සෝවාන් වීමට නම්

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    සෝවාන් වීමට නම්

    සෝවාන් වීමට නම්...

    හැම බෞද්ධයකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමට යි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා. දැන් දීම, සිල් රැකීම, බුද්ධ පූජා පැවැත්වීම වැනි දේවල්, මේ කිසි දෙයක් කළාට විදර්ශනා භාවනාවක් නොකොට, නිවන් අවබෝධ කර ගන්නට බැහැ.
    නිවන් අවබෝධ කර ගන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ග හතරට සහ ඵල හතරට පිළිවෙලින් පත් වීමෙනු යි. යටත් පිරිසෙයින් සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනකු ළඟ තිබිය යුතු අංග හතරක් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒවාට සෝතාපත්ති අංග යැයි කියනවා.
    එමෙන්ම සෝවාන් වූ කෙනකු ළඟ පවතින අංග හතරකුත් තිබෙනවා. ඒවාටත් “සෝතාපත්ති අංග“ කියා කියනවා. සෝවාන් වූ කෙනකු ළඟ තිබෙන අංග තමයි, “බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, සංඝෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති” යන අංග හතර.
    බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි කිසි දාක නොසැලෙන ශ්‍රද්ධාවක් ඇතිවීම සහ අපායගාමී අකුශලයක් කිසි දිනක නොකෙරීම යන කරුණු යි එයින් කියැවෙන්නේ.
    මේ නො සැලෙන ශ්‍රද්ධාව ගැන කීවාම මේ අයට සිතෙන්නට පුළුවන්, අප ළගත් තිබෙන්නෙ නො සැලෙන ශ්‍රද්ධාවක් තමයි කියලා. එහෙම නො වෙයි, කවර කරුණක් යෙදුණත්, කුමන අවස්ථාවක වුනත් රත්නත්‍රය කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ. අන් දෙයක් තබා මරණයෙන් පසුව අන් ආගමකට අයත් මව් කුසක, සෝවාන් වූ කෙනකු පිළිසිඳ ගත්තා නම්, එවැනි දරුවකු තුළ වුවත් රත්නත්‍රය කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ.
    අප විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ එය නො වෙයි. සෝවාන් වීමට උත්සුකව කටයුතු කරන කෙනකු ළඟ තිබිය යුතු ගුණ ධර්ම හතර යි. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා.

    “චත්තාරිමානි භික්ඛවේ සෝතාපත්ති අංගානි, කතමානි චත්තාරි ? සප්පුරිස සංසෝවෝ, සද්ධම්ම සවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානු ධම්ම පටිපත්ති”
    1.සප්පුරිස සංසේවෝ - කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය.
    2.සද්ධම්ම සවණං - සද්ධර්මය ශ්‍රවණය කිරීම.
    3.යෝනිසෝ මනසිකාරෝ - නුවණින් මෙනෙහි කිරීම.
    4. ධම්මානු ධම්ම පටිපත්ති - ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදීම.
    1.සප්පුරිස සංසේවෝ - කල්‍යාණ මිත්‍ර සංසේවනය
    මුළු බුද්ධ ශාසනයම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත රඳා පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. අප ඇසුරු කරන අය කල්‍යාණ මිත්‍රයන් විය යුතු යි. ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර නිස යි, අපට ශක්තිය ලැබෙන්නේ පාපයෙන් අත් මිදෙන්නට. කායික වාචසික, මානසික, දුශ්චරිත වලින් ඈත් වන්නට පුළුවන්කම ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිස යි. එසේ ම කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත යන කයින්, සිතින්, වචනයෙන් කරන යහපත් ක්‍රියා කරන්නට හැකි වන්නෙත් සත්පුරුෂයන් හෙවත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙනු යි.
    ඊටත් අමතරව මේ භයානක සංසාර සාගරයෙන් මිදීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට හැකි වන්නේත්, සංසාරයෙන් මිදීමට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට අත හිත දෙන්නේත් කල්‍යාණ මිත්‍රයනු යි.. කල්‍යාණ මිත්‍රයා යනු කවරේදැ යි තේරුම් ගැනීමට පාවිච්චි කළ හැකි මිනුම් දණ්ඩක් තිබෙනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කියනවා නම්, යමකු ඇසුරු කිරීම නිසා, අපගේ සිත තුළ කලින් නො තිබූ ශීල සම්පත්තිය දැන් ඇති වෙනවා නම්, දැන් තිබෙන ශීල සම්පත්තිය තව තවත් වැඩි වෙනවා නම්, එය දිගටම ගෙන යන්නට පුළුවන් නම්, ඔඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට පුළුවන්.
    අපි හිතමු, අප පන්සිල් ආරක්ෂා කරනවා කියා. මේ පන්සිල් දිගටම ආරක්ෂා කර ගැනීමට යම් කෙනකු ඇසුරු කිරීම නිසා හැකියාව ලැබෙනවා නම්, එසේ නැති නම් තමන් පන්සිල් නො රකින කෙනකු නම්, යමකුගේ ඇසුර නිසා තමා පන්සිල් රැකීමට පෙළඹෙනවා නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට පුළුවන්.
    තමා ශීල සම්පත්තියෙහි පිහිටුවන්නට හැකි කෙනෙක්, තමාගේ ශීල සම්පත්තිය පිරිහෙන්නට සළස්වන්නේ නැති කෙනෙක්, තමන්ගේ ශීල සම්පත්තිය දියුණු කරගන්නට උපකාර වනන කෙනෙක් තමයි කල්‍යාණ මිත්‍රයා.
    ඊ ළඟට බුදු රජාණන් වහන්සේ දක්වනවා, ත්‍යාග සම්පත්තිය පරිත්‍යාගශීලී භාවය, යමකු ඇසුරු කිරීමෙන් තමාගේ පරිත්‍යාගශීලී භාවය දියුණු කර ගැනීමට පුළුවන් නම්, තිබෙන පරිත්‍යාගශීලී භාවය තව දුරටත් පවත්වාගෙන යන්න පුළුවන් නම්, එවැනි කෙනෙක් කල්‍යාණ ඳත්‍රයකු හැටියට හඳුන්වන්නට පුළුවන්.
    මෙහි අනෙක් පැත්ත, එනම් තමාගේ පරිත්‍යාගශීලී භාවය යම් කෙනකු ඇසුරු කිරීම නිසා නැතිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු වශයෙන් ගණන් ගන්නට බැහැ.
    ඊළඟට යම් කෙනකු ඇසුරු කිරීමෙන් තමාගේ ප්‍රඥාව දියුණු වෙනවා නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු වශයෙන් සළකන්නට ඕනෑ.
    ප්‍රඥාව යනුවෙන් හඳුන්වන්නේ බාහිර විෂයයන් සම්බන්ධ දැනුම නො වෙයි. බාහිර විෂයයන් සම්බන්ධ දැනුම ඇති අය ලෝකයේ අනන්තවත් සිටිනවා. ඒ අය නො වෙයි මෙතන කල්‍යාණ මිත්‍රයන් ලෙස සළකන විට ප්‍රඥා සම්පත්තියෙහි ලා ගැනෙන්නේ. මෙහි ප්‍රඥා සම්පත්තිය කිඩන්නේ , සංස්කාර ලෝකයේ යථාා තත්ත්වය තමාට පෙන්වා දෙන කෙනෙක් සිටිනවා නම්, “මේ සියල්ල අනිත්‍ය යි, දුක යි, අනාත්ම යි, මේවා මම හෝ මගේ නො වෙයි. සත්ත්වයෙක් නො වෙයි.


