හොරුන්ගේ දූපත්..! -අතීතයෙන් පාඩමක් 2(ලංකාවට අතිශයින් අදාලයි)

jayadush

Active member
  • Mar 16, 2008
    192
    175
    43

    හොරුන්ගේ දූපත්..! -අතීතයෙන් පාඩමක් 2

    -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලියන ලිපි මාලාවක දෙවැන්න

    Island-of-Thieves.jpg



    (ලංකා ඊ නිව්ස් -2022.ජුලි.31, ප.ව.6.20) 1986 දී මහජන නැගිටීමකින් පසු බලයෙන් පහවූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස්, පසුගිය මස ෆිලිපීනයේ ජනාධිපති විය. ජාතික ධනය සොරකම් කිරීම නිසාත්, ආර්ථිකය වරදවා හැසිරවීම නිසාත් ෆර්ඩිනන්ඩ් මාකෝස් 1986දී බලයෙන් පහවිය. පොදු ජනතා විරෝධය හමුවේ බලයෙන් පහවූ මාකෝස් පවුලේ අයෙකු වසර 36 කට පසු නැවත බලයට පැමිණීම පුදුමයක් වුවත්, මා සිතන අයුරින් මෙයට හේතුව ෆිලිපිනයේ දේශපාලඥයන් බහුතරයක් මානසික අබාධයකින් පෙළීමයි. පිලිපීනය මෙන්ම දුපත් රාජ්‍යයක් වන ලංකාවේ බොහෝ දේශපාලඥයෝ ද, නිලදරුවෝ ද මෙම මානසික ආබාධයෙන් පෙළෙති. මේ දුපත්වල බහුතරයක් මහජනතාවද මෙම රෝගය වැළඳ ගැනීමේ ආශාවෙන් පෙළෙති.


    මහ හොරුන්..

    "ක්ලිප්ටෝමේනියාව*" මානසික රෝගයකි. මෙයින් පෙලෙන්නන්ට යමක් දුටුවිට එය හොරකම් කිරීමට මානසික ආවේගයක් ඇතිවේ. යමක් හොරකම් කළයුත්තේ ඇයිදැයි ඔහු නොදන්නා නමුත්, ඔහු එය හොරකම් කරයි. ඇතැම් විට සොරකම් කරන දෙයින් ඔහුට ප්‍රයෝජනයක් නැත. හොරකම් කිරීමෙන් ඔහු මානසික තෘප්තියක් ලබයි. තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි තරම් මුදල්, දේපල, යාන වාහන මොවුහු එකතු කරති. ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ බිරිඳ වූ ඉමෙල්ඩා මාකෝස් සතුව මිල අධික සපත්තු කුට්ටම් 3000 ක් තිබිණි. එහෙත් ඇයට තිබුනේ කකුල් දෙකක් පමණි. මෙම සපත්තු අද මැනිලා නුවර කෞතුකාගාරයක ආරක්ෂාකාරීව ප්‍රදර්ශනය කරන අතර, මහජනයා ඒවා බලමින් ප්‍රීති වෙති. අප රටේද මේ ක්ලප්ටෝමේනියාවෙන් පෙලෙන්නෝ සමාජයේ ඉහලින්ම වැජඹෙති. එයට හේතුව අප මේ රෝගයෙන් පෙලෙන්නන්ට ගරු කිරීමයි. මෙයින් බොහෝ දෙනා දේශපාලඥයන්ය. ඇතැමුන් දේශපාලඥයන් නොවේ. ඇතැමුන් උගතුන්ය. ඇතැමුන් නූගතුන්ය. අපි මේ මානසික ලෙඩුන් ඉහල පුටුවල හිඳුවා, බලතල ද ලබාදෙන්නෙමු. එවිට හොරකමට ඇබ්බැහි වූ මොවුහු, මහා පරිමාණයෙන් සොරකම් කරති. පිලිපීනයේ ජනයා මාකෝස් බිරිඳගේ සපත්තු දෙස බලා සතුටු වන සේම, අප අපේ සොරුන් සොරකම් කර විශාල මන්දිර තැනූවිට කථා කරන්නේ මන්දිරයේ විශාලත්වය ගැනය. මේ හොරුන් සොරකම් කර විශාල රථයක යනවිට අප කථා කරන්නේ රථයේ අලංකාරය ගැනය. මෙම හොරාට මෙතරම් විශාල මන්දිරයක් තැනීමටත්, විශාල රථයකින් යාමටත් ධනස්කන්දයක් ලැබුනේ කෙසේදැයි අපි නොසිතමු. අපි ප්‍රශ්න නොකරමු. අපි පැමිණිලි නොකරමු. ඇතැම් විට මේ හොරුන්ට මෙන් අපටද හොරා කෑමට ඉඩක් නොලැබීම ගැන යටිසිතින් දුක්වෙමු. හොරාගේ හොරා කෑමේ දක්ෂතාවය ගැන, ආඩම්බරයෙන් කථා කරමු. මේ නිසා ක්ලිප්ටෝමේනියාවෙන් පෙලෙන හොරා දිගටම හොරා කයි.මේ නිසා වසර 92 ක මහලු කාන්තාවක වූ ඉමෙල්ඩා මාකෝස් අද තම පුත් බොන්ග්බොන්ග් මාකෝස්, තම සැමියා සේම රටේ ජනාධිපති වනු, ප්‍රීතියෙන් බලා සිටින්නීය.

