☸︎ දස රාජ ධර්මය ☸︎

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    z_p10-11-dasa.jpg

    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ එක් ගාථා රත්නයක දක්වා තිබෙන්නේ මේ කය වහා බිඳී යන මැටි බඳුනක් ලෙස දැන මේ සිත වටිනා අලංකාර නගරයක් ලෙස රැකගත යුතු බවයි. එසේ සිදුකොට ප්‍රඥාව නමැති අසිපතෙන් පහර දී මේ සිත අවුල් කරන රාග, ද්වේෂ, මෝහා දී කෙළෙස් සතුරන්ගෙන් මනා ලෙස රැකගත යුතු බවයි. එසේ රැකගත් සිත ආරක්ෂා කරගත යුතු බවයි. නගරූපම සූත්‍රයේදී අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගොස්, සදා සැනසිලිදායක නිවනට පත්වීමට කැමැති, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු ධර්ම රාජ්‍යයක් ගොඩනගා ගත යුතු අන්දම මනා ලෙස උන්වහන්සේ විස්තර කර තිබේ. එමෙන්ම මංගල සූත්‍රයේදී උන්වහන්සේ දක්වා තිබෙන්නේ ධර්මයේ හැසිරීමට නම් පතිරූප දේශයක, එනම් ඊට උචිත පරිසරයක් ඇති රාජ්‍යයක වාසය කිරීම අත්‍යශව්‍ය බවයි.

    පතිරූප දේශයක් ලෙස ගැනෙන්නේ සාමකාමී, සෞභාග්‍යවත් රාජ්‍යයකි. මෙහිලා එවැනි රාජ්‍යයක ස්වභාවය බුදුවදනට අනුකූලව විග්‍රහ කර ගැනීම අතිශයින් වැදගත් වනු ඇත. බුදුරදුන් දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය තුළින් මැනවින් දක්වා ඇති අන්දමට රාජ්‍ය බලය හැඳින්වෙන්නේ ‘ඉන්ද්‍රඛීලය’ ලෙසිනි. මේ උත්තරීතර වූ ‘රාජ්‍ය බලය’ , මුළු මහත් ලොව පුරා, ධාර්මිකව, පතුරුවා හරින බෞද්ධ පරමාදර්ශය සක්විති රජුය. චක්කවත්තී සීහනාද ආදී සූත්‍රයන්හි දැක්වෙන ලෙස මේ ධාර්මික සක්විති රජු සතුව සුවිශාල ඇත්, අස්, රිය, පාබල චතුරංගනි සේනාවක් පවතී. සප්තරත්නය පෙරටුව රාජ්‍ය කරන මේ සක්විති රජු වෙත මේ හමුදාවේ සියලුම අවශ්‍යතා සංතෘප්ත කොට ඔවුන් යහපත් මානසිකත්වයකින් තබා ගැනීමේ යුතුකම පැවරේ.

    බෞද්ධ දේශපාලන දර්ශනයට අනුව දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් දෙසූ ලෙස තම රාජ්‍යයේ වෙසෙන සියලු සත්ත්වයින්ට ආරක්ෂාව, රැකවරණය සැලසීමට පාලකයා බැඳී සිටින අතර එය ඔහුගේ පරම යුතුකම වෙයි. ඒ උදෙසා මනා සන්නද්ධ බලයක් තිබිය යුතු අතර ඇතැම් සාමවාදීන් කියනා අයුරින් ‘නහී වේරේන වේරානී’ ධර්මය දේශනා කොට හමුදා විසුරුවන්නැයි බුදුරදුන් කිසිදු විටෙක රජුන්ට අනුශාසනා නොකළ සේක. දැහැමින් සෙමින් රාජ්‍ය පාලනයෙහි යෙදෙන මෙබඳු සක්විති රජෙකු, ‘කේතුමතී නගරය’ අගනුවර කොට රජකම් කරන කාලෙක අනාගතයේදී මෛත්‍රී සම්බුදුරජාණන්වහන�� �සේ පහළ වන බැව් අනාගත වංස දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ අනාවැකියක් දේශනා කොට ඇත .