    පුද්ගලයෙක් නො වෙයි. මේ සංසාරයේ රැඳී සිටින එක මහා දුකක්, මේවා හේතු ඵල මිස වෙනත් දෙයක් නො වෙයි, මේ සියල්ල සංස්කාර ධර්ම” ආදී වශයෙන් නිවන් යෑමට, සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව, ය මමකු ඇසුරු කිරීමෙන් ඇති වෙනවා නම්, තමා ළඟ තිබෙන ප්‍රඥාව තව තවත් වැඩිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට කියා බුදු රජාණන් වන්සේ දේශනා කර තිබෙනවා.
    යමකු ඇසුරු කිරීමෙන් තමා තුළ තිබෙන ශ්‍රද්ධාව වැඩිවෙනවා නම් , ඔහු කල්‍යාණ මිත්‍රයෙක්. එසේම යමකු ඇසුරු කිරීමෙන් තමා තුළ තිබෙන ශ්‍රද්ධාව නැතිවෙනවා නම් ඔහු කල්‍යාණ මිත්‍රයකු නො වෙයි.
    කෙටියෙන් කියතොත් තමාට සංසාර දුකින් මිදී නිවන් දැකීමට, පරලොව යහපතට, තමාගේ ගුණ ධර්ම දියුණු කර ගැනීමට, අත හිත දෙන කෙනෙක් සිටිනවා නම් ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සැළකිය යුතු යි.
    අප අනෙක් අය ඇසුරු නො කළ යුතු යැයි මෙයින් අදහස් කරන්නේ නැහැ. අද සිටින බොහෝ අය කල්‍යාණ මිත්‍ර ගණයට ඇතුළු කරන්නට බැහැ. ඒ අය ඇසුරු කළා කමක් නැහැ. අතේ දුරින් තබා ගෙන. ඒ අයගේ නරක ගතිගුණවලට ඇබ්බැහි නො වී ඔවුන් ඇසුරු කිරීමේ වරදක් නැහැ. ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය නිසා, සමාජයෙන් කොන් වන නිසා, ඔවුන් ඇසුරු කළත් ඒ අය කල්‍යාණ මිත්‍රයන් වශයෙන් කිසිසේත් සළකන්නට බැහැ. බොහෝ දෛනෙක් සිතන්නේ මෙවැනි වැරදි දේ වලට තමා පොළඹවන අය කල්‍යාණ මිත්‍රයන් කියල යි. මේ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ඉතාමත් අවශ්‍ය යි, සංසාර දුකින් මිදීමට. එවැනි කෙනෙක් පමණ යි. මේ සංසාරයේ භයානකකම පෙන්වා දෙන්නේ.
    2.සද්ධම්ම සවණං - සද්ධර්මය ශවණය කිරීම.
    මේ අය කල්පනා කරන්නට පුළුවන්, අද සද්ධර්මය අසන්නට ඕනෑ තරම් තැන් තිබෙනවා. අවස්ථා තිබෙනවා කියා. ගුවන් විදුලියෙන් බණ කියනවා. රූපවාහිනියෙන් බණ කියනවා. ලංකාවේ තරම් බණ අසන්නට ලැබෙන රටක් ලෝකයේ තවත් තිබෙනවා ද කියා සිතන්නට බැරි තරම්. මේ විවිධාකාර ධර්ම දේශනා ඇසීම නො වෙයි මෙහි දී අදහස් කරන්නේ.
    අද අපට අසන්නට ලැබෙන සමහර ධර්ම දේශනා ලෞකික පැත්තට නැඹුරු වූ ඒවා. සංසාර ගමන දිග්ගැස්සීමට හේතු වන ධර්ම දේශනා බොහෝ විට ඇසෙනවා. සමහර විට තමා තුළ නො තිබූ තණ්හාව, ආශාව, දියුණු වන, වෛරය, ක්‍රෝධය දියුණු වන ඒවා තමයි අසන්නට ලැබෙන්නේ. නැති නම් තමා මුළාවට පත් කරන දේශනා, වැරදි දේශනා ඉදිරිපත් කරනවා. ධර්ම ශ්‍රවණය යනුවෙන් අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් “සද්ධම්ම සවණං” යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ, අන් කිසිවක් නො වෙයි, නිවන් යෑමට අවශ්‍ය වන ආකාරයේ, සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ආකාරයේ ධර්ම දේශනා.
    බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා .”තථාගත භාසිතා, ගම්භීරා, ගම්භීරත්ථා, ලෝකුත්තරා, නිබ්බාණ පටිසංයුත්තා, සූඤ්ඤත පටිසංයුත්තා” කියන වචන.
    “තථාගත භාසිතා” :- බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කරන ලද දේ.
    “ගම්භීරා “ :- ගැඹුරු දේ.
    “ගම්භීරත්ථා” :- ගැඹුරු අර්ථ ඇති දේ.
    “නිබ්බාණ පටිසංයුත්තා” :- නිර්වාණය විදහා දක්වන, නිර්වාණය මතුකර දක්වන දේශනා.
    “සුඤ්ඤත පටිසංයුත්තා :- හිතේ ශූ®න්‍ය භාවය, හිස් භාවය, ඇති කර දීමට හේතු වන දේශනා.
    මෙවැනි නිවන් යෑමට අවශ්‍ය වන ආකාරයේ දේශනා තිබෙනවා. එ නම් පංචස්කන්ධය පිළිබඳ දේශනා, රූප, වේදනා, සංඛාර, විඤ්ඤාණ යන මේවා ඇති වීමේ හේතු,, නැති වීමේ හේතු , මේවා අනිත්‍ය බව දුක් බව, අනාත්ම බව දක්වන දේශනා.
    ආයතන ගැන කථා කරනවා නම් චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන යන ආයතන. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යනන හයට යි, මේ ආයතන යන වචනය එකතු කර චක්ඛායතනය ආදී වශයෙන් ඉදිරිපත් කළේ. මේ ආයතනයන්ගේ ස්වරූපය, මේ ආයතන හුදු අනාත්ම ධර්ම බව, මේවා හේතුන්ගෙන් හටගත් සංස්කාර ධධර්ම බව, මේවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව, ආදී කරුණු දැක්වෙන දේශනා.
    නැති නම් ධාතු වශයෙන්, තමන්ගේ රූපය ගත්තොත්, “මේවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු, මේ විඤ්ඤාණ ධාතුව, මේ ආකාස ධාතුව, ධාතු හැර සත්වයෝ නො වෙයි. පුද්ගලයෝ නො වෙයි. ආත්ම නො වෙයි. ධාතු කියන්නේ යම් කිසි ක්‍රියා මාත්‍ර පමණ යි. ඇතිවෙමින්, නැතිවෙමින්, යන ක්‍රියා දාම. මේවා තමයි සත්වයෝ, පුද්ගලයෝ කියා අල්ලන්නේ. ලෝක සත්වයා මුලා වෙලා පැටලිලා සිටින්නේ” ආදී වශයෙන් ධාතු සම්බන්ධයෙන් නිර්වාණයට යොමු කරමින් කරන දේශනා.
    එසේ නැති නම් ස්කන්ධ , ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද දේශනා පටිච්ච සමුප්පාද කියන්නෙ. හේතුන්ගෙන් හටගත් ධර්ම විදහා දක්වන දේශනා මේවා “මේ මේ හේතුන් නිසා හටගත් මේ මේ ඵල ධර්ම” යනුවෙන් දක්වන දේශනා.
    “අපේ ශරීරය - රූපය ගත්තත්, හේතූන් නිසා හට ගත් ඵල විනා අන් කිසිවක් නො වෙයි. සිත ගත්තත් යම් යම් හේතූ®න් නිසා හටගත් ඵළ ධර්මයක්” ඒ වාගේ ලෝකයේ තිබෙන පටිච්ච සමුප්පාද ධර්මයන්, හේතූ®න් නිසා හටගත් ඵල ධර්මයන් විදහා දක්වන දේශනා.

