අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ

තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.
මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.
අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ
ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල
කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා. සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.