    මොනයම් හේතුවක් නිසා හෝ මේ ‘රාජ්‍ය බලය’ නම් ඉන්ද්‍රඛිලය බිඳ වැටුණහොත් ඒ හා සමඟම ඊට පහළ මට්ටමේ ඇති දස්සුඛීලය එනම් දාසයන්ගේ බලය නොඑසේ නම් සූත්‍ර අටුවාවේ කියැවෙන ලෙස චෞරයන්ගේ බලයෙහි නැඟීම ඇතිවේ. (දස්සු ඛීලයන්ති චෝර ඛීලං) අප රටේ පසුගිය කාලයේ පැවති තත්ත්වයට මෙය අදාළ කරගතහොත් රට තුළ ත්‍රස්තවාදී බලයේ නැඟීමෙන් පෙනී ගියේ ඉන්ද්‍රඛීලයේ, නොහොත් රාජ්‍ය බලයේ බිඳ වැටීම හා දස්සු ඛීලයේ නැඟීමයි.

    මෙහිදී රජුගේ කාර්යභාරය සලකා බැලීම වැදගත් ය. අග්ගඤ්ඤ සූත්‍රයෙහි දක්වන ලෙස මහා සම්මතයෙන් තෝරාගත් රජුගේ කාර්යභාරය, ගර්භා කළ යුත්තන්ට ගර්භා කර, පිටුවහල් කළ යුත්තන් පිටුවහල් කර, දණ්ඩනය ක්‍රියාත්මක කර, සමාජයේ ‘’නීතිය හා සාමය” සුරක්ෂිත කිරීමයි. එසේ කළ යුත්තේ දසරාජ ධර්මයන් හි දස සක්විති වත් මත පිහිටාය. එනම් ධර්ම රාජ්‍යයක් තුළදී රජු ඉතා ධාර්මිකව, පරමාදර්ශී ආධ්‍යාත්මික ගුණ වගාවකින් හා නොකැළැල් පෞරුෂයකින් යුතු චරිතයක් වීම අතිශයින් වැදගත් ය. ‘යථා රාජා තථාපජා’ ජනතාව හැඩ ගැසෙන්නේ රජුට අනුකූලවය. ‘සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති’ නායකයා සෘජුව යන විට සියල්ලෝම සෘජුව යති. රාජ්‍ය පාලනය තුළ පහත සඳහන් දස රාජ ධර්මයන් හා දස සක්විතිවත් අන්තර්ගත විය යුතුය. මේ දසරාජ ධර්මයෝ ජාතක පාලියේදී තථාගත සම්මා සම්බුදුරජාණන් විසින් දේශනා කොට අනුදැන වදාළ සේක.

    ඒවා නම්
    1. දානය
    2. පරිත්‍යාගය
    3. ශීලය
    4. තපස
    5. අහිංසාව
    6. අක්‍රෝධය
    7. සෘජුභාවය
    8. මෘදුභාවය
    9. ඉවසීම
    10. අවිරෝධතාව යන ඒවාය.

    206819077-262431355657210-8043310624235209175-n.jpg

    1.දානය - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.

    2.පරිත්‍යාගය - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.


    3.සීලය - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි. මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.


    4.තපස - ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ. මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.


    5.අවිහිංසාව - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.

    කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.


    6.අක්‍රෝධය - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි.



    7.සෘජුභාවය - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි.

    විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්‍රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.



    8.මෘදුභාවය - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.


    9.ඉවසීම (ක්ෂාන්තිය) - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.




     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    10.අවිරෝධතාව - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