    හොරුන් සොයන හොරුන්..

    ජාතික දේපල හොරා කෑම නිසා අප රට වලපල්ලට වැටී ඇත. හොරාකෑම නිසා අපට පෝලිම් වල රස්තියාදු වීමටත්, වේලක් හැර වේලක් කෑමටත්, ලෙඩට දුකට බෙහෙතක් නැතිවීමටත් සිදුවී ඇත. වලපල්ලට වැටුණු නිසා මෙතෙක් කල් හොරුන්ගේ මන්දිර වල විශාලත්වයත්, වාහන වල අලංකාරයත් කියවමින් සිටි සියලු දෙනා දැන් හොරුන් සෙවීමට පටන් ගෙන ඇත. මෙය තම ශරීරයට සුබදායක නොවන බව දැක සමහර සොරුන් අනෙක් හොරුන් සොයාදීමට පටන්ගෙන ඇත. දැන් ලංකාවේ අලුත්ම විලාසිතාව හොරුන්, හොරුන් ඇල්ලීමයි. බසයක් තුල මුදල් පසුම්බියක් සොරකම් කළ හොරෙක් පසුපස "හොරක් හොරෙක්" කියමින් මිනිසුන් හඹා යන්නට විය. එවිට හොරා ද "හොරක් හොරක්" කියමින් දුවන්නට විය. ටික දුරක් දුවන විට මිනිසුන්ට හොරා කවුරුන්දැයි පටලැවිණි. හොරා පසුම්බිය ද ගෙන එතැනින් සෙමින් මග හැර ගියේ ය.

    මේ අයුරින්ම දැන් අපට හොරුන් පටලැවී ඇත. සමහර හොරු අපත් සමඟ එකතු වී අනෙක් හොරුන් සොයති. සමහර හොරු වැඩිදුරටත් හොරමුලේ සිටීම නුවණට හුරු නැති නිසා හොරමුලෙන් එලියට විත් හොරමුලේ වැරදි කියති. මේ අයුරින්ම මාකෝස් පලවා හැරීමේ අරගලයේ අවසාන අවස්ථාවේ දී, ඔහුගේ ආරක්ෂක ඇමති ජුවාන් පොන්ස් එන්රිලේ සහ හමුදාපති ෆිදෙල් රාමෝස් ජනතාව සමඟ එක්වූහ. මේ දෙදෙනා පසුකලෙක දේශපාලනය කළ අතර වරක් ෆිදෙල් රාමෝස් ෆිලිපීනයේ ජනාධිපති ද, තවත් වරක ජුවාන් පොන්ස් එන්රිලේ සෙනේට් සභාවේ සභාපති ද වූහ. මේ දෙදෙනාටම විරුද්ධව දුෂණ චෝදනා එල්ල විය. මාකෝස්ට පසු පිලිපීනයේ බලයට පැමිණි බොහෝ දේශපාලඥයන්ට විරුද්ධව දුෂණ චෝදනා ඇත. දුෂිතයන් බලයට පත්වීමේ අවසාන ප්‍රතිපලය වුයේ හොරදෙටුවෙකු වූ ෆර්දිනන්ඩ් මාකෝස්ගේ පුතෙකු නැවත පිලිපීනයේ බලයට පත්වීම ය.


