හිර ගෙදර ජීවිතේ...14...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජෑම් කඩන කෙක්ක ගෙන ඉදුණු ජෑම් ගෙඩි ඉලක්ක කරමින් ජෑම් ගස පීරූ තරුණයා අල්ලපු සිර කුටියේ වූ නිහඬම මිනිසා වූයේ ය. ඔහුගේ නිහඬ බාවය දෙවැනි වූවා නම් ඒ ඉතා වයසින් වැඩි වූ ඒ කුටියේම වූ මුස්තාපා ට පමණ ය. එහෙත් ඔහුගෙන් එතරම් ගුප්ත බවක් මතු නොවෙයි. සිංහල භාෂාව නොදත් මේ තරුණයාට කතා කල හැක්කේ දෙමළ සහ ඉංග්‍රීසි පමණක ය. එබැවින් මේ සිංහල කතා කරන බහුතරය මැද්දේ ඔහු නිහඬ වීම තෝරාගෙන තිබේ දැයි මට සිතෙයි. ඔහු නමින් රඝු ය. වයස 30 ක පමණ තරුණයෙකු වූ ඔහු ප්‍රියමනාප ය. සරමින් සහ ටී ෂර්ට් එකකින් නිතර සැරසී සිටි ඔහු ඉතා පරිස්සමෙන් තෝරා බේරා ගැනීමෙන් අනෙකුත් සිර කරුවන් සමග ආශ්‍රය කලේ ය. ඔහු මාව ද ආශ්‍රය කිරීමට පෙර මේ සිදු කරන්නේ නිරීක්ෂණයක් බව මට දැනෙයි. ඔහුගේ නිරීක්ෂණය අවසන් වී යම් දිනෙක මා සමග කුළු පගු වනු ඇතැයි සිතා මා බලන් උන්නෙමි.

    ඔහුගේ ජෑම් කඩන කෙක්කට හසු නොවුන, ඔහුගේම දෙනෙත් කෝණයෙන් සැඟවුණු ඉදුණු ජෑම් ගෙඩි කීපයක් මා සිටි තැනට දිස් වෙයි. ඒවා පෙන්වා දීමෙන් මට ඔහු සමග හිතවත් කමක් හදා ගත හැකිය. එසේ සිතූ මා ඉදිණු ගෙඩි තිබුන දෙසට ඇඟිල්ල දිගු කොට "සහෝදරයා , මෙන්න ඉදුණු ගෙඩි තියෙනවා යැයි පෙන්වූයෙමි." මා සමග කතා කිරීමට සැරසී සිටියෙකුගෙ මෙන් ඔහුගේ මුහුණේ මද සිනහා පහළ වූ අතර වඩා ඉක්මනින් ඔහු මා වෙතට පැමිණ ඒ ගෙඩි සොයා කෙක්ක හැසිරවූයේ ය. ඔහුගේ කෙක්කට හසුවූ හැන්දෑ අහස මෙන් දීප්ත රතු පාටින් ඉදිණු තරබාරු ජෑම් ගෙඩියක් පහළට වැටෙද්දීම ඔහු සිය අතක් යොදා එය අල්ලා ගෙන මා වෙතට දිගු කලේ ය. " මේක ඔබ වෙනුවෙන්ම ආපු ගෙඩියක්" ඔහු මට එය පිරිණැමුවේ ය. ඔහු ඒ පුදන්නේ ඔහුගේ මිත්‍රත්වය බව මට දැන් දැනී ගොස් තිබේ. ජෑම් ගෙඩියේ රසය ද යහමින් ඇතැයි ඒ පදමට ඉදී තිබූ අයුරින් පෙනෙයි. ඒ ගෙඩිය ගෙන කටේ ඔබා ගත් මා ඔහුට ස්තුති කළෙමි.

