සුගන්ධතෙරුණ්ගේ බුදුගුන වැයුම

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මේ මහා භද්‍ර කල්පයෙහි බ්‍රහ්ම බන්ධු වූ මහා යසස් ඇති ගෝත්‍රයෙන් කස්සප නම් වූ කථා කරන මිනිසුන් අතර උත්තම වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

    ඒ බුදු රජාණන් වහන්සේ දෙතිස් මහා පුරිස ලකුණු වලින් සමන්විත වූ සේක, අනුව්‍යඤ්ජන වලින් සමන්විත වූ සේක. බ්‍යාමප්ප්‍රභාවෙන් යුතු වූ සේක. හාත්පස විහිද යන රශ්මි මාලාවන්ගෙන් යුතු වූ සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ සඳමඩල මෙන් ලෝකය සනසන සේක. හිරු මඩල මෙන් ප්‍රභාෂ්වර වන සේක. මහා මේඝයක් මෙන් ගිනිගත් ලෝකය නිවා සනසන සේක. මහා සයුර මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක.

    සීලයෙන් මහ පොළොව වැනි සේක. නොසැලෙන සමාධියෙන් හිමවත් පව්ව වැනි සේක. අසිරිමත් ප‍්‍රඥාවෙන් නුඹගැබ වැනි සේක. හමා යන පවන මෙන් කිසිතැනක නොඇලෙන සේක.

    පිරිස ඉදිරියේ විශාරද වූ ඒ මහාවීර වූ බුදුරජාණන් වහන්සේ මහජනතාව සසර සයුරින් එතෙර කරවීමට චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් දේශනා කරන සේක.

    එකල්හි මම බරණැස් නුවර මහා ඉසුරු ඇති ධන ධාන්‍යයෙන් හෙබි සිටු පුත‍්‍රයෙක්ව සිටියෙමි. මම එදා බරණැස මිගදාය නම් වූ මුව වනයේදී, අමා මහ නිවන් මඟ දේශනා කරන්නා වූ, කෙළෙස් වලින් මිදුනා වූ, ඈතට විහිදී යන සිත් ගන්නා සුලු වචන ඇති, කුරවි කෙවිල් හඬ වැනි කටහඬක් ඇති, බ්‍රහ්මස්වරයෙන් යුතු මහජනයාට ධර්මාවබෝධය ලබා දෙන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

    දේවාතිදේව වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක, මිහිරි සම්බුදු වදන් අසා, මම පහන් සිත් ඇතිව මහත් වූ භෝග සම්පත් අතහැර උතුම් බුදු සසුනෙහි පැවිදි වුනෙමි.

    මෙසේ පැවිදි වූ මම, කෙටි කලකින්ම බහුශ‍්‍රැත වූ, ධර්ම කථික වූ කෙනෙක් වූයෙමි. මම මහා පිරිස් මැද බුදුරජාණන් වහන්සේ ගේ අප්‍රමාණ බුදු ගුණ වැනීමෙහි විශාරද වූයෙමි. ඒ කෙසේද යත්,

    බුදුරජාණන් වහන්සේ ක්ෂය කළ ආස‍්‍රවයන් ඇති සේක. උවදුරු රහිතව වාසය කරන සේක. දුරු කළ සැක සංකා ඇති සේක. සියලු කර්මයන් ක්ෂය කළ සේක. පංච උපාදානස්කන්ධයන්ගෙන් මිදුණ සේක. සියලු දුකින් මිදුණ සේක.

    මේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. මේ ලෝකයෙහි අනුත්තර වූ සිහරජාණන් වහන්සේ ය. දෙවියන් සහිත වූ ලෝකයට බ්‍රහ්මචක‍්‍රය පවත්වන සේක.

    මහා ඉර්ෂිවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දමනයට පත්වී, මහජනයා ද ශාන්තභාවයට පත් කරන සේක. තමන් වහන්සේ කෙලෙස් ගින්නෙන් සදහටම නිවී, මහජනයා ද නිවාලන සේක. තමන් වහන්සේ සැනසීගිය සිතින යුතුව, මහජනයා ද අස්වැසිල්ලට පත් කරන සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ මහා වීරයෙකි. අතිශයින්ම දක්ෂ වන සේක. මහා නැණවතාණෝ ය. මහා පැණවතාණෝ ය. මහා කාරුණිකයාණෝ ය. දිනූ කෙලෙස් ඇත්තේ ගොරෝසු නොවූ කායකර්ම ඇති සේක. ආශාව දුරු කළ සේක. සියලු ලොව ම ජයගත් සේක.

