You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එතකොට කැපුනනෙ
”මේ බලනවකො. අයිසෙ, මගෙ දැලි පිහියෙ මුවාත ඊයෙ හොඳට තිබුණා, දැන් මේක මොට්ට වෙලානෙ.”
රැකියාවට යාම සඳහා රැවුල බාමින් සිටි මනෝජ් තම බිරිඳ දෙස බලා කීවේ කෝපයෙනි.
”මොනවා! වෙන්ඩ බෑ. ඊයෙ රෑ මම මැල්ලුම් ලියද්දි යස අගේට කැපුනෙ.”
මැටිල්ඩා කීවේ පුදුම වෙමිනි.

ඇල්ලූ ප්‍රමාණය
බිලී බෑමෙන් තම ජීවිකාව කරගත් ධර්මදාස දිනක් තම පුතුන් තිදෙනා මාළු බාමින් සිටිනවා දැක ඔවුන්ගේ හපන්කම් විමසා බැලීමට සිතීය.
”හොඳයි කියනවලා බලන්ඩ, දැන් තමුන් කොයිතරම් මාළු අල්ලලා තියෙනවද කියලා.”
පුතුන් තිදෙනා ඇමතූ ඔහු කීවේය.
”තව එකෙක් ඇල්ලුවාම විස්සයි.” ලොකු පුතා ආඩම්බරයෙන් පිළිතුරු දුන්නේය.
”තව එකෙක් ඇල්ලුවාම දහයයි.” දෙවැන්නා කීවේද අභිමානයකිනි.
”තව එකෙක් ඇල්ලුවාම එකයි.” බාල පුතා හීන් සීරුවේ පිළිතුරු දුන්නේය.

ගෙනාවේ කවුද?
”ඊයේ වේල් තුනටම අපි කෑවේ කුකුල් මස් මෙයා.”
ශි‍්‍රයානි උදේ තේ බොන අතරතුරදි අනුලාට කීවේ තරමක උජාරුවකිනි.
”කවුද කුකුළා ගෙනාවේ? ඔයාගෙ මහත්තයද?”
අනුලා ඇසුවේ ඉරිසියාවෙන් කට ඇද කරමිනි.
”නෑ අනේ, මේ අපේ බල්ලා..” ශි‍්‍රයානි කීවාය.

ඕනෑ දේ
එය රොෂාන්ගේ ප්‍රථම විදේශ සංචාරය විය. ගමන අවසානයේ ආපසු සියරට පැමිණි ඔහුගෙන් ඔහුගේ මිතුරු චමිල මෙසේ ඇසීය.
”කොහොමද රොෂාන් පිටරට ට්‍රිප් එක ජොලිද?”
”මොන ජොලියක් ද බං, ප්ලේන් එකේ යන එක මට එක ගමනින්ම එපා වුණා.”
රොෂාන් කීවේ කනස්සලු පෙනුමක් මවා ගනිමිනි.
”ඒ මොකද?” චමිල ඇසුවේ විමතියෙනි.
”හරි ලස්සන ගුවන් සේවිකාවක් මා ළඟට ආවා. මම එයා දිහා බලා හිටියේ හරිම ආසාවෙන්. එයා මාව පටියකින් සීට් එකට තියලා බැඳලා ඉවරවෙලා මගෙන් අහනවා, ‘ඔයාට මොනවා හරි ඕනෙද’ කියල.” රොෂාන් කීවේ අපේක්‍ෂා භංගත්වයකිනි.

පේ‍්‍රම මන්දිරය
”තමාරි, රත්තරනේ, මට ඔයාගෙ හදවතේ ප්‍රේම මන්දිරයක් හදන්න ඉඩ දෙනවා නේද?”
පිටරට සිට ආ කුමුදු තම පෙම්වතිය සමඟ තනිවූ මොහොතක කීවේ උතුරා යන ප්‍රේමයක් ඇය වෙත පළ කරිමිනි.
”ඔයාට පිස්සුද බබෝ! ඒ වගෙ ගෙයක් හදන්න මගෙ හදවතේ ඉඩ තියෙනවයැ. ඇයි අර ඔයා අලුතින් ගත්ත ඉඩමේ ඒක හදා ගමුකො අනේ.”
තමාරි තොදොල් බසින් පිළිතුරු දුන්නාය.