    මොහොතකින් ඔහු මා සිටි ස්ථානයට ආසන්නයෙන් හිඳ ගත් අතර අපි දෙදෙනාගේ ඇයි හොඳයිය එසේ ආරම්භ වූයේ ඉංග්‍රිසියෙනි. "මම මුලතිව් වල, මැලෙසියාවේ අවුරුදු 17ක් හිටියේ. දැන් අවුරුදු එකහාමාරකට කලින් ලංකාවට ආවා මගේ පුරවැසිභාවය අත් හරින්න කියලා, ඒකට අවශ්‍ය අන්තිම ලියකියවිලි ටික හදන්න. ඇවිල්ලා දවස් දෙකෙන් මාව ත්‍රස්තවාදී වැළක්වීමේ පනතින් කියලා අත් අඩංගුවට ගත්තා. මීට අවුරුදු 17 ක් කියන්නේ 2004 විතර. ඒ කාලේ මම ලංකාවෙන් යනකොට මට අවුරුදු 20ක් වත් නෑ. ඒත් මාව LTTE එකට සම්බන්ධයි ද කියලා සැක කරලා අරගත්තා." රඝු කියාගෙන ගියේ ය.

    ඔහු මැලේසියාවට ගොස් මාධ්‍ය නාලිකාවක ප්‍රධාන විධායක තනතුරක් දක්වා රැකියාවෙන් උසස් වී පැමිණ තිබේ. ඔහුට හොඳ වැටුපක් ද ලැබී තිබුන අතර දමිළ තරුණියක් හා විවාහා වී ඔවුනට කුඩා දරුවෙකු ද සිටී. මේ තරුණ පවුල ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මීට වසර එකහාමාරකට පෙර ලංකාවේ පුරවැසිභාවය අත් හැරීමට ය. එහෙත් අවාසනාව ඔවුන්ට හරස් වී තිබේ. එතැන් පටන් ඔහු හිර අඩස්සියේ ය. රඳවා තබා ගැනීමේ නියෝග මත කලක් පොලිසිය භාරයේ සිටි ඔහු අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කර ඇති අතර කොටි සංවිධානයට සම්බන්ධ යැයි පරීක්ෂණ පැවැත්වෙයි. ඔහුගේ දරුවා ද බිරිඳ ද නෑදෑයින් සමග ඔහුට නිදහස ලැබෙන තුරු ශ්‍රී ලංකාවේ පසු වෙයි.

    ඔහුගේ පැත්තෙන් ඔහු නිර්දෝශී ය. ත්‍රස්ත විමර්ශන අංශයේ පැත්තෙන් කතාව මා දන්නේ නැත. ඔහුට ඇති චෝදනා මොනවා ද ඒවායේ සාක්ෂි මොනවා දැයි මට අවබෝධයක් නොමැත. එහෙත් රඝු ගේ පැත්තෙන් ඔහු මේ ගත කරන්නේ නොකළ වරදකට දඬුවමකි. ඔහුගේ ජීවිතයෙන් වටිනාම කාලයක් ඔහු නිරපරාදේ හිර ගෙදරට ගෙවා දමා තිබේ.

    හිර ගෙදර නිහඬම පුද්ගලයා යැයි මා ඉහත කී මුස්තාපා සමග ද කතා කිරීමේ හැකියාව මට ලැබුනේ ඒත් සමගමය. " අයියේ එන්න, අපි කයියක් ගහමු" යැයි මා ඔහුද ආරාධනා කලෙමි. මුස්තාපා හීන්දෑරීය, කටු පෑදුණු මස් වැහිරී දිරා ගිය සිරුරෙන් ඔහු යම් මන්ද පෝෂී තත්ත්වයක ඇතැයි සිතෙයි. ඔහුගේ සම පවා සුදු මැලි වී ගොස් රැළි වැටී තිබේ. තරමක් ඉස්සරහට නැමුණු කුදු ශරීරය ඔහුට වඩාත් වයසක පෙනුමක් එක් කලේ ය.

    " මට තාම වයස 36 යි" - ඔහු කියද්දී මට මතක් වූයේ මට වයස අවුරුදු 40ක් බවත්, ඔහු මට වඩා වයසින් අඩු බවත් ය. එහෙත් මෙතරම් වැහැරුණු සිරුරක් ඔහුට ලැබී තිබෙන්නේ ඇයි? මගේ සිත ප්‍රශ්න කරයි.

