‘ටිකෙන් ටික’ ගීතය - daddy

youmustsee

Member
Dec 9, 2010
6
3
0
‘ටිකෙන් ටික’ ගීතය - daddy

‘ටිකෙන් ටික’ ගීතය - daddy

විවාහ මංගලෝත්සවයකදී මනාල යුවළට ආශීර්වාද කිරීමේ අරමුණින් භාවිතා කරන “භවතු සබ්බ මංගලම්” යන බෞද්ධ ආශීර්වාද ගාථාව, ලාංකේය ජනතාවගේ හදවත්වලට බෙහෙවින් සමීප වූවකි. එසේ වතු දු, එම ආශීර්වාද ගාථාව මෙරට ජන සමාජය තුළ තදින්ම මුල්බැසගෙන ඇත්තේ, එය විවාහ මංගලෝත්සවයන්හිදී ආශීර්වාද පිණිස භාවිතා වන නිසාම පමණක් ද නොවේ. ‘ඩැඩී’ සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ නමද, ඉහත කී භවතු සබ්බ මංගලම් ගාථාව හා බැඳුණු කතාබහකට මේ දිනවල ඈඳී තිබේ.

ඒ ඔහු එම භවතු සබ්බ මංගලම් යන ගාථාව සිය ගීත නිර්මාණයක් සඳහා නොගැළපෙන පරිදි යොදාගෙන ඇති බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙන නිසාය.
ආන්දෝලනයට තුඩුදී ඇති, ගයාන් පෙරේරා ගායනා කරනු ලබන ‘ටිකෙන් ටික’ ගීතය ගැන කතාබහ, මෙරට ගීත රසිකයන්ගේ මෙන්ම ගීත පිළිබඳව වැඩි අවධානයක් නොමැතිවූවන් අතර පවා ටිකෙන් ටික පැතිර ගොස්, අද වන විට රට තුළ විශාල කතිකාවක් ඇතිවන තත්ත්වයකට පත්වීම ඇරඹුණේ, ඉකුත් 08 වැනි දින ඇති වූ සිද්ධියකින් අනතුරුවය. ඒ, ගංගොඩවිල සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී ත්‍රිපිටකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මහමීතව පඤ්ඤාරතන හිමියන් විසින් ගයාන් පෙරේරාට එරෙහිව මිරිහාන ‍පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. උන්වහන්සේ එමගින් චෝදනා නගා තිබුණේ බෞද්ධයන් විසින් වන්දනීය සහ ආශීර්වාදාත්මක ලෙස භාවිතා කරන භවතුසබ්බ මංගලම් නම් වූ ගාථාව,ගයාන් පෙරේරා විසින්”ටිකෙන් ටික” ගීත-යේදී,මධුසමය ගතකරන තරුණ යුවළකගේ දර්ශන ඇතුළත් රූප රාමු සහිතව විකෘති ලෙස භාවිතා කොට ඇති බවය.
පඤ්ඤාරතන හිමියන්ට අනුව, බුදුදහමට අපහාස කෙරෙන අවස්ථා පිළිබඳව උන්වහන්සේ නීතියේ පිළිසරණ පැතූ පළමු වතාවට මෙය නොවේ.
“මීට පෙරත් කිහිපවතාවක්ම බුදු දහමට අපහාස වන මේවගේ අවස්ථා ගැන මම පැමිණිලි කරලා තියෙනවා. ඒත් ඒ කිසිදු අවස්ථාවක ඒ පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ටවූයේ නැහැ. ගයාන් පෙරේරා කියන ගායකයා භවතුසබ්බ මංගලම් යන බෞද්ධ ආශීර්වාද ගාථාව භාවිතා කරලා මේ වගේ ගීතයක් නිර්මාණය කරලා තියෙන බව ආරංචි වුණාම මම එය අන්තර්ජාලයෙන් නැරඹුවා ඉන්පසුව මම ඒ පිළිබඳව පසුගිය 08 වැනිදා 53/70 දරන අංකය යටතේ මිරිහාන ‍පොලීසියේ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. භවතුසබ්බ මංගලම් ගාථාව කියන්නේ බෞද්ධයන්ගේ අධ්‍යාත්මයන් එක්ක බැඳුණු භික්ෂුන් වහන්සේලා බොහොම සංයමයෙන් සජ්ජායනා කරන ගාථා ත්‍රිත්වයක්. නමුත් එම ගාථාව මෙම ගීතයේ මධුසමය ගතකරන යුවළකගේ අසංවර දර්ශනයක් සඳහා ඉතා කැත විදිහට යොදාගෙන තිබෙනවා. මේවා ඉතා සරල දේවල් කියාල හිතාගෙනයි ඔවුන් තමන්ගේ වෙළෙඳ අරමුණු මුදුන් පත්කරගන්න මේ ගීතයට එම ගාථාව යොදා ගෙන තිබෙන්නේ. අදාළ චෝදනාවට සම්බන්ධ පුද්ගලයා හෝ ඔහුගේ තරාතිරම අපට වැදගත් නැහැ. මම ඉල්ලන්නේ යුක්තියක්. ඒ යුක්තිය ඉටුවන තුළ මම මේ විරෝධය දිගටම ගෙන යනවා.”
පඤ්ඤාරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ,යම් හෙයකින් මෙම පැමිණිල්ල සම්බන්ධව සාධාරණයක් ඉටු නොවුණහොත් තම මානව හිමිකම් කඩවූ බවට නඩුවක් ගොනුකරන්නටද තමන් වහන්සේ සූදානමින් සිටින බවයි.
