භික්ඛවේ ඛෝමං කප්පාසිකං කෝසෙය්‍යං සාණං භංගං’ යනාදි වශයෙන් අනුදැන වදාරා ඇත.

    ‘ඛෝම’ නම් ගසෙහි කෙඳිවලින් වියන වස්ත්‍ර, ‘කප්පාසිකං’ කපු නූලවලින් වියන වස්ත්‍ර, ‘කෝසෙය්‍ය’ පට නූල්වලින් වියන වස්ත්‍ර, ‘සාණං’ හණ කෙඳිවලින් වියන වස්ත්‍ර, ‘භංග’ මිශ්‍ර නූලෙන් වියන වස්ත්‍ර සහ මේවාට සමාන වස්ත්‍ර චීවර සඳහා සුදුසු වෙයි. හිසකෙස්, පියාපත්, සම් වර්ග ආදියෙන් කරන වස්ත්‍ර චීවර සඳහා අකැප ය.


    නිල්, රතු, කහ, මදටිය පැහැය, කළු පැහැය, පත්තෑයාගේ පිටෙහි පැහැය යන මෙම පැහැයන් ඇති වස්ත්‍ර චීවර සඳහා අකැප ය. චීවරයෙහි පැහැය මිශ්‍ර වර්ණයක් විය යුතු ය. කළු, රතු, කහ පැහැයන් මිශ්‍ර ව ඇති වන පැහැය විනයානුකූල වෙයි. ඒ අනුව අද ඇතැම් භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන තද කළු, තද රතු, තද කහ චීවර විනයානුකූල නොවන බව පෙනෙයි.


    ‘නුග’ ගසෙහි පොතු තම්බාගැනීමෙන් එම විනයානුකූල පැහැය ලබාගත හැකි ය. එම පැහැය තිබෙන වස්ත්‍ර අද වෙළෙඳපළෙහි සුලභ ව ඇත. අකැප පැහැයෙන් යුතු චීවර ලැබුණ හොත් පඬු පොවා පැහැය වෙනස් කරගත යුතු ය. එසේ නොහැකි නම් ඇතිරිලි වැනි දෑ සඳහා ප්‍රයෝජනයට ගත යුතු ය.


    කසට පැහැය නිසා චීවරය ඉක්මනින් කිලිටි නො වෙයි; එසේ ම නිතර පඬුපෙවීම අවශ්‍ය නො වේ; අලංකාරය නිසා ඇති වන තෘෂ්ණාදි කෙලෙස් ඇති නො වේ; දුරට නොපෙනෙන බැවින් අන්තරාවන් ද අඩු වෙයි. මැසිමදුරුවන්ට අප්‍රිය වර්ණයක් බැවින් එම උවදුර ද වළකාගත හැකි ය.


    පඬුපෙවීමට ‘මූලරජනං, ඛන්දරජනං, තවරජනං, පත්තරජනං, පුප්ඵරජනං, ඵලරජනං...’ යනුවෙන් දැක්වූ පරිදි, ගස්වල මුල්, කඳ, පොතු, කොළ, මල්, ගෙඩි යන කොටස් සුදුසු ය. මුල් කාලයේ ගොම සහ රතු මැටි දිය කර සිවුරු පඬු පෙවූහ. එයින් චීවර දුර්වර්ණ විය. ඒ බැව් දැනගත් බුදු හිමියෝ ඉහත සඳහන් දෑ අනුදැන වදාළහ. සුවඳ ද්‍රව්‍ය, කැඳ ආදිය පඬුවලට මිශ්‍ර නොකළ යුතු ය.


    භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන චීවරය බුද්ධ චීවරයට වඩා ප්‍රමාණයෙන් කුඩා විය යුතු ය, එනම්, දිගින් සුගත් වියතින් නවයක් සහ පළලින් සුගත් වියතින් හයකට වඩා අඩු විය යුතු ය. (සුගත් වියත යනු වඩු රියන් එක හමාරකි). ඒ අනුව අද එවන් විශාල චීවරයක් කිසිවකුටත් අවශ්‍ය වේ යැයි සිතිය නොහැකි ය. කෙසේ වෙතත් තම ශරීරයේ ප්‍රමාණයට අනුව චිවරය සකස් කරගැනීම වඩා සුදුසු ය. අඳනය සඳහා දිගින් පස් රියනක් සහ පළලින් රියන් දෙක හමාරක් සුදුසු වේ. ‘පස්කඩ’, ‘සත්කඩ’ වශයෙන් සිවුරු කඩ කපා මසාගත යුතු ය.