    " මාව ගත්තේ 2019 පාස්කු ප්‍රහාරයට පස්සේ. අර දෙමටගොඩදී බෝම්බ පුපුරව ගත්තේ මගේ යාළුවෙක්. එයාගේ යාළුවෙක් නිසා සැක පිට මාව අත් අඩංගුවට ගත්තා. මම ඒ ගැන මුකුත් දන්නේ නෑ. අරගෙන මාව රැඳවුම් නියෝග මත තියා ගත්තා කොළොන්නාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ. අවුරුදු එකහාමරක් හිටියේ පොලිසිය ඇතුලේ පොඩි හිර කූඩුවක දිගටම. මාව පිස්සෙක් උනා. මානසිකව විශාල විනාශයක් සිදු වෙලා තියෙන්නේ. මම පුළුවන් විදියට දරා ගත්තා. දැන් මට ජීවිත ආසාවත් නැති වෙලා. අවුරුදු එකහාමාරකට පස්සේ මාව මේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනාවා. එහෙට වඩා මෙහේ ටිකක් හොඳයි. ඒත් මගේ ජීවිතේ දැන් ගොඩ ගන්න බැරි වෙන්න විනාශ වෙලා වගේ." - ඔහු කියාගෙන ගියේ ය. පාස්කුවේ බෝම්බ කරුගේ මිතුරෙකු වීම හැර අන් කිසිවක් ඔහු නොදන්නා බව ඔහු කියා සිටියි. ඔහුට ඇති චෝදනා හෝ ඔහු ගැන පොලිසියට ඇති කතාව පිළිබඳව මා නොදනී. එබැවින් ඒවා ගැන විනිශ්චය කිරීමට යෑම අසාර්ථක උත්සාහයන් වෙයි. ඒවා කෙසේ වෙතත් මේ මිනිසා සිර ගෙය තුල නොමරා මැරි ගොස් තිබේ. ඔහුගේ ආත්මය ඔහුගෙන් ඉවත්වී ඇතැයි මට සිතෙයි. ඔහු මදය කා දැමූ හිස් කෙසෙල් ලෙල්ලක් මෙන් අඩපණව සිය දිරා ගිය ශරීරය රැගෙන හිර ගෙදර තුල ඔබ මොබ යයි, දිනය ගෙවා දැමීමට වෙහෙසෙයි.

    පිටරටින් සෙන්ට් පවුඩර් ගෙනැවිත් විකුණන ව්‍යාපාරයක් කර ගෙන දරු පවුලක් රැකි මේ මිනිසා දැන් ත්‍රස්තවාදී පනතෙන් බැඳ දමා ඇති සූප්පු කල වවුල් හපයකි. ඔහුගේ ජීවිතය ද බලාපොරොත්තු ද මහ මග නතර වී තිබේ. සිය අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයෙන් බලාපොරොත්තු රහිත ජීවිතයක ශරීරය පවත්වා ගෙන යෑමට ඔහු වෙහෙසෙයි. ඔහු තබන සිහින් පා අඩියෙන් අඩිය ඒ කඩා වැටීම නග්න වෙයි. ඒ දෙස බලා සිටීම වේදනාකාරීය.

    මේ මිනිස් විඳවීම වලට හේතුව ඔවුන් කල හෝ නොකල වැරදි නොව මේ රටේ පාලන ක්‍රමය තුල ඇති දුර්වලතාය. තවමත් උසාවියෙන් වරදකරුවන් නොකළ මේ මිනිසුන් සැකකරුවන් හෝ රැඳවියන් පමණය. මින් විශාල පිරිසක් යම් දිනෙක මේ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකිව නිවැරදි කරුවන් ලෙස උසාවියෙන් පිටවී යති. එහෙත් ඔවුන් රිරිමාන්ඩ් බන්ධනාගාරය තුල ගත කරන කාලය ද සිර ගත වීමකි; දඬුවමකි. එහෙත්, ඔවුන් යම් දිනෙක නිවැරදි කරුවන් සේ පිටව යයි නම්, ඔවුන් ඒ දඬුවම් වින්දේ කුමක් නිසා ද? එය මේ සමාජ ක්‍රමය තුල විශාල ප්‍රශ්නයකි.