“මම 2010 නොවැම්බර් 02 වැනිදා මිරිහාන ‍පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා” එක්තරා දේවස්ථානයක් බෞද්ධ මංගලෝත්සවවලදී භාවිතයට ගන්නා ජයමංගල අෂ්ටක ගාථා සහ සෙත්කවි විකෘති කොට අත් පත්‍රිකා බෙදා හැරීමක් ගැන. ඒ වගේම මීට මාස 3කට පෙර කොටුව ප්‍රදේශයේ ආයතනයක් සාරියක බුදු පිළිම මුද්‍රණය කර විකිණීම ගැන පැමිණිලි කළා. ඉන්පසුව සෙරෙප්-පුවල ධර්ම චක්‍ර සළකුණු ඇතුළත් කරලා බ්‍රෙවර්ලි මාවතේ විකිණීම ගැනත් පැමිණිලි කළා. ඒත් මේ කිසිම අවස්ථාවක මට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. මේ කරුණු සම්බන්ධයෙන් මම සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවටත් ලිපියක් මගින් දැනුවත් කළා. යම් හෙයකින් මේ පැමිණිල්ලටත් යහපත් ප්‍රතිචාර නොලැබුණොත් මානව හිමිකම් නඩුවක් පවරන්නත් මම මේ වන විට තීරණය කර තිබෙනවා.”
පඤ්ඤාරතන හිමියන්ගේ මෙම පැමිණිල්ලෙන් අනතුරුව ජාතික හෙළ උරුමයද මේ සම්බන්ධව සිය ස්ථාවරය ඉදිරිපත්කොට තිබුණි. එහිදී එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබුණේ බුදු දහමට අපහාස වන පරිදි රැප් සංගීතය යොදා ගනිමින් ගයාන් පෙරේරා නිර්මාණය කර ඇති එම ගීතය වහාම තහනම් කිරීමට කටයුතු යෙදිය යුතු බවත්, එම ගීතය සඳහා එම ගාථා පාඨය යොදා ගැනීමේ අරමුණක් තිබුණේ නම් එය බුදු දහමට අපහාස නොවන පරිදි යොදා ගතයුතුව තිබූ බවත්ය.
ගීත නිර්මාණයක් සඳහා ආගමික දෑ ඈඳාගැනීම හේතුවෙන් මතෛක් මෙරට අන්දෝලනයට ලක්වූ ගීතය, ගයාන්ගේ “ටිකෙන් ටික” පමණක් නොවේ. නව පරපුරේ සංගීතඥයන් දෙදෙනකු වන ඉරාජ් සහ පේෂල විසින් ගායනා කරනු ලබන සිත්ති මනිලා ගීතය මාධ්‍යවලින් ප්‍රචාරය කිරීමට වැට බැඳුනේද මේ හා සමාන කරුණක් පදනම් කර ගනිමිනි.
කෙසේ වෙතත්, ටිකෙන් ටික ගීතය පිළිබඳව සංවාදය පැවැත්වෙන අතරතුර, ශ්‍රී ලංකාව තුළ ගීත නිර්මාණ ප්‍රසිද්ධියට පත්කිරීමේදී රැඟුම් පාලක මණ්ඩලයක නිර්දේශයට ලක් කෙරෙන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බවත්, ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් වූ ප්‍රකාශයක් සංස්කෘතික ඇමැති ටී.බි. ඒකනායක මහතා විසින් මීට දින කිහිපයකට පෙර නිකුත් කළේය. ඊට ප්‍රස්තුතය වී තිබුණේ ද ටිකෙන් ටික ගීතයට එරෙහිව එල්ල වී තිබූ විරෝධයයි.
භවතුසබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු භාවේන
සදා සොත්ථි භවන්තුතේ
යන ආශීර්වාද ගාථාව විවාහ මංලෝත්සවයන්හිදී භාවිතා කරන්නක් පමණක් නොව දානමය පින්කම් මහ පිරිත සර්ව රාත්‍රික පිරිත් දේශනා ආදී අවස්ථාවලදී ද ආශීර්වාද පිණිස සජ්ජායනා කරන්නකි.
එහි අර්ථය වන්නේ සියලු යහපත වේවා, සියලු දෙවියෝ රකිත්වා, සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් හැම කල්හිම ඔබට යහපතක් වේවා යන්නය. එම ආශීර්වාද ගාථාවෙහි සබ්බ බුද්ධානු භාවේන යන පදය වෙනුවට සබ්බ ධම්මානු භාවේන සහ සබ්බ සංගානු භාවේන යන පද යොදා ගැනීමෙන් අර්ථ ගැන්වෙන්නේ සියලු ධර්මයේ ආනුභාවයෙන් සහ සියලු සංඝයාගේ ආනුභාවයෙන් යහපතක් වේවා යන්නයි.
කෙසේ වෙතත් ගයාන් පෙරේරා සිය ගීත නිර්මාණය සඳහා එකී ගාථා ත්‍රිත්වය යොදා ගැනීම හරහා ලාංකේය සමාජය තුළ ඇති වී තිබෙන කතිකාව, කලාකරුවන් ආගමික කරුණු සිය නිර්මාණයන් සඳහා යොදා ගැනීමේදී පවත්වා ගත යුතු සීමාවන් සහ ඒවායේ භාවිතයන් පිළිබඳ නැවත සිතා බලන්නට අවස්ථාවක් සලසාදී ඇති බව නම් කිව යුතුමය.