    පසළොස් කඩ, අසූ කඩ වශයෙන් ද සිවුරු මසාගනිති. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්මක් නොකළ යුතු ය. මෙකල ඇතැම් දෙනා රැළි සකස් කර සිවුරු මසාගන්නා අයුරු දැකිය හැකි ය. ඒවා විනයානුකූල ද යන්න විමසා බැලිය යුතු ය. ‘අංශකඩය’ යනු ඩහදිය උරාගනු පිණිස උඩු කයට අඳින පිරිකරකි.


    චීවර අතරින් උතුම් ම චීවරය වන්නේ ‘කඨින’ චීවරය යි. එය අට මහා කුසලයන් අතුරෙන් ප්‍රධාන වේ. එහි ඇත්තේ මූල්‍යමය වටිනාකමට වඩා විනයානූුකූල වටිනාකමකි. කඨින චීවරයක් ලබාගත හැකි වන්නේ පෙරවස් විසූ, වස් ඡේදනය නොවූ, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකට පමණි.


    එසේ ම කඨින චීවරයක් පිදිය හැකි වන්නේ එක් වසරකදී, එක් විහාරස්ථානයක එකක් පමණි. සේදීම, නූල් ගැසීම, කඩ වෙන් කිරීම, කැපීම, මැසීම, පඬු පෙවීම, කප් බින්දු තැබීම යන පූර්ව කෘත්‍යයන් එදින ම සිදු කර, එදින ම කඨිනත්ථාරය කළ යුතු ය. මනුෂ්‍යයකු, දෙවියකු, භික්ෂුවක, භික්ෂුණියක, සාමණේරයක, සාමණේරියක, ශිෂ්‍ය මාණවකයකු යන කවුරුන් විසින් හෝ පුදන වස්ත්‍රය කඨිනය සඳහා සුදුසු වේ. කලින් මසා නිම කරන ලද චීවරයක් හෝ චීවරයකට සුදුසු වස්ත්‍රයක් හෝ කඨිනය සඳහා පිදිය හැකි ය.


    ‘මෙම වස්ත්‍රය ඉතා හොඳ ය, කඨින චීවරයකට ගැළපේ...’ යනාදිය පැවසීමෙන් ලබාගත් චීවරය ද ‘වෙන වසරවල නම් මේ කාලයේ කඨින චීවර පූජා කරනවා...’ ආදි වශයෙන් වටින් පිටින් කථා කර උපදවාගන්නා චීවරය ද කඨින චීවරය සඳහා අකැප වේ. එය දායකයන්ගේ කැමැත්ත පරිදි පූජා කළ යුතු අතර, දායකයන් උපදෙස් ඉල්ලුව හොත් උපදෙස් දීමෙහි වරදක් නැත. මෙකල ඇතැම් විහාරස්ථානවල වස් වැසූ භික්ෂූන් වහන්සේලා කඨින පින්කම් සහ එම පෙරහැර සංවිධානය කරන අයුරු දැකිය හැකි ය. එහෙත් එසේ කිරීම විනයානුකූල නො වේ.


    ‘මාතිකං ජානාති...’ යනාදි වශයෙන් සඳහන් පරිදි, 1. පක්කමන්තිකා 2. නිට්ඨානන්තිකා 3.සන්නිට්ඨාන්තිකා 4. නාසානන්තිකා 5. සවනන්තිකා 6. ආසාවච්ඡේදිකා 7. සීමාතික්කංසිකා 8. සහුබ්භාරා යන මෙම කරුණු පිළිබඳ නොදන්නා භික්ෂුව කඨින චීවරයක් ලැබීමට නුසුදුස්සකු වන අතර, එම කරුණු දැනගෙන සිටීම සුදුසුකමකි.


