අඬලා ආයෙත් ඇඬුව. බොහොම පින් මේවා දාන එකට.
මීට සතියකට දෙකකට පමණ ඉහතදී මට සිදුවූ අත්දැකීමක් හේතුවෙන්, අතීතයේ මතකයෙන් වන වැදී තිබු පාසල් ජීවිතයේ තවත් එක් කථාවක් මා ටික දිනකට පෙර " පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)" යන මාතෘකාව යටතේ පලකලා. එයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබු අතර මොහොතකට පෙර මා දුටුවා එක් සහෞර්දයෙක් කොමෙන්ටුවක් දමා අසා තිබෙනවා "බස් ජැක්" ගැනත් යමක් පල කරන ලෙස. මෙය දුටු මතින් මා සිතට පැමිණියේ මා පාසල් ගිය ආදරණීය බස් රියයි. "බස් ජැක්" යනුවෙන් හදුන්වන දෙය අතිශ්‍ය පිළිකුලෙන් හෙළා දකින නමුත්, ඒ ප්රශ්නය නැගු සොයුරාට සාධාරණයක් කරන්නේ කෙසේදැයි සිතමින් සිටින මොහොතේදී මට Elakiri පවුලේ මා බොහෝ ගරු කරන තවත් එක් සොදුරු මිනිසෙකු වූ දත් කිබුලානන් සිහිපත් වෙනවා. මගේ සිතට එන සිතිවිල්ල ඔහුගේ මෙම "හද විල කළඹන ගි ජල රේඛා" හූයට සම්බන්ද කළහොත් එය මේ සොදුරු මිනිසා දිරිමත් කිරීමක් නොවන්නේද...?
ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ ජීවිතේ මතක් කරලා දෙන්න.. කාටද ඉතින් තමන්ගේ පාසල් ජීවිතෙ අමතක වෙන්නේ.. ? මොකද ඒ කාලය තමා අපේ ජීවිතවල තියන සුන්දරම කාලය.. කොයි කාගෙන් ඇහුවත් ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා, හැමෝම කියන්නේ ඒ ඉස්කෝලේ කාලේ කියලයි. ඉතින් මටත් ඒක එහෙමයි! ඉස්කෝලේ කාලේ කියන්නේ එකම රස ගුලාවක්. ගුරුවරු පන්තියට ඇවිල්ලා උගන්නපු එක විතරයි ටිකක් අවුලකට තිබුනේ. නමුත් ඉස්කෝලේ අනිත් හැමදේම අදටත් හරි ආශ්වාදජනකයි. ඒ නිසා මම හිතන්නේ නෑ කාටවත්ම තමන්ගේ පාසල් ජීවිතය අමතකවෙලා යයි කියලා.. අපි හැමෝමලාට පාසල් ජීවිතයක් කියලා එකක් තියනවා, එහෙම නැත්තම් තිබිලා තියනවානේ..ඉතින් ඒ කාලේ අයෙමත් එන්නේ නැතියි කියලා හිතෙනකොටත් මාර දුකක් නේද හිතෙන්නේ.?
ඇත්තටම කියනවා නම් පාසල් ජීවිතයයි පාසල් බස් එකයි කියන්නේ එකට බැදිච්ච දෙයක්. "8716" එහෙමත් නැත්නම් අපේ ස්කූල් බස් එක, නැත්නම් එදාට කෑවේ නැහැ වගේ තමයි. මගේ අවුරුදු 13ක ඒ පාසල් ජීවිතයෙන් අවුරුදු 10ක්ම ගීයේ මේ එකම බස් එකේ. අපිටම හරියන රියදුරු මාමෙක් තමයි අපිට හිටියේ. වෙන ටර්න් දිවුවේ නැතත් ස්කූල් ටයිම් එකට බස් එක ස්ටෑන්ඩ් එකේ ඇති.
