දිනය: 2023 මාර්තු 10
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1344 ක් ඈතින්, 'Orion' තාරකා රාශියෙහි පිහිටා තිබෙන විසරණ නිහාරිකා (diffuse nebula) ගණයට අයත් වන ඔරායන් නිහාරිකාව (Orion Nebula - මෙය Messier 42, M42, හා NGC 1976 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) පෘථිවියට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙන විශාලතම නව තාරකාවන් උපැද්දවීම් සිදුකරන ප්‍රදේශයක් (star-forming region) ලෙසින් සලකනු ලබයි. පසුගිය ජනවාරි මාසයට අයත් දිනක උදාවූ ශීතල රාත්‍රියකදී හසුකර ගත් ඔරායන් නිහාරිකාව නිරූපණය කෙරෙන පහත දැක්වෙන තියුණු දුරේක්ෂීය ඡායාරූපය ඇමරිකාවේ, බටහිර වර්ජිනියා ප්‍රාන්තයට අයත් ප්‍රදේශයකදී හසුකර ගත්තකි. දිදුළන වායූන්ගෙන් හා උණුසුම්, යොවුන් තාරකාවන්ගෙන් වටකර ගනිමින් සැදුම් ලත් දැවැන්ත අණුක වළාවක් මගින් නිර්මාණය වී ඇති ආලෝක වර්ෂ 40 ක විෂ්කම්භයකින් යුක්ත වූ මෙම ඔරායන් නිහාරිකාව, ක්ෂීරපථය මන්දාකිණියේ අපගේ සූර්යයා පිහිටා ඇති සර්පිල බාහුවේම පිහිටා ඇත.
ඔරායන් නිහාරිකාවට සමගාමීව අයනීකෘත අන්තර් තාරකා පරමාණුක හයිඩ්රජන් වලින් සමන්විත වූ කලාපයක් එනම් "HII region" කලාපයකින් හා පරාවර්තන නිහාරිකාවකින් (reflection nebula) සැදුම්ලත්ව බිහිවූ "Sh2-279" (aS279, Sharpless 279) නමින් හදුන්වන ප්‍රදේශයක් පහත දැක්වෙන ඡායාරූපයේ ඉහළ කෙළවරට වන්නටව පිහිටා ඇති ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම පරාවර්තන නිහාරිකාව "NGC 1973, NGC 1975, හා NGC 1977" ලෙස තවත් නිහාරිකාවන් 3 කට, අඳුරු නිහාරිකා කලාප 3 ක් මගින් බෙදා ඇති අතර මේ අතරින් වඩාත් දීප්තිමත් නිහාරිකාව වන "NGC 1977" නිහාරිකාව "The Running Man Nebula" (දුවන මිනිසා) යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබයි. මේ අතර තාරකා විද්‍යාඥයන් විසින් මෙම ඔරායන් නිහාරිකාව පිළිබද දීර්ඝ කාලයක සිට සිදුකළ ගවේෂණයන්හී'දී , එම නිහාරිකාවට අයත් ප්‍රදේශය තුළ බිහිවීමේ මුල් අදියරෙහි පසුවන ළදරු සෞරග්‍රහ මණ්ඩළ (infant solar systems) රාශියක් ද හදුනා ගැනීමට සමත් වී තිබේ.
Image Credit & Copyright: Abraham Jones
The Great Nebula in Orion


