සුළං මෙල්ල කල අප්‍රිකාණු කොල්ලා!

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සුළං මෙල්ල කල අප්‍රිකාණු කොල්ලා!

    සුළං මෙල්ල කල අප්‍රිකාණු කොල්ලා!
    attachment.php

    අප්‍රිකාවේ, ‘මලාවි’ යන දුප්පත් රටේ, ‘ජාලා ප්‍රදේශයේ’ එක්තරා හද්ද පිටිසර ගම්මානයක සිටි පවුලකි.

    ඔවුන් ජීවත් වූයේ ගොවිතැන් කිරීමෙනි. නියඟය මලාවිය කෙමෙන් වෙලා ගැනීමත්, මේ පළාතේ තිබුණු දුම්කොළ සමාගමට අවශ්‍ය දර ගැනීමට කැලෑ කැපීමත් යන හේතු නිසා, ඔවුන්ට ගොවිතැන සඳහා ඇති තරම් වතුර තිබුනේ නැත. මේ අතර ඇමරිකාවෙන් රටට ලැබුණු සහනාධාරද අඩු වූයේ එකළ ඇමරිකාවේ ඇතිවූ ත්‍රස්තවාදී කලබලය නිසා විය. මලාවිය ලෝකයේ ඇති දුප්පත්ම රටවල් විසි පහෙන් එකකි.

    මේ පව්ලේ පියා වන, ‘ට්‍රයිවෙල්’ ට ඉතා අපහසුවෙන් තම පුතා වූ, ‘විලියම්’ ව ගමේ පාසැලට යවන්නට හැකි වුවත්, ඔවුන් වෙලාගත් දරිද්‍රතාවය ඊට බාධකයක් විය. කීප වතාවක් විලියම්ව පාසැලෙන් නෙරපන ලද්දේ කලට වෙලාවට පාසැල් ගාස්තු ගෙවන්නට නොහැකි වූ හෙයිණි. රාත්‍රී කාලයේ විලියම්ට පාඩම් කරන්නට භූමිතෙල් මිළට ගැනීමට වත් වියදම් කරන්නට විලියම්ගේ පියාට නොහැකි විය. නමුත් විලියම් විද්‍යා පාඩමට පමණක් ඒමට ක්‍රමයක් සොයා ගත්තේ අහම්බෙනි.

    පාසැලේ විද්‍යා ගුරුවරයා, විලියම්ගේ අක්කා වන ‘ඇනී’ සමඟ පෙමින් වෙලී සිටීම ඔහු විසින් රහසෙන් දැකීම එයට හේතුව විය.

    මේ හේතුව ගුරුවරයාට කියා රහස අන් අයට එළි නොකර සිටීමට හිලව්වක් සේ, විද්‍යා පාඩමට සහභාගී වීමටද පාසැලේ කුඩා පුස්තකාලයටද යෑමට ඔහු සමත් වූයේය. විද්‍යා පොත පත කියවීම ඔහුගේ බලාපොරොත්තුව විය. විලියම්ට අවශ්‍ය වූයේ නියඟයෙන් බැට කන තිරිඟු සහ එළවළු වගාවට ජලය සැපයීමේ යන්ත්‍රයක් තැනීමය. ඒ සඳහා සුළං මගින් කරකැවෙන පංකාවකින් ඩයිනමෝවක් කරකවා එමගින් වතුර පොම්පයක් ක්‍රියාත්මක කරවීම ඔහුගේ බලාපොරොත්තුව විය. ඔහුට මේ සඳහා තිබුණු එක් බාධකයක් වූයේ බයිසිකල් ඩයිනමෝවක් නැති වීම සහ අනෙකුත් දැති රෝද වැනි කොටස් නැති වීමය.

    විද්‍යා ගුරුවරයා පාසැලට එන්නේ විදුළි ලාම්පුද ඇති අළුත් බයිසිකලයකිනි. ඒ ලාම්පුව දල්වන උපක්‍රමය වන, පසුපස රෝදයට සවිකර ඇති ඩයිනමෝව නම් අපූරුම උපකරණයකි. එයින් ආලෝකය ලැබෙන්නේ කෙසේදැයි විලියම් විද්‍යා ගුරුවරයාගෙන් ඇසූ විට ඔහුට මුලින් ලැබෙන්නේ පුදුම උත්තරයකි. ඒ ඇතුළේ කුඩා මිනිහෙක් සිටින බවත්, ඔහු ඩයිනමෝව හරහා ආලෝකය එවන බවත්ය.