කොච්චර කල් ඕනෙද?
අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් මානසික රෝගියකු එම වාට්ටුවේම සිටි තවත් රෝගියෙකුට බැණ වදිමින් සිටියේය. ඔහු කී දෑ දෑස් දල්වා අසා සිටි අනිකා අන්තිමේදී මෙසේ කීය.
”තමුසෙ දැන් ඔය කිව්ව කැත කතාව ඉල්ලා අස්කර ගන්ඩ මම තමුසෙට විනාඩි 5 ක් කල් දෙනවා.”
පසු බැස්සේ පළමුවැන්නා නොවේ. හේ මෙසේ කීය.
”හොඳයි විනාඩි 5 කින් මම ඒ කතාව ඉල්ලා අස්කර නොගත්තොත්...”
”එහෙනං තමුසෙට ඒකට තව කොච්චර කල් ඕනෙද?” අනෙකා වහා ඇසීය.


මං එල්ලෙනවා
‘ඉන්දියාවේ ඉස්සර හිටිය ගෑනු තමන්ගෙ ස්වාමිපුරුෂයා මැරුණම, ඒ සොහොනටම පැනලා මැරෙනවලු නෙ. ඉතින් හදිස්සියෙ මං මළොත් එහෙම ඔයා මොනවද කරන්නෙ?’ පේ‍්‍රමපාල සුමාලිගෙන් ඇසුවේ තම විවාහයේ පළමු සංවත්සරය සමරා චිත්‍රපටයක් බලා ආපසු එමින් සිටියදීය.
‘මං එල්ලෙනවා.’ සුමාලි වහාම එසේ පවසද්දී ඉන් තිගැස්සුණු පේ‍්‍රමපාල මෙසේ ඇසීය.
‘මොනවා! කොහෙද ඔයා එල්ලෙන්නෙ?’
‘වෙන කොහෙද පේ‍්‍රම්. අල්ලපු ගෙදර ඉන්න අර තරුණ හාදයගෙ බෙල්ලෙ මිසක්.’ සුමාලී කීවේ ලැජ්ජාවෙන් මෙනි.


එතකොට කාර් එක?
සංජීව එක් අතකින් තරුණියක් වැළඳ ගෙන අනෙක් අතින් රිය පදවනවා දුටු මහ පාරේ රථවාහන හැසිරවීමේ නිරත වී සිටි පොලිස් භටයා නළාව පිඹ වහා රථය නතර කිරීමට සංඥා කළේය. සංජීව වාහනය නතර කළේ ද තරුණිය වැළද සිටි අත එලෙසම තබා ගෙනය.
රථය වෙත ළංවූ පොලිස් භටයා රථය තුළට නැමී සාවඥ ස්වරයෙන් මෙසේ ඇසීය.
‘තමුසෙට ඔය වැඩේට අත් දෙකම යොදවන්ඩ බැරිද?’
පුළුවන්. ඒත් එතකොට කාර් එක එලවන්නෙ තමුසෙද?’ සංජීව පෙරළා ඇසීය.


පහළින් ඉහළටම
‘චතුරංග, උඹ දැන ගනින්. මම මේක කියන්නෙ බොහොම ආඩම්බරයෙන්. මම බොහොම පහළින් රස්සාව පටන් අරන් ඉහළටම ආපු මිනිහෙක්, හරි ද?’ අජිත් තම මිතුරු චතුරංගට කීවේ බාර් එකේ අඩියක් ගසමින් සිටියදීය.
‘ඒ කියන්නෙ?’ චතුරංග විමසුවේ, අජිත් කී දෑ හරිහැටි නොතේරුණු බැවිනි.
‘ඒ කියන්නෙ මුලින්ම මම සපත්තු පොලිෂ් කළා. දැන් කොණ්ඩේ කපනවා.’ අජිත් ආඩම්බරයෙන් කීය.


තමා කීම
‘තමා මට තමා කිව්වට වැරදිකරු ද නිවැරදිකරු ද?’
විනිශ්චයකාරවරයා කූඩුවේ සිටි විත්තිකරු දෙස දැඩි බැල්මක් හෙළා විමසුවේ, හේ විනිසුරුවරයා ‘තමා’ යනුවෙන් ඇමතීමෙන් හටගත් කෝපයෙනි.
‘තමා මට තමා කිව්ව හින්දා තමා, මම තමාට තමා කිව්වේ?’ විත්තිකරු සැනෙකින් පිළිතුරු දුන්නේය.