    විශේෂයෙන්ම සංසාරය දිගින් දිගට යන ආකාරය දක්වන පටිච්ච සමුප්පාද චක්‍රයක් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ සමගම එහි අනෙක් පැත්ත - සංසාර චක්‍රය නතර කරන ආකාරයත් දක්වා තිබෙනවා.
    “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං....” ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පාදය විදහා දක්වන දේශනා.
    අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දක්වන දේශනා.
    විදර්ශනා ඥාන මතු කර දක්වන දේශනා.
    කලකිරීම ඇති කරවන දේශනා - නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, වූපසමාය යන වචන බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
    නිබ්බිදාව කියන්නේ සංසාරයෙ තිබෙන සියලු ම සංස්කාර කෙරෙහි ඇලීම නැති කරන දේශනා.
    නිරෝධාය - සංස්කාර ධර්මයන් නිරුද්ධ කිරීමට හේතු වන දේශනා.
    මේ ආදී වශයෙන් නිවන් යෑමට හේතු වන ධර්ම දේශනා ඇසිය යුතු වනවා. සෝවාන් වීමට බලාපොරොත්තු වන අය. මෙවැනි දේශනා අසන්නට ලැබෙන්නේ කලාතුරකින්, ඒ නිසා කොහේ හෝ තිබෙන තැනකට ගොස් මෙවැනි ධර්ම දේශනා අසන්නට පුරුදු විය යුතු යි. නැති නම් මේ පිළිබඳව ලියැවුණු පොත පත කියවා හෝ දන්නා අය සමග සාකච්ඡා කර හෝ කරුණු අවබෝධ කර ගත යුතුයි. ධර්මය පිළිබඳව යම් කිසි කරුණු ටිකක් අවබෝධ කර ගන්නකොට, ඒ අවබෝධය තමාට නිවන් ලැබීමට ඈතින් සිට උපකාර වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සිතමු.
    තමා ගේ ඇඟ හා සිත ගත්තාම “මේවා පංචස්කන්ධ ධර්ම, අනිත්‍ය දුක්ඛ අනාත්මයට බඳුන් වන ධර්ම,, මේවා හේතුඵල ධර්ම, මේවා ගැහැණියක් පිරිමියෙක් කියා ගන්නට බැහැ. කිසිම සත්වයෙක් නැහැ” කියා යම් කිසි දේශනාවක් කරුණු සහිතව ඉතා මැනවින් ඔප්පු කර පෙන්නුවා ය කියා. මෙය ඇසුවාට පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමාටම අවබෝධ වන්නට ඕනෑ. “මේක මෙහෙමම යි, වෙන ආකාරයක් නො වෙයි” කියා. “මේවා අනිත්‍ය යි, කිසි සේත් නිත්‍ය නො වෙයි “ කියා තමාට අවබෝධ වන්නට ඕනෑ. “මේවා පවතින තාක් දුක්, සැපක් කියා හිතුවාට කවදාවත් සැපක් නො වෙයි. “ ඒ වාගේම “මේවා අනාත්ම යි - කිසිසේත්ම ආත්ම නො වෙයි” කියා තමාටම අවබෝධ වන්නට ඕනෑ. මේ අවබෝධය ලබා ගැනීමට අර විධියට සද්ධර්මය ශ්‍රවණය කර තිබීම ඉතාම ප්‍රයෝජනවත්.
    එසේ නැති කෙනකුට මේවා එක පාරටම තමාගේම ඥානයෙන් සොයා ගන්නට බැහැ. පසේ බුදු කෙනකුට පුළුවන්. සම්මා සම්බුදු කෙනකුට පුළුවන්. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා, ඒවා භාවිතා කරලා, ඒවායින් අත්දැකීම් ලැබූ යම් කිසි ශ්‍රාවකයකුගෙන් අනෙක් අයට ඒ ගැන දැන ගන්නට පුළුවන්. ඒ හැර කිසිම දෙවියකුගෙන් හෝ බ්‍රහ්මයකුගෙන් හෝ වෙනත් කිසි ම සත්වනයකුනගෙන් දැන ගන්නට බැහැ. ඒ නිවැරැදි ආකාරයේ ධර්ම ශ්‍රවණය ඉතාම අවශ්‍ය වෙනවා සංසාර විමුක්තිය සඳහා. විශේෂයෙන්ම සෝවාන් වීම සඳහා එපමණක් නො වෙයි. සකෘදාගාමි, අනාගාමි හා අර්හත් වීමටත් මේවා අවශ්‍ය යි. පසසේ බුදු වීමටත් අවශ්‍ය යි. සම්මා සම්බුදු වීමටත් අවශ්‍ය යි. එහෙත් පහළම මට්ටමින් කථා කරන විට මේවාට සෝතාපත්ති අංග යැයි කියනවා.
    ධර්ම ශ්‍රවණය කරන විට පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම ඒ ධර්මය කනින් නොව හදවතින් අසන්නට පුරුදු වන්නට ඕනෑ. මෙය තායිලන්තයේ හාමුදරු නමක් කී කථාවක්. එය සත්‍ය කථාවක්. එයින් අදහස් කරන්නේ, හදවතින් දැක දැක ධර්මය ඇසීම යි. කනින් අසනකොට මේ කනින් අසනවා අනෙක් කනින් අසනවා. අනෙක් කනින් ඉවතට යනවා එපමණ යි. අප අදහස් කරන්නේ කියන දේ ඒ ආකාරයෙන් දකිමින්, අවබෝධ කර ගනිමින් අසන එක යි. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කර බොහෝ දෙනෙක් නිවන් ලැබුවා. දැන් කාලයේ මොන තරම් ධර්ම දේශනා ඇසුවත්, ධර්ම ශ්‍රවණය කරද්දී නිවන් දුටු කෙනකු ඔබ අසා තිබෙනවා ද ? මා නම් දන්නවා. 15 - 20 ක් පමණ දෙනා මේ කාලයේ ධර්ම ශ්‍රවණය කරද්දී සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ අවස්ථා. එසේ වන්නේ කරුණු දෙකක් මත.