    මේ අතර නියඟය නිසා මේ ගමේ මිනිසුන් දින ගණන් හාමත්ව සිටී. ට්‍රයිවෙල් නිවසේ නැති කිසියම් දිනෙක ගෙදරට පැන්න මිනිසුන්, ඔවුන්ට කන්නට තබාගෙන සිටි ඉරිඟු ටිකද කොල්ල කා ගෙන යාමෙන් මේ පව්ල කබලෙන් ලිපට වැටුනාක් මෙන් විය. දිනකට එක වේලක් අපහසුවෙන් පිරි මසා ගෙන ජීවත් වීමට ඔවුන්ට සිදු විය. විලියම්ගේ අක්කා වන ඇනී ගේ පෙම්වතා වන පාසැල් ගුරුවරයා, ඇනීට හොරෙන් පැන යෑමට යෝජනා කරන්නේ මේ කාලයේය.

    හොරෙන් පැන යන්නට නොහැකි බවත්, ‘මනමාලි මුදල’ පව්ලට දුන්නොත්, ඔහු සමඟ එන්නට කැමති වන බවත් ඇනී කියා සිටියාය. මනමාලයා විසින් මනමාලිගේ නිවසට ගාස්තුවක් ගෙවීම අප්‍රිකාණු සිරිතකි. මේ කාලය වන විට පාසැලේ ළමයින්ගේ දෙමාපියන්ට පාසැල් ගාස්තු ගෙවන්නට නොහැකි හෙයින් එය කල නොහැකි බව විද්‍යා ගුරුවරයා කියා සිටියේය. තවමත් මේ පෙම් පළහිලව්ව ට්‍රයිවෙල් හෝ ඔහුගේ බිරිඳ ඇග්නස් දැන සිටියේ නැත. මෙය ප්‍රයෝජනයට ගත් විලියම්, ඔහුගේ අක්කා වූ ඇනීට කියන්නේ මෙය දෙමාපියන්ට හෙළි කරන බවය.

    එසේ නොවන්නට නම් විද්‍යා ගුරුවරයාගේ පදින බයිසිකලයේ ඩයිනමෝව තමාට දිය යුතු බවත්ය. ඒ අයුරෙන් විලියම් දැන් ඩයිනමෝවක්ද අයිති කර ගත්තේය. දුම්කොළ සමාගමේ වාහන කැබලි දමා ඇති අංගනයේ ගැවසෙන ඔහු පරණ පංකාවක්, සහ බැටරියක් සොයා ගත්තේ, තම හිතවතුන් සමඟ සුළං මගින් වැඩ කරන කුඩා යන්ත්‍රයක් තැනීමට එමගින් සමත් වූයේය. එමගින් කබල් කැසට් රේඩියෝවක් ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි විය.

    නූගත් ගැමියෙක් වූ ට්‍රයිවෙල්ට සුළං පංකාවක ඇති ප්‍රයෝජනය කියා දීමට විලියම් අපොහොසත් විය. ගොවිපොළේ වැඩ කරන තම පියාට විලියම් තැනූ කුඩා යන්ත්‍රයෙන් රේඩියෝව ක්‍රියාත්මක කල හැකිවාක් මෙන්, ලොකු යන්ත්‍රයක් මගින් ජලය පොම්ප කල හැකි බව කීවද, එය කවදාවත් නොවන දෙයක් බවත්, විලියම් සිහින මවන බවත් ට්‍රයිවෙල් ගේ අදහස විය. පියාගේ කුඩා ගොවිපොළට ජළය ගෙන ඒමට විලියම් ඔහුගේ පරණ බයිසිකලය ඉල්ලා සිටීම ට්‍රයිවෙල්ට ඉවසුම් නැති විය.

    විලියම් තැනූ කුඩා පංකාව තම පියා විසින් පොලවේ ගසා බිඳ දැමීමෙන් දුකට පත්වන විලියම්ට තවත් දුකක් ඇති වන්නේ, හාමතින් මියගිය ඔහුගේ බල්ලාද දැකීමෙනි. බල්ලා වළලා දැමූ ඔහු පියාට සහයට ගොවිපොළේ වැඩ කරන්නට යයි.