    ඒ සර්වඥයන් වහන්සේ තෘෂ්ණාව නැති කළ සේක. නිශ්චලය. නුවණින් අග‍්‍රය. මෝහය නැති කළ සේක. සමාන කොට සැලකීමට වෙනත් අයෙකු නැති බැවින් අසමය. ධූර උසුලන්නේය. උතුම් බැවින් වෘෂභය. පව් නැති බැවින් නාගය. ශ්‍රේෂ්ඨ බැවින් සිංහය. ගුරුවරුන් අතුරින් ශක්‍යය.

    ඒ බුදුරජාණන් වහන්සේ රාගය නැති කළ සේක. නිර්මල වන සේක. ශ්‍රේෂ්ඨ වන සේක. සියලු මතවාද මැඩගෙන ලොවට ශ්‍රේෂ්ඨවන සේක. සියලු පාපයන් දුරු කළ සේක. සිතේ රාගාදී කෙලෙස් මල නැති බැවින් අඛිලය. පහකළ රාග හුල් (උල්) ඇති බැවින් විසල්ලය. ඉන්ද්‍රියන් සංවරය. සංසුන්ය. අතිශයින්ම පිරිසිදු දිවි ඇති සේක.

    බැහැර කරන ලද පව් ඇති බැවින් බ‍්‍රාහ්මණ වන සේක. සමනය කරන ලද පව් ඇති බැවින් ශ‍්‍රමණ වන සේක. අනාතයන්ට පිහිට වන බැවින් නාථ වන සේක. කෙලෙස් රෝගාදියට වෛද්‍යවරයාණෝය. රාගාදී හුල් ඉවත් කරන ශල්‍ය වෛද්‍යවරයාණෝය. කෙලෙස් සතුරන් ජය ගන්නා යෝධයාණෝය. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක. දමනය නොවූ පිරිස් දමනය කරන බැවින් සාරථී වන සේක. නිශ්චල වන සේක. මුදිතාවෙන් යුක්ත වන සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ ඉවසන සුළුය. නිවන් මගෙහිම වැඩිය සේක. අනුන්ටද නිවන් මග පෙන්වා දෙන සේක. යහපත අයහපත පෙන්වා දෙන සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ සත්වයන් සසරින් එතෙර කරවන සේක. අන් අයට පිළිසරණ වන සේක. නිවනට පමුණුවන සේක. කෙළෙස් නැමැති ගල්කුළු පලා දමන සේක. දුටුවන් සිත් වශී කරන සුළුය. කෙළෙස් සතුරන් නසන සේක. කෙළෙස් නසන වීර්යය ඇති සේක. තපෝ ගුණයෙන් යුක්ත වන සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ සතුරු මිතුරු මැදහත් සියලු දෙනාම කෙරෙහි සමාන සිත් ඇති සේක. බුදුරජාණන් වහන්සේලාට පමණක් සමාන වන බැවින් සම වන සේක. වෙනත් සමාන කෙනෙක් නැති බැවින් අසමය. (අසම සම වන සේක) මේ හා සමාන යයි වෙනත් අයෙකු පෙන්වීමට නොමැති හෙයින් අසහාය වන සේක. දයා ගුණයට නිවාසස්ථානය වන සේක. ආශ්චර්යවත් වන සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ, සැක දුරු කළ සේක. මානය දුරු කළ සේක. පමණ කළ නොහැකි ගුණ ඇති සේක. උපමා විෂය ඉක්මවූ සේක (උපමාවලින් කිව නොහැකි තරම් වන සේක). වර්ණනා විෂය ඉක්මවූ සේක. සත්‍ය වූ ධර්ම‍යෙන් සහ දතයුතු සියලු ධර්මයන්ගෙන් පරතෙරට ගිය සේක. මාර යුද්ධයජයගත් සේක.

    ඒ බුදුරජාණන් වහන්සේ සියලු ලෝ සතුන් අතරින් උතුම්ම හරය වන සේක. එහෙයින් බුදු සමිඳුන් කෙරෙහි, ශ‍්‍රද්ධාව ඇති කරගැනිම අමාසුව ලැබීමට හේතු වන්නේය. ඒ නිසා බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි වූ අචල ප‍්‍රසාදය ශ‍්‍රද්ධාව මහත් වූ පුණ්‍ය සෘද්ධි ඇති කරවන්නේය.

    මම මෙසේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ පිළිබඳව පිරිස් මැද වර්ණනා කළෙමි. මම එයින් චුත වී තුසිතයෙහි මහත් සැප විඳ, ඉන් චුත වී මිනිසත් බව ලැබ සුවඳවත් වූයෙමි.