    වරක් හොරකම් කෙරුවෙකුට නැවත හොරකම් කිරීම බරපතල වැඩක් නොවේ. ඔවුන්ගේ හොරකම් කිරීම පිළිබඳ හිරිඔතප් බිඳී ඇත. වරක් මිනීමැරුවෙකුට තවත් අයෙක් මැරීම පහසුය. වරක් අයාලේ ගිය අයෙකුට ඉන්පසු අයාලේ යෑම ලොකු දෙයක් නොවේ. හොරකම ද එසේම ය. අවශ්‍ය වන්නේ මේ මේ හොරුන්ට හොරකම් කිරීමට නැවත අවස්ථාවක් ලබා දීම පමණි. එය ලද පමණින් නැවත හොරා හොරකම් කරනු ඇත. එක් සොරමුලකින් එලියටවිත් මොවුහු අප නොමඟ යවා සොරකම් කිරීමට තවත් අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිති. මේ හොරුන් ගැන හොඳ අවධියකින් සිටීමත් අප සමඟ සිටින සොරුන් නැවත කරලියට නොගෙනීමටත් අප වග බලා ගත යුතුය.


    ගිනස් වාර්තා..

    ජාත්‍යන්තර ගණනය කිරීම් අනුව මාකෝස් පවුල පිලිපීනයෙන් සොරාගත් ධනය ඩොලර් බිලියන 10 ක් පමණ වේ. 1989 දී ගිනස් වාර්තා පොත මාකෝස්ගේ සොරකෑම ලොව වැඩිම ජාතික ධනය සොරා කෑම ලෙස වාර්තා කළේය. මෙම වාර්තාව බිඳ, අප රට ගිනස් වාර්තා පොතෙහි රන් අකුරෙන් ලිවීමට දැන් අගනා අවස්ථාවක් අපට ලැබී ඇත. මාකෝස් පවුල සතු ධනයෙන් තවමත් ෆිලිපීනයට ගෙනවුත් ඇත්තේ අබැටක් පමණි. අදට ද මෙම පවුල සතු ධනය පිලිපීනයේ සියලු විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් වන බව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත මෑතකදී වාර්තා කළේය.

    බලයෙන් පහවූ ෆර්ඩිනන්ඩ් මාකෝස් ඉන් වසර තුනකට පසු පිටුවහල්ව සිටියදී මිය ගියේය. ඔහුගේ බිරිඳ, ඉමෙල්ඩා නඩු වලට මුහුණදීමේ මුවාවෙන් පිලිපීනයට පැමිණියා ය. තම රටේ මිනිසුන්, දේශපාලඥයන් හා අධිකරණය ගැන හොඳින් දන්නා ඇය මේ දක්වා කිසිදු නඩු විභාගයකින් වරදකාරිය වී දඬුවම් ලබා නැත. ඉන්පසු නිතරඟයෙන් සෙනේට් සභිකයකු ලෙස පත්වූ ඇය, තම පවුල පිලිපීන දේශපාලනයේ වැදගත් බලවේගයක් ලෙස තබා ගැනීමට සමත් වූවා ය. මෙවර ඡන්දයේදී බොන්ග්බොන්ග් මාකෝස් තම පවුල සතු, හොරාගත් ධනය, යහමින් ජයග්‍රහණය සඳහා වියදම් කළේය. එමනිසා ඔහු ජයග්‍රහණය කළේය. හොරකම ලංකාවේ මෙන්ම පිලිපීනයේ ද සමාජගතව ඇත.


    හොරා පොලිස් සෙල්ලම..

    ඉමෙල්ඩා මාකෝස් පිලිපීනයේ කළ වරදකට මේ දක්වා වරදකාරිය වී ඇත්තේ ඇමරිකාවේ අධිකරණයකින් පමණි. ස්විට්සර්ලනත්යේ පැවරුණු නඩුවක් නිසා ඇයට සොරාගත් ධනයෙන් බිලයන ගණනක් පිලිපීනයට ගෙවීමට සිදුවිය. වසර තිස් පහක් ගතවීත් ඇය තවමත් තම රටේ යහතින් ජිවත් වෙයි. ලංකාවේද මේ දක්වා මහජන ධනය සොරකම් කර ලංකාවේ අධිකරණයකින් වරදකරු වී සිරබත් කෑ අයෙක් නැත. සිරගෙට නියම වුවන්ද, "රටට කළ සේවය" සලකා සමාව ලැබීය. අප රටට මිලදී ගත් දේපලක් අයථා ලෙස වැඩි මිලට ගත් නිසා අපේ ගරු ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිතුමාට නඩු වැටුනේ ඇමරිකාවේ ය. ක්ලිප්ටෝමේනියාව ඇති පරපුරකින් පැවත එන එතුමා දඩයක්ද කා, වසර පහකට ඇඟ බැඳි පසු ඇමරිකානු අධිකරණයේදී හඬා වැළපුණු බව විදෙස් වාර්තා වල පලවිය. ලංකාවේ අධිකරණයකින් ඔහු වරදකරුවුයේ නම් "රටට කල සේවය" නිසා ඔහු මුක්තිය ලබනු ඇත.