![]()
![]()
හැබැයි කවදාවත් බස් ජැක් සීන් නම් අපි අතර තිබුනේ නැහැ. අක්කලා, අයියලා, නංගිලා සහ මල්ලිලා ඔක්කොම එකා වගේ. හැබැයි එක දෙයක්...![]()
අපි පොඩි එවුන් කාලේ (කොට කලිසන් අදින සන්දියේ) අක්කලා නම් හරිම කැමතියි අපිව සීට් අස්සට ගන්න. අපි/මම ඉතින් ටියුබ් ලයිට් නේ ඔය කාලේ. ලොකු අයියලා නම් ඉතින් ඔය සීට් එක අස්සට යනකොට මොනවද..මොනවද කිවුව, ඒ කියන දේවල් වල මොකක්දෝ කුණුහරුප තේරුමක් තිබුනත් ඉතින් අපි/මම හරිම ආසයි අක්කලාගේ සීට් අස්සට රිංගන්න. ඔය අතරේදී දෙගොල්ලන්ගේ කකුල් ස්පර්ශ වෙනකොට මොකක්දෝ විදුලියක් වගේ දෙයක් යට භාගයේ ඉදන් ඔලුවටම යනවා කියලා තේරෙනවා වගේම අවංකවම ඒ ස්පර්ශ සංවේදනය විදින්න නේද ඒ තැනට හැමදාම ගියේ කියලාත් හිතෙනවා. කුමක්දැයි හරියට නොතේරුණත් මනස කිචිකවූ ඒ හැගීම මොකක්ද කියන කරුණු කාරනා හරියටම තේරුනේ දිග කලිසන් අදින කාලේ තමයි. එතකොට අක්කලා අපිව සීට් අස්සට අරගෙන හුරතල් කථා කියන කාලේ පහුවෙලා. අපි එදා ඒ ලබපු අහිංසක රස (කාම) සංවේදනය හා අද වර්තමාන සමාජයේ පුංච් මල්ලි කෙනෙක් මුලින්ම මේ සංවේදනය ලබන්නා වූ ආකාරය අහසට පොලව මෙන් පරතරයක් තියනවා නේද? ඒ ගැන ලියන්න ඇත්තටම ආසයි. හිතට අදහස් ගලාගෙන ආවත් ඒ දේවල් ලිවීම මදකට නවතා වෙනත් කරුණක් මෙහි සටහන් තබමි.
අපිට ඒ කාලේ තිබුනේ එකම එක ප්රශ්නයයි. ඒ තමයි සිංහල - දෙමල ප්රශ්නය. වලි ලෝකයක් තමයි. වැඩේ කියන්නේ අපේ ඩ්‍රයිවර් මාමා අපිට ෆුල් සපෝර්ට්. එහෙම කියලා කවදාවත් ද්‍රවිඩ ජාතික ළමයෙක් හලලා නම් යන්නේ නැහැ. හරියටම කියනවා නම් ඒක එක්තරා විදිහක ජාතිවාදී යුද්ධයක් උනා. පස්සේ මේ අපේ බස් එකේ ගැටුම සව්ම්යමූර්ති තොන්ඩමන් අමාත්‍ය තුමා දක්වාම ගියා. අන්තිමට ඩිපෝ කළමනාකාර තුමා මේකට මැදිහත් වෙලා සාම සාකච්චා වට කිහිපයකින් පස්සේ ෆෙඩරල් විසදුමක් (වචනේ හරිද මන්ද) දුන්නා. විසදුම උනේ බස් එක දෙකට බෙදීම.
- බසයේ ඉදිරිපස දොර අසල සිට පසුපස රෝදය උඩ ආසනයට වහාම ඇති ඉදිරිපස අසුන දක්වා දමිල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට.
- පසුපස රෝදය උඩ ආසනයට වහාම ඉදිරියෙන් ඇති අසුන සිට පසුපස පේලිය දක්වා සිංහල සිසුන්ට. (පිටිපස්සේ තමයි වල බහින්න ලේසිම තැන... ඒ කාලේ තමයි ඔය වල බහිනවා කියන වචනය අපේ භාෂිතයට එක් උනේ. බස් එකේ පිටිපස්සේ හිටගෙන රවුමක් හැදෙනවා. මද ඉන්න එවුන් සාමාන්‍යයෙන් මොකක්වත් අල්ල ගන්නේ නැහැ. වටේ සෙට් එක තමයි ගානට වල බැලන්ස් කරන්නේ. ඕක තමයි 90ව දශකයේ බිහිවූ මුල්ම වල)
- බැටරිය උඩ ප්‍රදේශය සහ රියදුරු අසුන ආසන්න පසුපස ප්‍රදේශය (ඉස්සර බස් වල එන්ජිම අසල වෙනම කොටසක් බැටරියට හා බඩු - භාණ්ඩ සදහා වෙන්කරලා තිබුනා) කුඩා දරුවන් සදහා පමණයි.
- උදෑසන පාසල් ගමන් වාරය - සිංහල දරුවන්
පොඩ් එවුන්ට පුදුම ආසාවක් තියෙන්නේ මෙතන යන්න... (පින්තූරය බලන්න)
- සවස පාසල් ගමන් වාරය - දමිල දරුවන්
මේ කාරණය අදීක්ෂණය සදහා කොන්දොස්තර මහතාව පත් කළා. (අර Norway කාරයා වගේ නම් නෙමෙයි මේ අන්කල්) මෑන්ස් බොහොම සාධාරණව මුල කාලය බැලන්ස් කරලා දුන්නා. පස්සේ ඒ වැඩේ ගානටම සෙට් උනා. කවදාවත් ආයේ සිංහල - දෙමළ අරගලයක් ඇතිඋනේ නැහැ. මට මතක විදිහට 1994 දී කවුරු හරි ගෙදරක දානයක් තිබිලා කැවුම් - කොකිස් - කෙසෙල් ගෙනාවා. කොහොම හරි එදා ඒවා බස් එකේ හැමෝටම බෙදුවා. මෙතනින් පස්සේ අපි දෙගොල්ලෝ අතර පුදුමාකාර එකමුතුවක් ඇති උනා. එතනින් පස්සේ නිතරම වඩේ-මුරුක්කු-කඩල වගේම කේක්-කැවුම්-කොකිස්-කෙසෙල් වැරදුනේ නැහැ. අපි දෙගොල්ලෝ නිතරම අපි දෙගොල්ලන්ගේ සීමාවල් දැනගෙන සහයෝගයෙන් හිටියා.