    01. පවතින නීති නොකැඩීම, විශේෂයෙන් නීති සම්පාදනය කරන පාලකයන් හා නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් නීති නොඩකමින් ඒවා රැකගත යුතුය. නීති සම්පාදනය සදාචාරාත්මකව පංච ශීලය මත විය යුත්තේ ය. ශාසනයේ ආයුෂය විනය බවත්, රජයක ආයුෂය නීතිය බවත් බුදුරදුන් දක්වා ඇත. එහෙයින් දැහැමි පාලකයා සියල්ලටම ඉහළින් නීතිය රජ කරවිය යුතුවේ. නීතියේ අපක්ෂපාතිත්වය හා සාධාරණත්වය තහවුරු කරමින් එහි රැකවරණය සියල්ලන්ට සමව සැලැසිය යුතුය.​
    02. සමාජයේ සිටින වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතුය. ඔවුන්ගේ උපදෙස් ගරු කළ යුතුය.​
    03. සමාජයේ සිටින කාන්තාවන්ට මනා ආරක්ෂාව හා රැකවරණය සැළසිය යුතුවේ.​
    04. පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සිවුපසයෙන් සහ අනෙකුත් අවශ්‍ය උපස්ථාන කළ යුතුය. ඔවුන්ගේ් ධර්මානුශාසනා සැළකිල්ලට ගත යුතුය.​
    05. පවතින පූජනීය ස්ථානයන්ට රැකවරණය සැළසිය යුතුය.​
    06. රටේ පාලකයන් නිතර රැස්විය යුතුය.​
    07. රටේ පාලකයින් සමගිව රැස්වී සමගිව වැඩ කටයුතු කර සමගිව විසිර යා යුතුය. සමගිව රැස් වී කරන සාකච්ඡා වලින් බැසගන්නා නිගමන ක්‍රියාත්මක කිරීමට සමගිව පෙනී සිටිය යුතුය.​


    මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්‍ර රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ වදාළහ. මෙම ධර්ම මගින් බලාපොරොත්තු වන්නේ සාමුහිකව පාලනය කරනු ලබන සාමාජික හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධානය මෙහෙය වීමයි. .

    බුදුදහම ධාර්මිකත්වය කෙබඳු ආකාරයකින් අගය කළේද යන්න පසුකාලීනව බුදුගුණ අලංකාරය රචනා කළ වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත පහත පද්‍යයෙන් ගම්‍ය වේ.

    "රජුන් අදමිටුවත් - වෙති මැතිදෝ ද එපවත්
    දැක උන්ගේ පවත් - බමුණු ගහපතියෝ ද එගනිත්"

    රජු අදමිටු වන කල්හි සමීපයේ සිටින සියලුදෙනා ද අවසානයේ සමස්‌ත රටවැසියන් ද අදමිටු වේ. එම නිසා රජු කිසිදු අවස්‌ථාවක අදමිටු නොවිය යුතුය.

    කෙසේ වුවද, ගව රැළේ නායකයා ඇදට යන කල්හි සෙසු ගවයෝ ද ඇදට යති. එසේම රජු අදැහැමි වන විට රටවැසියෝ ද ඇදැහැමි වෙති. ගව රැළේ නායකයා සෘජුව යන විට සෙසු ගවයෝද සෘජුව යති. එසේම රටේ පාලකයා ධාර්මික වන කල්හි රට වැසියෝ ද ධාර්මික වෙති.

    බුදුදහමෙහි සඳහන් මෙම කරුණු තුළින් අනාවරණය වනුයේ පාලකයෙකු සතුව පැවති සුවිශේෂී ලක්‍ෂණයකි. එසේ නම් රාජ්‍ය පාලකයා අනුගමනය කළ යුතු කරුණු කවරේද එයින් රටක සමෘද්ධිය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ ද යන්න මෙම කරුණු අනුව ගම්‍ය වේ.

    Sources:

    http://bududhahama.blogspot.com/2016/03/blog-post_24.html
    facebook.com/Tharana.Television/photos/a.114399973793683/262431352323877/?type=3
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරන්න පුලුවන් ධාරිමික මිනිස්සු ඉන්න රටක පමණයි. තිරිසන් ගති ඇති නොහික්මුන මිනිස්සු ඉන්න රටකට ගැලපෙන්නෙ නෑ
     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරන්න පුලුවන් ධාරිමික මිනිස්සු ඉන්න රටක පමණයි. තිරිසන් ගති ඇති නොහික්මුන මිනිස්සු ඉන්න රටකට ගැලපෙන්නෙ නෑ
    දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරන තැන තිරිසන් ගති ඇති නොහික්මුන මිනිස්සු ඉන්න විදිහක් නැහැ.