    රජය සතු ආයතනයක ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිව සිටි මට කට උත්තරයක් දීම සඳහා වරක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) කැඳවීමක් ලැබිණි. පැය දෙකක් පමණ උත්තර දුන් පසු මාගේ විමර්ෂණ නිලදරුවාට මගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගැන අවබෝධයක් නැති බව මට වැටහිණි. එවිට මා ඔහු මෙයට පෙර කළ රැකියාව කුමක්දැයි විමසීමි. ඔහු පැවසුවේ ලංකාවේ දුෂ්කර පෙදෙසක (නම සඳහන් නොකරමි) අපරාධ පිළිබඳ කාර්ය භාර නිලධාරියා (OIC Crimes) ලෙස කටයුතු කළ බවයි. හරක් හොරුන්, සුදු පොළවල් හා කෙසෙල් කැන් හොරුන් ලුහුබඳිමින් සිටි ඔහු, සංකීර්ණ ආයතනයක, සංකීර්ණ උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව මුල්‍ය විගණනයක් කිරීමට නොහැකිව අසරණව සිටින බව මට වැටහී ගියේය. "සර් හොරකම් කරලා නැති බව ප්‍රශ්න වලට උත්තර දෙන විදියෙන් අපිට තේරෙනවා. ටයි දාගෙන ආපු මහත්තුරුන්ට ඔය පුටුවේ මුත්‍රා ගිහිල්ලා තියනවා" යැයි පවසමින් ඔහු මා සමඟ මිතුරු විය. ඔහු අවංක නිලධාරියෙකු බව මට වැටහුණු නිසා ඔහුට උදවු කිරීමට මම තීරණය කළෙමි. ඉන්පසු මා කට උත්තරයේදී, ඔහු මාගෙන් ඇසිය යුතු ප්‍රශ්නය මම ම පවසා, එයට දිය යුතු උත්තරය ද දී ඔහුගේ රාජකාරිය පහසු කළෙමි. ලංකාවේ මුල්‍ය හොරුන් ඇල්ලීම අප කුඩා කල කළ "හොරා පොලිස් සෙල්ලම"මෙන් ළදරු ක්‍රීඩාවකි.


    විදේශගත දේශප්‍රේමීන්ගේ අවධානයටයි..

    මේ සියල්ලෙන් උගත හැකි පාඩම නම් ශ්‍රී ලාංකික මුල්‍ය හොරුන්ට දඬුවම් දීමට නම් නිසි විශේෂඥ භාවයත්, පාරදෘශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ගත් ඇති රටවල් සොයා, හොරුන්ට නඩු පැවරිය යුතු බවයි. මේ වගකීම විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් වෙත පැවරී ඇත. එසේ නොකළහොත් මේ හොරුන් සැමදා නිදැල්ලේ සිටිනු ඇත. ශ්‍රී ලාංකිකයන්ට නැවත නැවතත් වලපල්ලට වැටීමටත්, පෝලිම් වල රස්තියාදුවීමටත්, වේලක් හැර වේලක් කෑමටත්, ලෙඩට දුකට බෙහෙතක් නැතිව මිය යාමටත් සිදුවනු ඇත.

    හොරුන්ගේ දුපතක වාසය කරන අප හොරුන්ගෙන් ප්‍රවේශම් විය යුතුම ය. ඔවුන් අපට වඩා බුද්ධිමත්ය.


    (*විශේෂ සටහන - ක්ලිප්ටෝමේනියාව බෝවෙන රෝගයක් හෝ පාරම්පරික රෝගයක් යයි තවම සොයාගෙන නැත.)


    -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

    අතීතයෙන් පාඩමක් ලිපි එකතුව
    https://www.lankaenews.com/category/97