     
    • Like
    Reactions: jolySira

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    01. ධර්ම දේශනා කරන තැනැත්තා විසින් කරනු ලබන ධර්ම දේශනාව තුළ, අසන්නාගේ සිත ක්‍රමයෙන් දියුණු වී ගොස් (ඔහු බලාපොරොත්තු වන්නේ සෝවාන් වීමට නම්) සෝණාන් වන මට්ටමට සිතේ ප්‍රඥාව, සමාධිය ආදී ගුණධර්ම දියුණු වී, සංස්කාර අතහරින්නට පුළුවන් වන ආකාරයට යොමු කිරීමක් තිබෙන්නට ඕනෑ. එසේ නැති නම් කොයිතරම් ධර්මය ඇසුවත්, නිවන් ලබන්නට බැහැ. නිවන් ලැබීමට අවශ්‍ය නම් නිබ්බාණ පටිසංයුක්ත, සුඤ්ඤත පටිසංයුක්ත දේශනා, එනම් නිර්වාණය හා සම්බන්ධ ශූන්‍යතාවය විදහා දක්වන දේශනා ඉදිරිපත් විය යුතු යි.
    ඒවා අසා එක් වරටම නිවන් යෑමට ශක්තිය නැති නිසා මුල පටන් ධර්ම කරුණු අවබෝධ කරගෙන, තමාගේ භාවනාව ටිකෙන් ටික දියුණු කරගෙන සිටින කෙනකුට එවැනි ධර්ම දේශනාවක් ඉදිරිපත් කළාට පසුව පහසුවෙන් නිවන් යන්නට පුළුවන්. එදා බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ඒ ආකාරයේ ධර්ම දේශනා ශ්‍රවණය කරන විට බොහෝ දෙනෙක් නිවන් ගියේ. බුදුරජාණන් වහන්සේ කෙළින්ම නිවනට යොමු වන ආකාරයෙන්, කෙනකුට නිවන් අවබෝධ කර ගත හැකි ආකාරයෙන්, ඒ ධර්ම දේශනා ඉදිරිපත් කළ නිසයි. පොත්පත්වල තිබෙන්නේ බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාතෘකා පාඨ ටික පමණ යි.
    අපි හිතමු ධම්මපදයේ ගාථාවක් ගැන. ඒ ගාථාව පමණයි ධම්මපදයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පැය ගණනක් එය විස්තර කළා. ධම්ම චක්ක පවත්වන සූත්‍රය රෑ එළිවන තුරු විස්තර කළ සූත්‍රයක්. නමුත් ඒක අපට විනාඩි 5 කින් සජ්ඣායනය කරන්නට පුළුවන්. දීර්ඝ වශයෙන් විස්තර කළ දේශනාවලට කියන්නෙ, සාමුක්කංසික දේශනා කියලා. මේ සාමුක්කංසික දේශනා අන්තර්ගත වන්නේ නැහැ ඔය ධර්ම පොත්වල. බුදු රජාණන් වහන්සේ ඒ සඳහා යොදා ගත් පාඨ පමණයි, සූත්‍ර ආදී පොත්පත්වල තිබෙන්නේ. එම නිසා එදා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නට, පොතපතින් ධර්මය කියැවූ අයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තමා ප්‍රායෝගික අත්දැකීමක් ලබා තිබෙනවා නම්, ඒ ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන, පාදක කරගෙන යම් කිසි කෙනෙක් ධර්මය ඉදිරිපත් කරනවා නම්, එවැනි කෙනකුට පමණයි නිවනට සිත යොමු කරන ආකාරයෙන් ධර්ම දේශනා ඉදිරිපත් කරන්නට ශක්තිය ඇත්තේ. එ වැනි ධර්ම දේශනා වර්තමානයේ අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.
    02. දෙවන කරුණ නම් ධර්ම දේශනා කරන විට අසන්නා හදවතින් ධර්මය නො ඇසීම. කනින් අහගෙන ඉන්නවා. තමා ඒ කියන දේ අත්දකිමින්, හදවත් තුළින් දකිමින් අසන්නේ නැහැ. මේ අඩුපාඩු දෙකම සමහර විට තිබෙනවා. කියන කෙනාත් වැරදි යි. අසන කෙනාත් වැරදියි. එතකොට කෙසේවත් ධර්ම ශ්‍රවණයෙන් නිවන් ලබන්නට බැහැ. කෙසේ වෙතත් ධර්ම ශ්‍රවණය නිවන් ලැබීමට අත්‍යවශ්‍යම වෙනවා. එයින් අප නොදත් දේ ඉගෙන ගන්නට පුළුවන්. සංසාරය කෙරෙහි කලකිරෙන්නට පුළුවන්. සංසාර සාගරයෙන් ඈත්වීමට අවශ්‍ය විරාගය ආදී ධර්මතාවයන් සිත තුළ ඇති කර ගන්නට පුළුවන්. මේ දුක්ඛ සත්‍යය, මේ සමුදය සත්‍යය, මේ නිරෝධ සත්‍යය, මේ මාර්ග සත්‍යය ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලි වශයෙන් දැන ගන්නට පුළුවන්. මේ ආදී විශිෂ්ට ආනිශංස ලැබෙනවා නිවැරදි ධර්ම ශ්‍රවණයෙන්. ඒ නිසා නිවැරැදි ආකාරයේ ධර්ම ශ්‍ර‍්‍රවණය කරන්නට පුරුදු වන්නට ඕනෑ. ඉන් අදහස් කරන්නේ නිරන්තරයෙන් රූපවාහිනීවල, රේඩියෝවල, පන්සල්වල ඇසෙන ධර්ම දේශනා නො වෙයි.
    දැන් අප සෝවාන් වීමට අවශ්‍ය කරුණු 2 ක් දේශනා කර තිබෙනවා.
    1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
    2. සද්ධර්ම ශ්‍රවණය
    ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවා. යෝනිසෝමනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති කියලා. යෝනිසෝ මනසිකාරෝ කියන්නේ, නුවණින් ;මනෙහි කිරීම, ධම්මානු ධම්ම පටිපත්ති කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කිරීම.
    යෝනිසෝමනසිකාරෝ කියන කාරණය පසුව විස්තර කරන්නම්. ධම්මානු ධම්ම පටිපත්ති කියන කාරණය දැන් ඉදිරිපත් කරනවා.
    3. ධම්මානු ධම්ම පටිපත්ති
    ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කියන්නේ නිවන් යෑමට අවශ්‍ය වූ නිවැරදි මාර්ගයක් අනුගමනය කිරීම යි. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ඒ මාර්ගය. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ කියා බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒසෝව මග්ගෝ - ඒකමයි මාර්ගය, නත්ථඤ්ඤෝ වෙන මාර්ගයක් නැහැ නිවන් යන්නට මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණධර්ම අට සමහර විට මේ අය දන්නවා ඇති.
    1. සම්මා දිට්ඨි
    2. සම්මා සංකප්ප
    3. සම්මා වාචා
    4. සම්මා කම්මන්ත
    5. සම්මා ආජීව
    6. සම්මා වායාම
    7. සම්මා සති
    8. සම්මා සමාධි