තව දෙයක් ඉස්සර අපි පාසල් යන කාලේ උදෙන්ම අම්මලා අප්පච්චිලා කරන්නේ නැගිටලා රේඩියෝවේ පිරිත් දාන එක. වෙළද සේවය තමයි ඉතින් ජනප්‍රිය. උදේ පාන්දර රම්‍යා වනිගසේකරගේ "...ආයුබෝවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි...මෙන්න ප්රවෘත්ති..." කියලා ඇහුවේ නැති නම් දවසම මස්තබාල්දුයි වගේ. පණ්ඩිත් අමරදේවයන්ගේ "ජගන් මෝහිනී" ඒ කියන්නේ උදා ගී ඇහෙද්දී තමයි අපි උදේට නැගිට්ටේ... උදේම යන්නේ දේශානුරාගී ගීත. එත් උදේට නිතරම වාදනය වෙන සින්දුවක් තිබුනා. උදෑසනම පොඩි අපි දුව එනවා... කියලා. මමනම් අදටත් හරිම ආදරෙයි මේ සින්දුවට. මේ ගීතය නො ඇසු දෙසවනක් අප කුඩා කාලයෙහි නොවිණි. එය රසවත් මෙන්ම අගනා පණිවිඩයක් ද අප හට ලබා දුන් ඉතා සාර්ථක ගීතයකි. මේ සින්දුව වාදනය වෙනකොට අදටත් මට අපේ පාසල් බස් රිය මතක් වෙනවා. ඒ වගේම අපේ "බස් වලේ" සෙට් එක සින්දු කියන කොට මේ සින්දුව ජාතික ගීය වගේ වරද්දන්නෙ නම් නැහැ. කෙල්ලෝ ටිකත් මේ සින්දුවට නම් උපරිම සපෝර්ට් එක දෙනවා.
සහෝදරයිනේ අහලා බලන්න මේ සින්දුව පොඩ්ඩක්. එතකොට ඔයාලට තේරෙයි ඒ කාලේ පාසල් සිසුන් හා ශ්‍රී ලංගම පාසල් බසය අතර කොච්චර බැදීමක් තියෙන්න ඇත්ද කියලා. ලොකු - පොඩි කියලා භේදයක් නැහැ අපි දෙගොල්ලොම බස් එකේදී මේ සින්දුවට ගරු කළා. ආදරය කළා.
![]()
උදෑසනම පොඩි අපි - දිව එනවා...
කොහේද සැඟවී - එළියට එනවා...//
උදේ පාන්දර - පාසැල් යන්නට...
බසයක් ඇවිදින් - කථා කරනවා...
දෙබර මුලක් ගල් වැදී - සැලෙන සේ...
එපා පුංචි ළමයිනි - පොර කන්නට...
පේලි ගැසී - බසයට නැග ගත්විට...
මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...
මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...
උදෑසනම පොඩි අපි - දිව එනවා...
මේ පොඩි බස් රිය - ඔබේය සිතලා...
කුරුටුගෑම හොද නැහැ - ඉරි ඇදලා...
අසුන් කඩා බිද දමා - නොයන්නේ...
ඔබේය මේ බස් රිය - රැක ගන්නේ...
උදෑසනම පොඩි අපි - දිව එනවා...
මේ මිහිරි ළමා ගීතයේ පද රචනය නැසීගිය ගාමිණී විජේතුංගයන් සතුය.
ඒ වගේම මහත් භක්තියෙන් මතක් කරන්න ඕනි ඒ කාලේ අපේ ලංගම රියදුරු මාම සහ කොන්දොස්තර මාමා. අපි කවදාවත් ඒ අයට "කොන්දා" යන පහත් වචනයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඒ අය තම රාජකාරිය නිසි ගරුත්වය ලැබෙන අයුරින් එදා අකුරටම ඉෂ්ඨ කළා. ඒ වගේම එයාලගේ එකම අරමුණ උනේ ඉස්කෝලේ යන දරුවෝ ටික වෙලාවට ගෙනියන එක සහ දවල් ගෙදරට ගෙනත් දාන එක. ඒක නිසා අවන්කවම ඒ අයට පිං දීලා මතක් කරන්න ඕනි.