එල්ලවී ඇති චෝදනාවන්ට ගයාන් ප්‍රමුඛ ඩැඩී සංගීත කණ්ඩායම ලබාදුන් පිළිතුර

1. ඔබ විසින් ගායනා කරනු ලබන ‘ටිකෙන් ටික’ ගීතයට, බුදුදහමේ එන ‘භවතු සබ්බ මංගලම්’ යන ගාථාව යොදා ගත්තේ කුමන අරමුණකින්ද?

අප විසින් නිර්මාණය කරන ලද ටිකෙන් ටික ගීතයේ මූලික අන්තර්ගතය විවාහ මංගල්‍යයයි. එහිදී මනමාලයා හට තමන්ගේ සිත තුළ නැගෙන, රෝපණය වන සිතුවිලි අසන්නන්හට දැකීමට සැලැස්වීමයි. අපගේ මූලික අභිප්‍රාය වුණේ මෙහිදී පසු කළ ජීවිතයේ හැලහැප්පීම් සහ ජයග්‍රහණ මෙම ගීතය තුළ ඉස්මතු කර දක්වනවා.
‘ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව’
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන මිනිසුන් ලෙස අප අත්විඳින දේ අපගේ නිර්මාණවලට ඉවහල් වෙනවා. අතීතයේ සිටම විවාහ මංගල උත්සවවලදී ‍පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීමේදී මෙම ගාථා යොදා ගන්නවා අප දැක තිබෙනවා. එහි මූලික අරමුණ නම් නව යුග දිවියට පත්වන මෙම යුවළට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබ සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලබා දෙන ලෙස කරන ඉල්ලීමක්.
ගීතයේ මනමාලයා සිටින්නේ තම මංගල දිනයේ තම මනමාලිය හා දෑඟිලි බැඳෙනා මොහොතේයි. එම අවස්ථාවේ අසන්නන් හට තවත් එය සිතට සමීප කිරීමට අප මෙම ගාථා යොදා ගත්තා. කලා නිර්මාණයකදී සිදුවන්නේ අප සමාජීය ලෙස අත්විඳින අත්දැකීම් නැවත භාවාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමයි. සැබෑ ජීවිතයේ අප විවාහයක දුටු අත්විඳි දේ අප අපගේ නිර්මාණය තුළින්ද මෙලෙස එළිදැක්වූවා.