    මේ අංග අට දියුණු කර ගැනීමෙන් තමයි, කවදා හෝ දවසක සෝවාන් ආදී මාර්ග ඵල ලබා, අපට නිවනින් සැනසෙන්නට පුළුවන් වන්නේ. දන්දීම් ආදී කවර කුශලයක් කළත් මේ අංග අට දියුණු කළේ නැත්නම් කවදාවත් නිවන් ලබන්නට බැහැ. මේවා අහලා දැනුම් සම්භාර ගොඩගහගෙන “මාත් මෙවැනි ධර්ම ඥානයක් අති කෙනෙක්. බෞද්ධාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක වාගීශ්වර වැනි තත්ත්වයකට පත් වුණා” කියන එක නො වෙයි, මෙයින් බලාපොරොත්තු වන්නේ. මේ ධර්මය තමාගේ ජීවිතයට එකතු කර ගැනීමයි.
    දැන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග හඳුනා ගනිමු.
    (සම්මා දිට්ඨිය ගැන පසුව දැක්වේ)

    සම්මා සංකප්ප
    සම්මා සංකප්ප කියන්නේ, යහපත් සංකල්පනා. යහපත් සංකල්පනා කියන්නේ වැරදි සංකල්පනාවලින් ඈත් වූ නිවැරැදි සංකල්පනා ඇති කර ගැනීම යි. මොනවා ද මේ නිවැරදි සංකල්පනා?
    1. නෙක්ඛම්ම සංකල්පනා.
    2. අව්‍යාපාද සංකල්පනා.
    3. අවිහිංසා සංකල්පනා.
    1. නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ. “මේ සංසාර දුකින් මිදෙන්නට ඕනෑ ය, මේක මහා භයානක දෙයක් ය, නිවන අවබෝධ කර ගන්නට ඕනෑ ය, ලෞකික දේවල පැටලී සිටින එක ඥානවන්තකමක් නො වෙයි.” ආදී වශයෙන් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය ආකාරයේ සිතිවිලි තිබෙන්නට ඕනෑ. සංකල්පනා තිබෙන්නට ඕනෑ. ඒවා නැති නම් නිවන් යෑමට අවශ්‍ය කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පනා තිබෙන්නට ඕනෑ.
    2. අව්‍යාපාද සංකල්පනා කියන්නේ, නරක නො වන සිතිවිලි. දවසකට අඩු වශයෙන් විනාඩි 5 ක් වත් මෛත්‍රී සහගත සිතිවිලි ඇති කර ගන්න. “මම නිදුක් වෙම්වා! නිරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! එසේ ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!” කියලා අඩු වශයෙන් ටිකක් හෝ මෛත්‍රී සහගත සිතිවිලි ඇති කර ගන්න. එදිනෙදා ජීවිතයේ තරහ සිතිවිලි එනකොටම “තරහ සිතක්, තරහ සිතක්” කියලා ඒ තරහ සිත් අඩු කර ගන්නට උත්සාහ ගන්න. හැකි තරම් අව්‍යාපාද සංකල්පනා දියුණු විය යුතු යි.
    3. අවිහිංසා සංකල්පනා කියන්නේ හිංසා සහගත සිතිවිලි නැතිව, කරුණා සහගත සිතිවිලි තමාගේ සිත තුළ තිබීම. නිවන් යෑමට මේ තත්ත්වය ඇතිකර ගැනීම අවශ්‍ය යි.