    මෑතකදී කුරුණෑගල දී ලේඛකයෙකු අත් අඩංගුවට ගත්තේ බුදුන් වහන්සේ අදාල කොට ඔහු ලියූ පොතක කොටසක් නිසා ය. ඔහු ඒ වෙනුවෙන් මාස 3ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ දඬුවම් ලැබූ අතර, අනතුරුව ඔහුව චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ය. ඔහු නිවැරදි කරු නම්, ඔහු බන්ධනාගාරය තුල ඔහුගේ ජීවිතයේ මාස 3ක් ගෙවා දැමුවේ කුමක් නිසා ද? ඔහුගේ ජීවිතයේ අහිමි වූ ආදායමට, අහිමි වූ කීර්ති නාමය ආදියට වග කියන්නේ කවුරුන් ද? ඔහුගේ දරු පවුල රැකෙන්නේ කෙසේ ද? ඒවාට සමාජය තුල, රාජ්‍යය තුල ආරක්ෂණයක් තිබේ ද? මේ ප්‍රශ්න අපි අනිවාර්යයෙන් නැගිය යුතුම ය.

    නිවැරදි කරුගේ පටන් වැරදි කරු දක්වා මේ අසාධාරණයට මිනිස්සු ලක් වෙති. සාමාන්‍ය පාරේ තොටේ හමුවන කුඩු ගසන්නෙකු පොලිසියට හමු වූ විට කුඩු ළඟ තබා ගැනීමේ වරදට උසාවියට ඉදිරිපත් කරන්නේ ඒ අසු වූ කුඩු ප්‍රමාණය ද සමගම ය. එය ඉතා කුඩා ප්‍රමාණයක් නම්, දඬුවම කුඩා මුදල් දඩයකි. එහෙත් අපේ ක්‍රමය තුල සිදු වන්නේ ඒ පුද්ගලයා බන්ධනාගාර ගත කොට ඒ අසු වූ කුඩු ප්‍රමාණය කුඩුම දැයි පරික්ෂා කර බැලීමට රස පරීක්ෂකට යොමු කිරීම ය. මේ රස පරීක්ෂක වාර්තා මාස ගණනක් පමා වෙයි. ඒ රාජ්‍ය අකාර්යක්ෂමතාවය සහ සම්පත් හිඟ කමිනි. ඒ රස පරීක්ෂණ වාර්ථා පමා වෙන මාස ගණනම අර චූදිතයෝ බන්ධනාගාරයේ දුක් විඳිති.

    ඒ අසුවූ කුඩු සාම්පලයට වෙනත් සුදු පැහැති කුඩු වැනි ද්‍රව්‍ය එකතු කිරීමේ හැකියාව පොලිසියට අවශ්‍ය නම් සිදු කල හැකිය. එහි වාර්තාව ලැබෙන තුරු චූදිතයෝ බන්ධනාගාරයට යොමු කිරීමට පොලීසියට හැකිය. එය සිදු වන අවස්ථා අල්ප නොවන බව සිර ගෙදර කතා අසා සිටි විට අවබෝධ වේ. මේ අප ජීවත් වන සමාජයේ ඇති භයානක කමයි.

    ඔබ කුඩු කාරයෝ හෝ අපරාධ කාරයෝ යැයි මේ මිනිසුන් වර්ග කොට ඔවුන් දඬුවම් ලැබිය යුතු ඈයෝ යැයි පහසුවෙන් නිගමනය කල හැකිය. එහෙත්, ඒ දඬුවම් ලබන්නේ හැබැවින්ම ඔවුන් නොකළ වරදකට විය හැකිය. එබැවින් මේ රැඳවියන් පිළිබඳව පූර්ව නිගමනය කිරීම අප නොකල යුත්තකි. රැඳවියන් සියල්ලෝ වරදකරුවන් නොවේ. අප ජීවත් වන සමාජයේ යමකු කල වරද නිවැරදිව අර්ථකථනය කිරීමත්, එහි ප්‍රමාණය මැන ගැනීමත්, එය ඔප්පු කර ගැනීමත් ඉතා දුෂ්කර ය. එය කෙතෙක් දුෂ්කර දැයි පොලිසිය සහ අධිකරණයෙන් ඇසුව හොත් පැහැදිලිව වැටහෙනු ඇත. එහි ඇති අඩුපාඩු වලින් නිවැරදි කරුවන් හිරේ යෑම මෙන්ම වැරදි කරුවන් නිදහස් වීම ද සිදු විය හැකිය.