2. එම ගීතයට ‘භවතු සබ්බ මංගලම්’ යන ගාථාව යොදා ගැනීම පිළිබඳව මේ වන විට බොහෝ විවේචන එල්ලවී තිබෙනවා. ‘ටිකෙන් ටික’ ගීතයට එම ගාථාව යොදා ගැනීමෙන් ඔබ සිදු කර තිබෙන්නේ වරදක් බව ඔබ දැන් සිතනවාද? නැතිනම් කලාකරුවෙකුට තමන් කැමති ලෙසකට නිර්මාණයක් බිහිකිරීමේ නිදහස තිබිය යුතු යැයි සිතනවද?

එසේ යොදා ගැනීම කිසි ලෙසකත් වරදක් ලෙස අප සිතන්නේ නැහැ. මෙම ගීතයේ අප කතා කරන්නේ යුද්ධය සම්බන්ධව හෝ ප්‍රේමයේ අනඟ රැඟුම් හෝ පාසල් ජීවිතය ගැනවත් නොවෙයි. අප කතා කරන්නේ විවාහ මංගල උත්සවයක් ගැනයි. සම්මත සමාජ ක්‍රමය තුළ එය විවාහය සඳහා යොදා ගැනීම වරදක් නොවෙයි නම් එය ආශ්‍රිතව කරන නිර්මාණයකට යොදාගැනීම වරදක් නොවෙයි. ඒ ආශ්‍රිතව කරන නිර්මාණයකට එම පාඨය යොදාගැනීම සාධාරණ යයි අපි සිතමු. විවාහ දිනය ගැන කතා කරන ගීතයකට එය යොදාගැනීම වැරදියි නම්, එය සැබෑ ජීවිතයේදී යොදාගැනීමද වැරදිය. රතන සූත්‍රය යොදාගෙන පාසල් ජීවිතය ගැන ගීතයක් නිර්මාණය කිරීම වැරදියි. මහා මංගල සූත්‍රය යොදා මධුසමය ගැන ගීතයක් නිර්මාණය කිරීමද වැරදියි. අපිත් එකඟවන්නේ නැහැ. එහෙත් සම්මත සමාජය තුළ යොදා ගන්නා නිවැරදි දෙයක් ගීතයකින් ප්‍රතිනිර්මාණය කිරීම වරදක් ලෙස දකින්නේ නැහැ. අපට එල්ල කර ඇති විවේචන නම්, ගීතයේ මධුසමය ගැන කතා කිරීම, වීඩියෝ පටයේ කාමුක දර්ශන ඇතුළත් වීම, අප සංගීත කණ්ඩායමේ සාමාජිකයන් කතෝලික වීම සහ ‘භවතු සබ්බ මංගලම්’ යන ගාථා අචන කර ගායනා කිරීමයි.
මේ සියලු චෝදනාවලට කිව හැක්කේ ගීතය හා රූප රචනය නැවත වරක් මුලසිට නරඹන්න. එවිට උත්තර ලැබෙනවා ඇති.
ගීතයේ මධුසමය වචනය පවා යොදා ඇත්තේ එක් වරක් පමණි. එහි සඳහන් කර ඇත්තේද ‘කොනක ඉඳන් බලන් ඉන්නේ යාළුවෝ කැලක්. යන්නට පෙර තිබූ මධුසමයට දෙන්න ලොකු දුකක්’ මෙහි කොතනකවත් මධුසමයේ සිදුවන දේ ප්‍රකාශ කර නැහැ.
රූප රචනයේ කාමුක දර්ශන ඇත්නම් අප හට පෙන්වන්න. එම දර්ශනවල යම් කාමුකත්වයක් ඇත්නම් එය පටු මානසිකත්වයක්. ගාථා පාඨ යන විට ඇති රූප රාමුවේ ඇත්තේ තරුණයා හා තරුණිය අතර යම් ගැටලුවක් ඇතිවී එය නිරාකරණය වන අවස්ථාවකුයි.
අප සංගීත කණ්ඩායමේ සාමාජිකයන් කතෝලිකයන් වීම දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. එය දකින්නේ අන්තගාමිත්වයක් ලෙසය. කලා නිර්මාණයකට ජාති, ආගම්, කුල භේදයක් නැහැ. අප සියලු දෙනාම මිනිසුන්. මගේ මව බෞද්ධ වන අතර පියා කතෝලිකයි. එම චෝදනා තුළ ඇත්තේ පටු මානසිකත්වයක්. සියලු දෙනාම මිනිසුන් ලෙස දකින්න. අපි සියලු ආගම්වලට එක ලෙස ගෞරව කරනවා.
‘භවතු සබ්බ මංගලම්’ යන ගාථා පාඨය අප යොදාගෙන ඇත්තේ කෙලෙස දැයි අවධානය යොමු කරන්න. අචන කර ඇත්තේ කොතැනද යන්න ප්‍රකාශ කරන්න. අචන කරනවා යනු එය නොවන බව කරුණාවෙන් සලකන්න. එම පාඨය ගායනා කිරීමට අප යොදාගෙන ඇත්තේ ඒ සඳහා අත්දැකීම් ඇති පුද්ගලයෙකි. කොටින්ම අප සංගීත කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙක් එම පාඨය ගායනා නොකරයි. තවද එය යොදා ඇත්තේ මංගල උත්සවයක ‍පෝරුව මත සිටින නව යුවළට ආශිර්වාද කරන අෂ්ටක කියන තැනැත්තා සිහිවීමටය. එම අවස්ථාව සිහිගැන්වීමටයි.