    සම්මා වාචා
    සම්මා වාචා කියන්නේ යහපත් වචන. අප නිරන්තරයෙන් බොරු කියනවා නම්, කේලාම් කියනවා නම්, පරුෂ වචන කියනවා නම්, සම්ප්‍රපලාප – හිස් වචන - දොඩවනවා නම්, එය සම්මා වාචාවක් නොවෙයි. සම්මා වාචා කියන්නේ ඒවායින් වැලකීම. බොරු කීමෙන් වලකින්න. කේලාම් කීමෙන් වලකින්න. පරුෂ වචන කීමෙන් වළකින්න. හිස් වචන කථා කර කර තමාගේ කාලයත්, අනුන්ගේ කාලයත් කා දැමීමෙන් වළකින්න. එතකොට සම්මා වාචා දියුණු වෙනවා.

    සම්මා කම්මන්ත
    සම්මා කම්මන්ත කියන්නේ, හොඳ කර්මාන්ත කියා බොහෝ දෙනෙක් හිතනවා. හොඳ කර්මාන්ත නො වෙයි, එයින් අදහස් කරන්නේ, කයින් කරන වැරදිවලින් ඈත්වීම, සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, රහ මෙර පානය ආදිය යි කයින් කරන වැරදි. මේ කයින් කරන වැරදිවලින් ඈත් වන්නට ඕනෑ නිවන් යෑමට බලාපොරොත්තු වන අය.

    සම්මා ආජීව
    යහපත් දිවි පැවැත්මක් තිබීම. නිවැරදි ආකාරයෙන් තමාගේ ජීවනෝපාය සලසා ගන්නට ඕනෑ. “මොනවා කරලා හරි කමක් නෑ, ජීවත් වන්නට ඕනෑ” කියලා වැරදි ආකාරයෙන් ජීවත් වීමෙන් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ, එසේ අවුරුදු 100 ක් ජීවත් වනවාට වඩා, එක දවසක් ධාර්මික ව ජීවත්වීම උතුම් කියල යි.

    සම්මා වායාම
    සම්මා වායාම යන්නෙන් අදහස් කරන්නේ යහපත් උත්සාහය. යහපත් උත්සාහය කියන්නේ, මේ දක්වා තමාගේ සිත තුළ ඇති කරගෙන නැති, කුසල ධර්ම ඇති කරගැනීමට උත්සාහ ගැනීම යි. එසේම තමා ඇති කරගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගැනීමට උත්සාහ ගැනීම යි.
    මේ දක්වා ඇති කර නොගත් කුශල ධර්ම අනන්තවත් තිබෙනවා. මේ අයගේ සිත් තුළ සතිය, සමාධිය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ධර්ම ඥානයන්, පළමුවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල, විදර්ශනා ඥාන, ආදී විවිධ කුසළ ධර්ම ඇති වී නැත්නම්, ඒවා ඇති කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනෑ. ඇති වී තිබෙන ගුණ ධර්ම පිරිහෙන්නට නො දී තව තවත් දියුණු කරන්නට කටයුතු කරන්නට ඕනෑ. ඒ කුශල පැත්තෙන්. ඒ වාගේම අකුශල පැත්තෙනුත් දෙකක් තිබෙනවා. තමාගේ සිත තුළ ඇති වී තිබෙන අකුශල කර්ම නැති කරගන්නට උත්සාහ ගත යුතුයි. මේ දක්වා ඇති නො වූ අකුශල ධර්ම කවදාවත් ජීවිතය පුරාම ඇති කර නො ගෙන සිටීමට උත්සාහ ගත යුතු යි.

    සම්මා සති
    යහපත් සිහිය. බොහෝ දෙනෙක් මේ සිහියෙන් තොරව කටයුතු කිරීම නිසායි, විවිධාකාර කරදරවලට පත් වන්නේ. ඒ නිසා සිහියෙන් යුතුව කටයුතු කරනවා නම්, සම්මා සතියෙන් යුතුව කටයුතු කරන්නට ටික ටික හෝ පුරුදු වෙනවා නම්, එය නිවන් මග ගමන් කිරීමක් වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්මයක් දියුණු කර ගැනීමක් වෙනවා. ඒ නිසා දවසකට විනාඩි 5 – 10 ක් වත්, කරන හැම වැඩක්ම සිහියෙන් යුතුව කරන්නට පුරුදු වන්න. මේ සඳහා ඉතාමත් හොඳයි, සතියෙන් යුතුව වැඩ කරන භාවනා මධ්‍යස්ථානයක අඩු වශයෙන් සතියක් දෙකක්වත් ඉන්නට පුළුවන් නම්. එයින් තමාට ආභාෂයක් ලැබෙනවා. ඒ ආභාෂය අනුව මුළු ජීවිතයේම තමාට හැකි අවස්ථාවකදී මේ සම්මා සතිය දියුණු කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා.

    සම්මා සමාධි
    සිතේ එකඟ භාවයක් තිබීම, සිත විසිරෙනවා නම් නොයෙක් අරමුණු කරා දිවෙනවා නම්, තමාට එකම අරමුණක සිත පවත්වා ගන්නට බැරි නම්, කවදාවත් ඔහුට නිවන් යන්නට බැහැ. ’නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ” කියා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. “හිතේ එකඟ භාවයක් නැති කෙනාට ප්‍රඥාවක් එන්නේ නැහැ.
    උත්පත්තියෙන් ප්‍රඥාව නැති කෙනාට සිතේ එකඟතාවක් ලබා ගන්නට බැහැ” කියන එක යි ඒ පාඨයේ අදහස. තරමක් දුරට හෝ සිතේ එකඟ භාවය ඇති කර ගැනීම සඳහා දවසකට විනාඩි 15 – 20 ක් වත් භාවනා කරන්නට පුරුදු වන්න. දවසකට පැය 24 ක් තිබෙනවා. දවල් කාලයට 12 යි. රාත්‍රි කාලයට 12 යි. අප මේ රාත්‍රි පැය 12 න් කොයිතරම් නින්දට වැය කරනවා ද කියා කල්පනා කරන්න. රූපවාහිනිය ළඟ කොයිතරම් කාලයක් වැය කරනවා ද කියා බලන්න. මේ පැය විසි හතර විනාඩි 60 න් වැඩි කළොත්, විනාඩි 1444 ක්. දවසේ විනාඩි 1440 න් 1400 ක් ම තමන්ගේ සංසාරය දිග්ගැස්සෙන, සසර දුක් ඇති කරන, දුක්ඛ සමුදාය සඳහා යෙදෙව්වත්, අඩු වශයෙන් මේ නිවන් සඳහා විනාඩි 30 – 40ක් වත් යොදවන්නට බැහැ කියනවා නම්, එයින් අදහස් කරන්නේ ඇත්ත වශයෙන් ම තමාට අවශ්‍යකමක් නැති කම, ඒ නිසා දවසකට විනාඩි 15 – 20 වැනි සුළු කාලයක්වත් භාවනා කරන්නට පුරුදු වන්නට ඕනෑ. මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව හෝ තමාට සුදුසු භාවනාවක්, සුදුසු කෙනකුගෙන් උපදෙස් අරගෙන කරන්නට ඕනෑ.

