“ටජ් මහලක් තනවන්න බැහැ මට ඔබේ සෙනෙහසට හිමි...
හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමි...”
කරුණාරත්න අබේසේකර විසින් රචිත මේ ගීතය අද කා අතරත් ජනපි‍්‍රය ගීතයකි. ජනපි‍්‍රය ගායකයකු වූ එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තේමා කොටගෙන සැකසු ‘ගී කුළුණ’ තවමත් බොරැල්ල කනත්තේ සැරිසරන කාගේත් දෙනෙතට හසුවනු නියතය.
මේ එවන් දහසකුත් එකක් සිහිවටනයන් ගෙන් පිරුණු බොරැල්ල කනත්තේ කතාවයි.
මෙලොව ජීවත්වන සෑම කෙනකුම කවදා හෝ යා යුතු තැනක් ඇත. මෙම භූමිය සිත්පිත් නැති පිරිසක ගේ වාස භූමියක් වුවද අප ද කවදා හෝ මේ සිත්පිත් නැති භූමිය කරා යා යුතුව ඇත. මරණය කාටත් පොදු දෙයකි. මරණය කවදා කොතැන කෙලෙස සිදුවේදැයි කාටත් කිව නොහැකිය. එහෙත් කවදා හෝ අපි මරණයට මුහුණදිය යුතු වෙමු. සමහරුන් මෙලොව ජීවත්වන්නේ මරණය තඹ සතේකටවත් මායිම් නොකරමිනි.
පොහොසතාට, කෝටිපතියාට මෙන් ම දුප්පතාට හා හිඟන්නාට පවා මරණය පොදුය. ඔවුන් මෙලොව ජීවත්වන්නේ එක එක ආකාරයට වුවද නැති බැරි ඇති හැකි හැමදෙනාම ජීවිතයෙන් සමුගත් දා යන්නේ එකම එක තැනකටය. ඒ සොහොන් පිටියකටය. නැතහොත් කනත්තකටය.
සේනානායක පරම්පරාවට අයත් කලාත්මක සොහොන් ගැබ
ජීවත්ව සිටිනා කාලයේදී මිනිසාගේ වටිනාකම නොදත් සමහරු මියගිය පසු සමාජයට ලෝකයට පෙනෙන්නට ප්‍රාණය නිරුද්ධ දේහයට ගරුබුහුමන් දක්වති. විශාල මුදලක් වියහියදම් කරමින් ‘ලෝකයාට පේන්නට’ අවමඟුල පවත්වති. අශ්වාරෝහකයන් පිරිවරාගෙන පෙරහරකින් දේහය කනත්තට රැගෙන එති. මිනිය වළ දමන්නට කනත්තේ හොඳ තැනක් සොයති. ඉන්පසු මිල කළ නොහැකි තරමේ වටිනා කිරිගරුඬ දේව දූතයන් ගෙන් යුතු සොහොන් කොත් තනති.
කලක් පාළුවට ගොස් හුදකලා මූසල ස්වභාවයක් ගත් කනත්ත අද ඊට හාත්පසින්ම වෙනස් තැනකි. අද එය ලස්සනට වවන ලද මල් ගසින් පිරුණු උද්‍යානයක සිරිය උසුලයි.
කලක් කනත්ත දෙස කව්රුත් බැලුවේ චකිතයකිනි. නැතහොත් තිගැස්සීමකිනි. කනත්තේ හොල්මන් ඇතැයි බොහෝ අය කියති. වේගයෙන් ඉගිලෙන ලොකු වව්ලන්ගේ ශබ්දය මෙම හොල්මන් කතා දෙගුණ තෙගුණ කරයි. සුළඟට ගස් සෙලවෙන විට අතු ඉති වදින විට නැගෙන හඬ සිත් බියපත් කරයි. එහෙත් අද බොරැල්ල කනත්ත ඒ භයංකර මුස්පේත්තු ගතියෙන් මිදී ඇත්තේය.
“ඒ කාලේ කනත්ත පෙනුණේ විවෘතව... තාප්පයකින් කනත්ත වටවෙලා තිබුණේ... ඒ නිසා හුඟ දෙනෙකු කනත්ත ළඟින් යද්දි බියක් සැකයක් තිබුණා. ඒ බය නැතිකරන්න තමයි 1987 ගම් උදාවට සෙල්ල කතරගම හදපු වැට ගලවලා කනත්තේ තාප්පය වෙනුවට ඒත හිටෙව්වේ... දැන් මිනිස්සුන්ට කනත්ත දැකලා දැකලා බය තුනීවෙලා... ප්‍රධාන සුසාන භාරකරු චානක කේ. පෙරේරා මහතා කියයි.
බොරැල්ල කනත්ත අක්කර 48 ත් 50 ක භූමි ප්‍රමාණයක පිහිටා තිබේ. දිනකට බොරැල්ල කනත්තට ගෙනෙන මළසිරුරු සංඛ්‍යාව පහළොවකට ආසන්නය. 1850 ඔක්තෝම්බර් මස 28 වැනිදා කාන්තාවක් මිහිදන් කිරීමෙන් ඇරැඹි කනත්ත තුළ මේ වන විට ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් ආදාහන හා භූමිදාන කර ඇතැයි ප්‍රධාන සුසාන භාරකරු කියයි. ලේඛනවල එසේ සඳහන් වුවද මීට කලින් සිට ම කනත්ත උපයෝගී කරගෙන ඇතැයි පැවැසේ.
19 වැනි ශතවර්ෂයේ සුසාන භූමි හා භූමිදාන ආඥාපනත යටතේ මෙහි පාලනය කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදුවෙයි. කොළඹ බොරැල්ලට අමතරව ටොරින්ටන් (ජාවත්ත) කිරුලපන හා මාදම්පිටිය සුසාන භූමිය ද එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි. එම සුසාන භූමිවල සනීපාරක්ෂක කටයුතු සඳහා වසරකට මිලියන 54 ක් වැයවෙන බව ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී දොස්තර ප්‍රදීප් කාරියවසම් මහතා කියයි. සේවකයන්ගේ වැටුප්, නඩත්තු කටයුතු මෙන්ම ආදාහනාගාරවල ගෑස් ඇතුළු වෙනත් කටයුතු සඳහා මෙම මුදල් වෙන් කෙරේ.
“කොළඹ නගරයේ ජීවත්වෙන සෑම පුරවැසියෙකුගේම සිරුර මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට කනත්ත ඉඩකඩ සලසා දී තිබේ. කොළඹ විතරක් නෙමේ පිටස්තරයන්ටත් පුළුවන්... කොළඹ කෙනෙකු භූමිදානය කරන්න ගත්තේ රුපියල් තුන්සියයයි. ආදාහනයට රුපියල් දාහයි... පිටස්තරයෙකුට භූමිදානයට එක්දහස් පන්සියයයි... ආදාහනයට රුපියල් පන්දාහයි... ඒත් මෙතන එකක් තියෙනවා... ඉස්සර වගේ... දැන් වළවල් විකුණන්නේ නැහැ... පිටස්තර අයට කොහොමටත් ගන්න බැහැ... ඒත් කොළඹ පදිංචිකරුවන්ට පමණක් භෂ්මාවශේෂ තැන්පත් කරන්න ස්මාරකය හදන්න විතරක් 2 x 2 වළක් ලබා ගන්න පුළුවන්...” කාරියවසම් මහතා කියයි.