3. එම ගීතයට ‘භවතු සබ්බ මංගලම්’ යන ගාථාව යොදාගැනීම පිළිබඳව මේ වන විට බොහෝ විවේචන එල්ලවී තිබෙන නිසා ‘භවතු සබ්බ මංගලම්’ යන ගාථාව තිබෙන කොටස ඉවත් කර යළිත් ගීතය එළිදක්වන අදහසක් තිබෙනවද?

එවැනි අදහසක් කිසිසේත්ම නැහැ. එයට හේතුව මෙම ගීතය නිර්මාණය කළ මුල් අවස්ථාවේ සිටම කිසි ලෙසකවත් අප සිතේ පටු අදහසක් තිබුණේ නැති නිසා, අපගේ මූලික සිතුවිල්ල පිරිසිදුයි. අපට කිසිම ආගමකට ජාතියකට අපහාස කිරීමට කිසිදු අදහසක් නැහැ. එමෙන්ම මෙම ගීතයට පෙරද බුද්ධ ගාථා යොදා නිර්මාණය කළ බොහෝ ගීත අපගේ සංගීත ක්ෂේත්‍රයේ බිහිවී ඇති බව කරුණාවෙන් සලකන්න. ආරක්ෂක ගාථා යොදාගැනීම වැරදි නම් බුද්ධ ගාථා යොදා ගැනීමද වැරදියි. එමෙන්ම බුදු ගුණ ගීත බොහෝ අවස්ථාවල එළිමහන් ප්‍රසංගවල, ජනප්‍රිය සංගීත කණ්ඩායම් සමග ගායනා කරනවා දැක තිබෙනවා. එසේ නම් ඒවාද වැරදියි. අපි සියලු මතවලට ගරු කරනවා. එහෙත් නීතිය සියලු දෙනාටම ‍පොදු හා සමාන විය යුතුයි.