    සම්මා දිට්ඨිය
    සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම. යහපත් දැකීම තමයි, මේ සංස්කාර ලෝකයේ නියම තත්ත්වය නියමාකාරයෙන් අවබෝධ කර ගැනීම. නම්, තමන්ගේ ඇඟ ගත්තත්, සිත ගත්තත්, බාහිර ලෝකයේ අයගේ කයවල් හා සිත් ගත්තත්, ලෝකයේ පණ ඇති නැති හැම දෙයක්ම ගත්තත් “මේ හැම දෙයක්ම අනිත්‍යයට යනවා, වෙනත් ස්වරූපවලට පත් වෙනවා. මේවා තුළින් අනන්ත අප්‍රමාණ දුක් ලබා දෙනවා. මේවා ආත්ම ධර්ම නො වෙයි. අනාත්ම ධර්ම, මේවා ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යය හැර වෙන කිසිවක් නො වෙයි. සංස්කාරයන්ගේ පැවැත්මම තමයි දුක්ඛ සත්‍යය, මේවාට ඇලි ඇලී බැඳි බැඳී සිටීම තමයි දුක්ඛ සමුදය සත්‍යය. මේවා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි” ආදී වශයෙන් තේරුම් ගැනීම යි සම්මා දිට්ඨිය කියන්නේ. චතුරාර්ය සත්‍යය ආදී සම්මා දිට්ඨියට අන්තර්ගත කරුණු රාශියක් තිබෙනවා. එයින් ඉතා සුළු කරුණක් පමණ යි අප මේ ඉදිරිපත් කළේ. මේ විධියට සම්මා දිට්ඨිය තමාගේ සිත තුළ දියුණු වෙන්නට ඕනෑ.
    ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ නො යෙදෙන කෙනකුට නිවන් ලබන්නට බැහැ. ඒ නිසා ධර්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදීම ඉතාම අවශ්‍ය යි. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණධර්ම හොඳින් තේරුම් ගන්නට ඕනෑ. මේවා වැඩීමෙන් තමයි, නිවන් ලැබෙන්නේ. වෙන මාර්ගයක ගමන් කරලා කවදාවත් නිවන් ලැබෙන්නේ නෑ.
    ඉස්සර ගියෙත් මෙහෙමයි. දැන් යන්නෙත් මෙහෙමයි. අනාගතයේ කෙනෙක් නිවන් අවබෝධ කර ගන්නවා නම්, ඒ අවබෝධ කර ගන්නේත් මේ මාර්ගයේ ගමන් කරල යි. වෙනත් කිසිම මාර්ගයක ගමන් කරලා නිවන් ලබන්නට බැහැ. ඒ නිසා මේ අංග දියුණු කර ගත යුතු ම යි, සංසාර දුකින් මිදෙන්නට නම්. “මේ අංග මම දවසින් දවස දියුණු කර ගන්නවා” කියන අධිෂ්ඨානය ඇති කරගෙන ඒ අංග දියුණු කර ගැනීමට උත්සාහ ගන්න.
    04. යෝනිසෝ මනසිකාරෝ
    දැන් අප මේ හතර වෙනුව කියන්නේ, බුදුරජාණන් වහන්සේ තුන් වෙනුව කියූ කාරණාව වන යෝනිසෝ මනසිකාරය යි. නුවණින් මෙනෙහි කිරීම යි. මෙය තමයි නිවන් දකින්නට ඉතාමත් අවශ්‍ය කාරණාව. ඒකයි අප එය අවසානයට ඉදිරිපත් කරන්නේ.
    මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. මෙනෙහි කරනවා කියන්නේ සිත තුල සිතිවිලි පහළ වීම. මෙනෙහි කිරීම් දෙකක් තිබෙනවා. යෝනිසෝ මනසිකාරය – නුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය - නුවණ නැතිව මෝඩකමින් මෙනෙහි කිරීම.
    “තත්ථ කතමෝච භික්ඛවෙ යෝනිසෝ මනසිකාරෝ” කුමක් ද මහණෙනි යෝනිසෝ මනසිකාරය කියන්නේ?
    “අනිච්චේ අනිච්චන්ති, දුක්ඛෙ දුක්ඛන්ති, අනත්තනි අනත්තාති, අසුභේ අසුභන්ති, යෝනිසෝ මනසිකාරෝ, පථ මනසිකාරෝ, සච්චා පටික්කුලේනවා චිත්තස්ස ආවට්ටනා, අන්වාවට්ටනා ආභෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අයං වුච්චති භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ” කියා බුදුරජාණන් වහන්සේ එය විස්තර කළ තැනක් තිබෙනවා විභංග ප්‍රකරණයේ.
    අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් එය යෝනිසෝ මානසිකාරයක්. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් දකිනවා නම් එය යෝනිසෝ මනසිකාරයක් නො වෙයි. මොනවා ද මේ අනිත්‍ය දේ කියන්නේ? තමන්ගේ රූපය අනිත්‍ය යි. තමන්ගේ වේදනාව අනිත්‍ය යි. (තමන්ගේ කියන්නේ සම්මුති වශයෙන්) තමන්ගේ සංඥාව අනිත්‍ය යි. තමන්ගේ සිත තුළ තිබෙන සංස්කාර අනිත්‍ය යි. තමන්ගේ සිතේ පහළවන විඤ්ඤාණය – දැනීම් සියල්ල අනිත්‍ය යි. මේ ලෝකයේ සියලුම සත්වයන් මේ ආකාරයෙන් කොටස් 5 කට බෙදන්නට පුළුවන්. පංචස්කන්ධ වශයෙන් රූප - වේදනා - සංඥා - සංස්කාර – විඥාන කියා. මේ පංචස්කන්ධයක් සහිත ලෝකයේ ඇති සෑම ධර්මයක්ම අනිත්‍ය යි. රූපස්කන්ධය කීවාම පණ ඇති, පණ නැති සියල්ලම ඊට ඇතුළත්.