    වැරදි කරුවන් කෙතෙක් නිදහස් වුව ද එක් නිවැරදි කරුවකුට දඬුවම් ලැබෙයි නම් එය ඉතා විශාල සමාජ අසාධාරණයකි. ඒ බැව් 1769 දී විලියම් බ්ලැක්ස්ටෝන් විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ “the law holds that it is better that 10 guilty persons escape, than that 1 innocent suffer” ලෙසයි. එනම්, නීතිය සාදා තිබෙන්නේ එක් නිවැරදි පුද්ගලයෙකුට දඬුවම් ලැබෙනවාට වඩා වැරදිකරුවන් දස දෙනෙකුට නිදහස ලැබේ නම් එය සාධාරණ වන ලෙසයි. එහෙත්, රිමාන්ඩ් බන්ධනාගාර යනු චෝදනා අධිකරණයකින් ඔප්පු නොවූ චූදිතයෝ දඬුවම් විඳින හිර ගෙදරකි. එහි මාස ගණන් නොව ඩඩා ලා, අක්මාල් ලා, බාබා ලා, රඝු ලා, මුස්තාපා ලා වසර ගණන් දුක් විඳිති. ඔවුන් යම් දිනෙක උසාවියෙන් නිදහස් කරනු ලැබූවොත් ඔවුන් සිර ගෙදර ගත කල කාලයට සිදු වන සාධාරණය කුමක් ද? වසර 5 කටත් අධිකව එහි ගෙවා දමා ඇති ඇතැමුන් රාජ්‍ය අකාර්යක්ෂමතාව, ක්‍රමයේ ඇති දුර්වලතා නිසා දුක් විඳීම සාධාරණ ද? ඒ ඔවුන්ට දුක් විඳීමට සිදු වන අසාධාරණය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන හිලව්ව කුමක් ද? එය ඒ මිනිස්සු තනිවම විඳ දරා ගත යුතු ද? ඔවුන්ගේ ජීවිත වල මානව අයිතිය සමාජයක් ලෙස එකතුව විනාශ කිරීමේ පාපයට කර ගසන්නේ අපි හැමෝම ය. අපේම එකෙකු එයට හසුවී දුක් විඳිනා තුරු අපිට එය නොදැනීම කෙතරම් අවාසනාවක් ද?

    මේ බොහෝ නීති , අණ පනත්, ක්‍රමවේදයන් යාවත්කාලීන වී නොමැත. නූතන තාක්ෂණික දියුණුව උකහා ගෙන නොමැත. ආයතන දියුණු කර ගෙන නොමැත. ඒ රටේ සමස්ථ ක්‍රමයේම පිරීහීම පෙන්වන තවත් එක් පැති කඩක් පමණ ය. එය වෙනස් කිරීම ද විශාල අභියෝගයක් විය හැකිය. එයද මේ දේශපාලන ක්‍රමයේම තවත් එක් දිගුවකි. එක් පැතිකඩකි.

    අපිට වෙනස් වෙන්නට සිදු වේවි. මේ ක්‍රමය තවත් පැවතිය යුතු නොවේ. දැන දැන සමාජය පිරිහීමට ඉඩ දී අපි එකිනෙකා අහක බලා සිටීම සාධාරණ නොවේ. ඒ පිණිස කැප වීමට මේ රටේ සියළුම මිනිස්සුන්ට වගකීමක් තිබේ. එසේ නොවුන හොත් තවත් මිනිසුන් දහස් ගණනක් අර්ථ විරහිතව මේ සිර ගෙවල් වලම දුක් විඳිනු ඇත. ඒ ඔබ නොවන තුරාවට ඔබ ඒ ගැන ප්‍රශ්න නොකරනු ඇත.

    පැතුම් කර්නර්
    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ

    ( මීළඟට අවසාන කොටස )
    නම් ගම් මනක්කල්පිතය!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    8GBK.gif