    මම මෙසේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ පිළිබඳව පිරිස් මැද වර්ණනා කළෙමි. මම එයින් චුත වී තුසිතයෙහි මහත් සැප විඳ, ඉන් චුත වී මිනිසත් බව ලැබ සුවඳවත් වූයෙමි.

    මගේ මුවින් පිටවන සුසුමද, ශරීර සුවඳද, දහඩියද හැම වෙලේම සුවඳවත්ය. මගේ මුවේ සුවඳ පියුම්, උපුල්, සපුමල් සුවඳ මෙනි. සිරුරේ සුවඳද එසේමයි. බුදු ගුණ වර්ණනා කිරීමේ විපාක අතිශයින්ම විස්මයජනකයි. මම ඒ ගුණ වර්ණනා කරන්නෙමි. සමාහිත සිත් ඇත්තෝ අසත්වා.

    බුදුගුණ වර්ණනා කිරීම නිසා මම මිහිරි හඬ ඇතිව සිටින්නෙමි. යස ඉසුරු ඇතිව සිටින්නෙමි. සුවයෙන් සිටිමි. මනහර වූයෙමි. ප‍්‍රභාවත් වූයෙමි. ප‍්‍රියමනාප වූයෙමි. සොඳුරු වදන් පවසන සුළු වූයෙමි.

    ආයුෂ ගෙවී ගියත් බුදුසමිඳුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිව සිටීම නිසා නිවන පහසුවෙන් ලැඛෙන්නක් බවට පත් වෙයි. නිවන සුලභ වෙයි. එයට හේතුව අසන්න.

    මට භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යසස් භාවයට ගැලපෙන සේ උන්වහන්සේගේ අප්‍රමාණ ගුණ පවසන බැවින් එය අන් අයට ද යහපත ගෙන දෙන්නකි. ඒ නිසා මම සුව ඇත්තෙක් වෙමි.

    දුකින් මිදෙන අයුරු පවසන බුදුරජාණන් වහන්සේගේ ශාන්ත වූ ඒ ශ‍්‍රී සද්ධර්මය මම වර්ණනා කරන්නෙමි. එය අනෙක් අයටද යහපත ගෙන දෙන්නක් බැවින්, මම සුව ඇත්තෙක් වෙමි.

    බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණ පවසන්නේ ඉතා කැමැත්තෙන් වන අතර, ඒ හෙතුවෙන් සිත් අලවන ගතිගුණ ඇති කෙනෙක් වෙමි.

    මම බුදුරජාණන් වහන්සේගේ ගුණ බවසන නිසා සරාසඳ මෙන් ජනයාට ප‍්‍රිය මනාප ඇතිව වාසය කරමි.

    මම මට හැකි පමණින් බුදුරජාණන් වහන්සේට මාගේ ස්තූතිය සියලු වචනයෙන් පුද කළ නිසා මම වාගීශ්වර වීමි. වැටහෙන නුවණ ඇත්තෙක් වීමි.

    විස්මයට පත් අඳබාල කෙනෙක් මහාමුනි බුදුරජාණන් වහන්සේට අපවාද උපවාද කරනවිට, ඔවුනට මම කරුණු සහිතව පහදා දෙන බැවින්, මම නින්දා අපහාස පරිභව නොලද්දෙමි.

    මම බුදුගුණ වර්ණනා කිරීමෙන් සත්වයන්ගේ කෙලෙස් දුරු කළෙමි. ඒ හේතුවෙන් මම නිකෙලෙස් සිත් ඇත්තෙක් වූයෙමි.

    බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහිකොට ධර්මය දේශනා කොට දහම් අසන්නන්ට නුවණ ලබා දුනිමි. ඒ නිසාම මම ප‍්‍රඥාවන්ත වූයෙමි. සියුම් අර්ථ දකින්නට දක්ෂ වෙමි.

    සියලු ආස‍්‍රවයන් ක්ෂය කර සසර සයුර තරණය කර, කරදර රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණෙන්නෙමි.

    මම ඒ කල්පයේදීම බුදුරජාණන් වහන්සේට යම් ස්තූතියක් කළාද, ඒ හේතුවෙන් දුගතියක් නොලදිමි. මෙය බුදුගුණ වර්ණනා කිරීමේ ආනිසංශයයි.

    මා විසින් කෙළෙස් දවන ලදහ. සියලු භවයන් නසා ඇත. හස්ති රාජයකු මෙන් විලංගු සිඳ දමා ආස‍්‍රව රහිතව වාසය කරමි.

    බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපත්ය. මම ත‍්‍රිවිද්‍යා ලැබුවෙමි. උතුම් බුදුසසුන සම්පූර්ණ කර ගන්නා ලද්දෙමි.

    (අපදාන පාළි)

    Source: ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
    FB_IMG_1621972713531.jpg