    කඨින චීවරය නිසා මේ වරප්‍රසාද ලැබේ:


    අනාමන්තචාරෝ - විහාරයෙහි වසන භික්ෂූන්ගෙන් නොවිමසා ගෙවල්වලට යෑමට කඨින චීවරය ලද භික්ෂුවට හැකියාව ලැබෙයි. අසමාදානචාරෝ - නිසගි, පචිතිවලට අයත් දෙවන ශික්ෂා පදය යි. කඨිනය ලද භික්ෂුවට අධිෂ්ඨාන කරගත් සිවුරෙන් වෙන් ව, රාත්‍රිය ඉක්මවිය හැකි ය. ගණභෝජනං - ගණභෝජනය වැළඳීමෙන් ඇවැත් සිදු නො වේ. යාවදත්ත චීවරං - නිසගි, පචිතිවල පළමුවැනි ශික්ෂා පදය යි.

    දස දිනකට වඩා අතිරේක සිවුරු දැරීමෙන් සිදු වන ඇවැතින් නිදහස් වේ. යෝව තත්ථ චීවරුප්පාදෝ සෝ නේසං භවිස්සති - විහාරයට ලැබෙන වස්ත්‍ර, චීවර ආදිය කඨිනය ලද භික්ෂුවට අයිති වේ. මෙම පංච ආනිසංසයන් ලබාගත හැකි වන්නේ කඨින චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත ඍතුවේ අවසන් දිනය වූ මැදින් පුර පසළොස්වක් දිනය දක්වා පමණකි.


    මෙකල උභයාංස - ඒකාංස වශයෙන් දෙයාකාරයකට සිවුරු පෙරවති. මෙයින් නිවැරදි ක්‍රමය කුමක් ද? යන්න පිළිබඳ විවිධ මත පවතියි. මේ පිළිබඳ වාද විවාද පවා කර ඇත. ‘පාරුපන වාදය’ ඉන් ප්‍රධාන තැනක් ගනියි. තායිලන්තය, මියැන්මාරය වැනි ලෝකයේ ථේරවාදී රටවල වැඩි වශයෙන් භික්ෂූන් වහන්සේලා උභයාංශ පාරුපනය අනුගමනය කරති. (තායිලන්තයේ හෙවත් සියමයේ එක් ප්‍රදේශයක පමණක් සිවුරු ඒකාංශ කර පෙරවන අයුරු දැකිය හැකි ය).

    ඒකාංශ කරගෙන චාරිකාවේ යෙදෙන භික්ෂූන් සාමණේරවරුන් වශයෙන් එම රටවල පිළිගනිති; ඇතැම් විට පාරාජිකා බවට පත් වූ අය වශයෙන් සලකති. එම රටවලට වඩින ලාංකික භික්ෂූන් වහන්සේලා උභයාංශයෙන් වැඩමවීමට පෙලඹෙන අයුරු දැකිය හැකි ය. ඇඳීම, පෙරවීම සැලකිය යුතු කරුණු දෙකකි. ඒ ගැන විනය නීති හඳුන්වා දී ඇත.


    එය විනයානුකූල ව කළ යුතු ය. එසේ නොකරන පැවිද්දා නිතර වැරදි කරන්නකු බවට පත් වෙයි. පෙරවීම පිළිබඳ ශික්ෂාපද හතරක් ශේඛියාවල සඳහන් වේ. එනම්, පරිමණ්ඩලං නිවාසෙස්සාමී - තැන් තැන්වලින් උස් පහත් නොවන අයුරින් එක මට්ටමකට සිටින සේ හැඳීම, පරිමණ්ඩලං පාරුපිස්සාමී - සම මට්ටමකට සිටින සේ හැඳීම, සුපටිච්ඡන්නෝ අන්තරඝරේ ගමිස්සාමීති - සිවුරෙන් මැනවින් ශරීරය වසාගෙන බැහැර ඇවිදීම හා සුපටිච්ඡන්නෝ අන්තරඝරේ නිසීදිස්සාමිති - සිවුරෙන් මැනවින් ශරීරය වසාගෙන ගමෙහි හිඳීම ය. මෙම කරුණු දීර්ඝ ව විස්තර කළ යුතු ඒවා බව පෙනෙයි.


