දිනය: 2023 ජනවාරි 09
"Zwicky Transient Facility" (ZTF) මගින් 2022 වසරේ මාර්තු මස 03 වනදා ප්‍රථමවරට සොයාගත් මෙම වල්ගාතරුව "C/2022 E3 (ZTF)" ලෙස නම් කර ඇති අතර එය මෙම සතියේදී පෘථිවිවාසීන්ට පියවි ඇසින් දැකබලා ගැනීමට ඇතැම් විට අවස්ථාව හිමිවනු ඇත. මෙම සතියෙහි අගභාගයේදී "C/2022 E3 (ZTF)" වල්ගාතරුව සූර්යයාට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව ඇති අතර පෘථිවියෙහි උතුරු අර්ධගෝලයෙහි වෙසෙන්නන් හට පැහැදිලි සහ අඳුරු ආකාසයක් ඇති අවස්ථාවක දුර දක්නයක් භාවිතා නොකරමින් වුවද මෙම වල්ගාතරුව නිරීක්ශනය කළ හැකිය. සූර්යයාට ආසන්න වූ අවස්ථාවේදී වල්ගාතරුවෙහි දීප්තිය කෙතරම් වේ දැයි පුරෝකථනය කිරීම අපහසු කාර්යයකි.
පසුගිය සතියේ දිනක ලබා ගත් පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ මෙම "C/2022 E3 (ZTF)" වල්ගාතරුව හා එයට පසුබිමින් දිස්වන තරුපිරි මනරම් ආකාසය හසුකරගත් මොහොතකි. ඡායාරූපයෙහි ඉහළ දකුණු පස දක්වා විහිදී ගොස් ඇති වල්ගාතරුවෙහි අයන වල්ගයන් (ion tails) ත්‍රිත්වය මෙහිදී පැහැදිලිව නිරික්ශනය කළ හැකි අතර වල්ගාතරුවෙහි අයිස්මය න්‍යෂ්ටියෙන් (comet nucleus) නිකුත් කෙරෙන අයනයන් මත සූර්ය සුළංවල ඇතිවන වෙනස්වීම් මගින් ඇති කරනු ලබන බලපෑම් මෙම වල්ගයන් නිර්මාණය වීමට හේතු වී තිබේ. මේ වල්ගාතරුවෙහි වූ කෙටි දූවිලි වල්ගය ඡායාරූපයෙහි වම්පස ඉහළ කෙළවර දක්වා විහිදී ගොස් ඇති අයුරු ද මෙහිදී දැකගත හැකිය. "C/2022 E3 (ZTF)" වල්ගාතරුවෙහි 'කෝමාවෙන්' (comet's coma) නැගෙන කොළ පැහැති දීප්තිය හටගැනීමට එහි පවතින දිදුළන කාබන්ඩයොක්සයිඩ් වායුව හේතු වී ඇත. මෙම වල්ගාතරුව එළඹෙන පෙබරවාරි මස 01 වනදා පෘථිවියට වඩාත්ම ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව තිබේ.
Image Credit & Copyright: Jose Francisco Hernández
C/2022 E3 (ZTF)