තනියම පුළුවන් ද?
‘ඇත්ත කියාපන් ඉන්ද්‍රානි, මොකටද අද දවල් තකහනියක් ටවුමට ගියේ?’ සවස ගෙදර පැමිණි පිත්තු තම බිරිඳට තර්ජනය කරමින් ඇසීය.
‘ඔහේ එහේදිත් ගෙදරදි වගේ් ම බීගෙන නටනවද බලන්ඩ මිසක් වෙන අහවල් දේකටද?’ ඉන්ද්‍රානි කිසිදු වෙනසක් නොපෙන්වා වහා පිළිතුරු දුන්නා ය.
‘හොඳයි මොනවටද එහෙනං අල්ලපු ගෙදර වීරක්කොඩියත් එක්ක ගියෙ.’ පිත්තු ඊළඟ ප්‍රශ්නය ඇසුවේ තම බිරිඳ කොටුකර ගන්නා අදහසිනි.
‘ඇයි වදේ, ඔහේ බීලා කොහේ හරි කාණුවක වැටිලා හිටියොත් මට පුළුවන්ද තනියෙන් උස්සන්ඩ පෙරළන්ඩ?’ ඉන්ද්‍රානි දෑස් නටවමින් ඇසුවාය.


ඇඬුනෙ දුකට
‘උඹෙ අලුත් නවකතාව කියවල මට ඇඩුණා?’ ජයකොඩි, මල්ලවාරච්චි සමඟ කීවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පොත් ප්‍රදර්ශනයේදීය.
‘ඇයි, ඒකෙ කතාවට උඹට දුක හිතුණ ද?’ මල්ලවාරච්චි ඇසුවේ හිතේ උපන් ආඩම්බරය සඟවා ගනිමිනි.
‘දුක හිතුණා තමයි. ඒත් ඒ, ඒකෙ කතාවට නං නෙමෙයි. ඒ පොතට දුන්නු සල්ලිවලට.’ ජයකොඩි කීය.


ලක් කාරයා
‘හරි පුදුම කතාවක් නෙ අනේ මේ පත්තරේ තියෙන්නෙ. එක බිරිඳක් එයාගෙ ස්වාමි පුරුෂයා එක්ක අවුරුදු තිහක් තිස්සෙ එකම වචනයක් වත් කතා කළේ නෑ කියල තියෙන්නෙ.’
චම්පා කියවමින් සිටි පුවත්පතෙන් හිස මෑත් කොට හේමන්ත දෙස බලා කීවාය.
‘ෂ: ඒ මිනිහා හරි ලක් කාරයෙක් නෙ.’ හේමන්ත සිනාසෙමින් කීවේය.

මගෙ හොඳට නෙ
‘අනේ ශි‍්‍රයානි, මට දරාගන්ඩ බැරි මගෙ කාරෙකටම යට වෙලා ඔයාගෙ මහත්තයා මැරුණට. මං තුන් හිතකින් වත් හිතල කරපු දෙයක් නෙමෙයි ශි‍්‍රයානි ඒක.’
අනෝමා, ශි‍්‍රයානි වැළඳ ගනිමින් කීවේ දෑසින් කඳුළු උතුරුවමිනි.
‘මම ඔයා එක්ක තරහා නෑ අනෝමා. මම දන්නවා ඔයා හැම දෙයක් ම කරන්නෙ මගෙ යහපතට කියල.’ ශ්‍රීයානි, අනෝමාගේ පිට අතගාමින් කීවාය.


නෑදෑයෝ
වැඩ අවසන් ව නිවෙසට පැමිණි සාජන් මහත්තයා තම බිරිඳට මෙසේ කීවේය.
‘ඒකයැ වසන්තා, මගෙ නෑයො කට්ටියක් මේ නිවාඩුවට අපේ ගෙදර එනවා කියලා මට ටෙලිෆෝන් කරලා කිව්වනෙ.’
‘මළ කරදරයක් නෙ. බඩුමුට්ටුවල ගිනි ගණන්වල හැටියට මේක නෑයන්ට සලකන්ඩ පුළුවන් කාලයක්යැ.
ඉතින් ඔයා ඒ ගොල්ලන්ට කිව්වේ නැද්ද මේ නිවාඩුවට අපි ගෙදර නෑ කියල.’ වසන්තා පරල වී කියවන්නට ගත්තා ය.
‘මං කිව්වා ළමයෝ. යන්තං ඒ කරදරේ එතනින් ඉවර වුණා.’ සාජන් මහතා කීවේ කපටි සිනාවක් මුවඟට නංවමිනි.
‘හරි ෂෝක්. යන්තං බේරුණා. කවුද අනේ ඔය කිව්ව ඔයාගෙ නෑයො කට්ටිය?’
‘වෙන කවුද වසන්තා, ඔයාගෙ අම්මයි, තාත්තයි, අයියලා මල්ලිලා ටිකයි, අක්කල නංගිලා ටිකයි මිසක්.’