    චණ්ඩාශෝක රජතුමා දැහැමියකු බවට පත් වූයේ චීවරයක් දැරූ, සන්සුන් ඉඳුරන්ගෙන් යුතු කුඩා සාමණේර නමක් දැකීමෙනි. එය චීවරයට එක් වූ ආධ්‍යාත්මික බලය නිසා සිදු වූවකි. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර සටනක් ඇති වන්නට ගිය විට, භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් එතැනට වැඩම කොට සමථයකට පත් කළහ. එහිදී ගැමුණු කුමරු පැවසුවේ “ඔබ වහන්සේලා ම වැඩම කළේ කුමකට ද? සත් හැවිරිදි සාමණේර නමක් පැමිණියත් අප අතර සටනක් නොවන්නේ ය...” යනුවෙනි. එය චීවරයේ අසීමිත බලය යි. චීවරයක් දැරූ භික්ෂුව සිංහ රාජයකු මෙන් එඩිතර ය. වාරියපොළ සුමංගල, මොහොට්ටිවත්තේ ගුණානන්ද, වැනි හිමිවරුන්ගේ චරිතවලින් ඒ බැව් පසක් වේ. චීවරය දැරූ භික්ෂුව ස්වර්ණ හංසයකු මෙන් නිදහස් ය.


    චීවරය දැරීමට නුසුදුසු පුද්ගලයෝ ද වෙති.


    ‘අනික්කසාවෝ කාසාවං

    යෝ වත්තං පරිදහිස්සති
    අපේතෝ දම සච්චේන
    නසෝ කාසාවමරහතී.’ (ථේර ගාථා)


    රාගය වැනි කෙලෙස් තිබෙන, ඉන්ද්‍රීය දමනයෙන් සහ වාග් සත්‍යයෙන් තොර, බිඳුණු සිල් ඇති, දුස්සීලයෙකැ යි ප්‍රසිද්ධ වූ අසංවර වූ, පස් කම් සැප කෙරෙහි ගිජු වූ පැවිද්දෝ චීවරයට නුසුදුසු වෙති. නොසන්සුන් සිත් ඇති, අධික මානයෙන් යුත්, නුවණ නැති පුද්ගලයා සුදු වතකට පමණක් සුදුසු වෙයි. නොසන්සුන් සිතක් තිබෙන, චපල ගති ඇති පැවිද්දා චීවරයක් දැරුව ද, හෙතෙම සිංහ සමක් පෙරවාගත් වඳුරකුට සමාන ය (කස්සපථේර ගාථා).


    චීවරය දැරීමට සුදුස්සෝ මෙලෙස වෙති.


    ‘යෝචවන්ත කසාවස්ස - සීලේසු සුසමාහිතෝ

    උපේතෝ දම සච්චේන - සචේ කාසාවමරහතී.’


    යමෙක් කෙලෙස් කසට දුරු කර, ශීලාදි ගුණයෙන් යුතු අයෙක් වේ ද, ඉන්ද්‍රීය දමනයෙන් හා සත්‍ය ගරුක භාවයෙන් යුතු අයෙක් වේ ද, හෙතෙම චීවරයට සුදුස්සෙක් වෙයි. යමෙක් සිල්වත් වේ ද, රාගය දුරු කළේ ද, සන්සිඳුණු, පිරිසිදු සිතක් ඇත්තේ ද හෙතෙම චීවරයට සුදුස්සෙක් වෙයි.


    චීවරය දැරිය යුතු වන්නේ අලංකාර වීමට හෝ උසස් ලෙස පෙනී සිටීමට හෝ නො වේ. එවැනි අදහසකින් චීවරය දරන විට තණ්හාව, මානය, සක්කාය දිට්ඨිය වර්ධනය වේ. එය මග පල ලැබීමට කෙසේ වෙතත්, පැවිදි බව රැකගැනීමට ද බාධාවකි. එසේ නම් චීවරය දැරිය යුතු වන්නේ ශීතල – උණුසුම දුරු කරගැනීමටත්, මැසි, මදුරු, පත්තෑ, ගෝනුසු වැනි සතුන්ගෙන් සිදු වන හානි වළකාගැනීමටත්, ලජ්ජා ස්ථාන වසාගැනීමටත් යන අදහස නිරතුරු ව ම තිබිය යුතු ය. එවිට තණ්හාව, මානය, රාගය වැනි අදහස් සිතෙහි පහළ නො වේ; චීවරය පරණ ය; අවලක්ෂණ ය කියා සිතෙහි කිසි දොම්නසක් ද ඇති නො වේ. හෙතෙම නිවැරදි ව චීවරය දරන්නකු බවට පත් වෙයි; චීවරයට මුවා වී කරන වැරදි වැඩවලින් වැළකීමට උත්සාහ කරයි. ද


    ධර්මවේදී පූජ්‍ය නාලන්දේ විමලවංස හිමි