    දරිද්‍රතාවය නිසාම විලියම්ගේ සහෝදරිය වන ඇනී, විද්‍යා ගුරුවරයා සමඟ පැන යන්නේ මේ කාලයේදී විය. ඇය … “කන්නට එක කටක් පව්ලෙන් අඩු වුනා”… යයි කුඩා ලියුම් කැබැල්ලක් ලියා නිවසෙන් පැන යාම, ට්‍රයිවෙල් සහ ඇග්නස්ට දරා ගන්නට බැරි හිත් වේදනාවක් විය. ට්‍රයිවෙල් හැකි අයුරෙන් ගොවිතැනේ යෙදුණේය. ඔහු විලියම්ට දිගෙන් දිගටම කීවේද, වෙන සෙල්ලම් වැඩ නොකර ගොවිතැනේ යෙදීමට ඔහුට උපකාරී වන සේය.

    කෙසේ හෝ විලියම්ගේ මව වන ‘ඇග්නස්’ ගේ මැදිහත් වීමෙන් ට්‍රයිවෙල් ගේ පරණ බයිසිකලය විලියම්ට පසුව ලැබිණි.

    පරණ වාහන අංගනයෙන් සොයාගත් කබල් කාර් එන්ජිමක ජල පොම්පයක් ඇතිව විලියම් තම යහළුවන් සමඟ කුඩා සුළං මෝලක් තැනුවේය. පංකාව කරකැවෙන විට, කැලෑ ලී වලින් තනන ලද අට්ටාලයේ ඔසවන ලද, දෙකට කපන ලද පියාගේ බයිසිකලයේ සවි කර ඇති විද්‍යා ගුරුවරයාගේ ඩයිනමෝව කරකැවෙමින්, පහත බිම තබා ඇති බැටරියට විදුළිය ගමන් කරයි.

    බැටරියෙන් ලැබෙන විදුළියෙන් පැරණි වාහන වතුර පොම්පය ක්‍රියාත්මක වී, ළිඳක ඇති වතුර ඉහළට එසැවී උන බට හරහා ගොස් පොළව තෙත් වූ දිනය, විලියම්ගේ සිහිනය සැබෑ කරවූ දිනය විය. සැණෙකින් ඔහු ප්‍රදේශයේ වීරයා විය.

    කතාව ඉවරයි.

    සත්‍ය කතාවක් වූ මෙය බ්‍රිතාන්‍ය ගුවන් විදුළිය මගින් නිර්මාණය කරන ලද සිනමා පටයකට නංවා ඇත්තේ, “The boy who harnessed the wind “ ලෙසිණි. මේ සොයා ගැනීම නිසා, පාසල් අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් විලියම්ට ලැබිණි. ඉන් පසු දකුණු අප්‍රිකාවේ ඇකඩමියකට ගොස් ඉගෙන ගැනීමටද ඔහුට හැකි වූයේය. එහිදී ඒ ඩිප්ලෝමාව දිනා ගැනීමෙන් පසුව ඔහු ඇමරිකාවේ ‘ඩාර්ට්මවුත් විශ්ව විද්‍යාලයේ’ පරිසර විද්‍යාව’ යන විෂයේ උපාධියක් ලබා ගැනීමට සමත් විය.

    ඔහුගේ මව ඇතුළු මේ පිටිසර ගම්මානයේ බොහෝ අය ඇමරිකාව යනු අප්‍රිකාවේ ඈත ගම්මානයක් බව විශ්වාස කල අය විය.

    පසු කතාව:-

    විලියම් එදා සුළඟින් ක්‍රියාත්මක කලේ, පදින බයිසිකලයක කුඩා ඩයිනමෝව විය. එයින් ලැබුණු කුඩා විදුළියෙන් නිවස සහ ගොවිපොළට අවශ්‍ය ජළය ලබා ගැනීම ලොකු දෙයක් නොවේ යයි, කෙනෙක්ට සිතෙන්නට ඇත. එහෙත් මෙය කලේ, ‘හද්දා පිටිසර නූගත් ගොවීන් සිටින ගම්මානයක, ‘විද්‍යාවේ ‘අ’ යන්න පමණක් දන්නා අප්‍රිකාණු දරුවෙක් විසින් වීම’, මේ සත්‍ය කතාවේ අරුමය යි.

    ඔහු වීරයෙක් වන්නේ එබැවිණි.
    THE BOY WHO HARNESSED THE WIND (2019) | Full Movie Trailer | Full HD |
    https://www.youtube.com/watch?v=nPkr9HmglG0



    ref /lalithkrunaratna
     

    Attachments

    • 1.jpg
      1.jpg
      15.7 KB · Views: 517