    දුක්ඛේ දුක්ඛන්ති
    මේක දුකක්. මේ රූපස්කන්ධය පවතින තාක් ලැබෙන්නේ සැපක් නො වෙයි දුකක්ම යි. කවන්නට ඕනෑ. පොවන්නට ඕනෑ. නිදි කරවන්නට ඕනෑ. රැකීරක්ෂා කරන්නට ඕනෑ.
    ඒ කොයිතරම් දේ කළත්, මේ කයින් කිසිම කෙළෙහිගුණයක් ලැබෙන්නේ නෑ. නිරන්තරයෙන්ම දුක් ලබා දෙනවා. ඉඳගෙන ඉන්නත් බෑ දුක්. හිටගෙන ඉන්නත් බෑ දුක්. නිදාගෙන ඉන්නත් බෑ දුක්. සියල්ලම දුක්. මේ දුක් නැති කරන්න එහාට මෙහාට ඇඹරි ඇඹරී, ඉරියව් මාරු කර කර, කෑම බීම දි දී, බේත් හේත් ආදිය ගිල්ල ගිල්ලා, අප මේ ශරීරය නඩත්තු කරනවා. මේකා මහා වධකයෙක්. හරියට තමන් මරන්නට එන වධකයෙක් වගේ. වධකයෙක් නම් ඉතාම හොඳයි. එක සැරයක් ආවා, කෙටුවා මැරුවා.
    මේ ශරීරය එහෙම නො වෙයි. උපන් දවසේ ඉඳලා මේ දක්වා, වධකයෙක් වධ දෙනවා වගේ වධ දෙනවා. සමහර විට ඇස්වලට ගහනවා, ඇස් අන්ධ වෙන්න. අත්වලට ගහනවා අත් කැඩිල බිඳිලා යන්න. කකුල්වලට ගහනවා කකුල් කැඩෙන්න. සමහර විට ගහනවා ඔත්පල වෙලා නැගිටින්න බැරි වෙන්නට.
    සමහර විට අංශභාග වැනි තත්ත්වයන්ට පත් කරලා නැගිටින්නට බැරි වෙන්න ගහනවා. ඔය විධියට වධ දීලා, වධ දීලා මරන්නෙත් නිකම් නො වෙයි. දස දුක්, දස වධ දීලා. මේ පංචස්කන්ධ ලෝකය පවතින එක ඒකාන්ත වශයෙන් දුකක්. දුක්ඛ සත්‍යය කියන්නේ මේක. මේක දුක්ඛ සත්‍යය කියල දන්නේ නැති කම නිසා, ඇලි ඇලී, ගැලි ගැලී ආශා කරලා,
    මේවා බදා ගෙන කටයුතු කරනවා. ඉතින් ඒ පුද්ගලයාට මේක අතහැරීමෙන් ලබන නිවන ලබන්නට කවදාවත් බැහැ. මොකද? දුකක් වූ දුක්ඛ සත්‍යයක් වූ මේ පංචස්කන්ධ ලෝකය සැපක් ය, යහපත් දෙයක් ය, කියා යම්කිසි කෙනෙක් වැරදි විධියට ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, ඔහුට මෙය අත්හරින්නට කිසිසේත්ම කැමැත්තක් රුචියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පංචස්කන්ධ ලෝකය අතහැර නිවන් ලබන්නට නම් එය දුකක් වශයෙන් දකින්නට ඕනෑ. ”දුක්ඛෙ දුක්ඛන්ති යථා භූතං පජානාති” දුක දුකක් වශයෙන්ම, ඇත්ත ඇති සැටියෙන්ම දකින්නට ඕනෑ. එය යොනිසෝමනසිකාරයක්. නුවණින් දැකීමක්.
    වැරදි ආකාරයෙන් දකිනකොට ඕකෙ අනික් පැත්ත. “මේවා සැප යි, සැප ය” කියා හිතනවා නම්, එය යෝනිසෝමනසිකාරය නො වෙයි, අයෝනිසෝමනසිකාරය. මෝඩකමින් කල්පනා කිරීම. සැප වේදනාවක් ලැබූවත් දුකක්. ”සුඛා වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා” කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඔබ සිතන්නට පුළුවන්, “දැන් අපට සැප තිබෙනවා නේද? නොයෙක් ආකාරයේ ස්පර්ශ ලබලා සැප විඳිනවා. රූප දැකලා සැප විඳිනවා. ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ ලබලා, නොයෙක් ආකාරයෙන් සැප විඳිනවා නේද” කියලා. මේක ඒකාන්ත වශයෙන් දුකක් ලෙස දකින්නට කියා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
    ඔය කියන සැප නිකම් ලැබෙන්නේ නැහැ. හොය හොයා යන්නට ඕනෑ. එයට අවශ්‍ය දේ සම්පාදනය කර ගන්නට ඕනෑ. ඒ සැප ලැබූවත් එවෙලේම, එතැනම නැති වී යනවා. ඒ සැපයට ආශා කරපු නිසා සංසාරය පුරා දුකින් දුකටම පත් වෙනවා. සමහර විට ඒ ආශාව නිසා ප්‍රේත ලෝකවලට ඇද වැටිලා කල්පය පුරාම දුක් විඳිනවා. මේ ආකාර සංසාර දුක් විඳ විඳ ආවේ මේ ආශාවන් නිසා. සුඛ වේදනාවට ඇලීම නිසා. මේ පංචස්කන්ධය දුකක් වශයෙන් අවබෝධ නො කළ නිසා මේ ආකාරයෙන් දුක දුකක් වශයෙන්ම දකින්නට ඕනෑ, නිවන් යෑමට බලාපොරොත්තු වන අය.


     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ගොඩක් පිං මේක බෙදාගත්තට. සෑහෙන වටින ලිපියක්.