දිනය: 2023 අප්‍රේල් 28
මුළු විශ්වයම පුරා පැතිර පවතින සෙක්ස්ටිලියන 200 (200,000,000,000,000,000,000,000) කට අධික වූ තාරකාවන් ප්‍රමාණය අතරින් අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky way galaxy) තුළ පමණක් තාරකාවන් බිලියන 100 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. එම තාරකාවන් අතර පවතින එක් සුවිශේෂ තාරකාවක් ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් පමණ ඈතින්, 'Camelopardalis' අයත්ව පිහිටා ඇති "runaway star" ගණයට අයත් වන "Alpha Camelopardalis" තාරකාව හැදින්විය හැක. ද්විමය තාරකා පද්ධතියක (binary star system) පවතින් එක් තාරකාවක සිදුවන දැවැන්ත සුපර්නෝවා පිපිරීමක් (supernova explosion) හේතුවෙන් ඊට සහචර අනෙක් තාරකාවෙහි අසාමාන්‍ය ආකාරයේ ඉහළ ප්‍රවේගයකින් (velocity) යුක්ත චලිතයක් ඇති කරවිය හැකි අතර එවැනි ඉතා ඉහළ ප්‍රවේගයකින් යුත් චලිතයක් පෙන්නුම් කරමින් විශ්වය හරහා ගමන් ගන්නා තාරකාවක් "Runaway star" ගණයට අයත් තාරකාවක් ලෙස හදුන්වයි.
මෙවැනි තාරකාවක ගමන් කරන ගමන් මාධ්‍යයත්, එම මාධ්‍යයය ඔස්සේ හමායන සූර්ය සුළං හා ප්ලාස්මා ධාරාවන් අතරත් ඇතිවන ප්‍රතික්‍රියාවන් හේතුවෙන් හටගන්නා සංසිද්ධියක් "Bow shock" එකක් ලෙස හදුන්වයි. පහත ඡායාරූපයෙහි දැක්වෙන "Alpha Camelopardalis" තාරකාව වටා නිර්මාණය වී ඇති රතු පැහැති චාපාකාර ප්‍රදේශය මගින් නිරූපණය කෙරෙන්නේ ද මෙලෙස හටගත් "Bow shock" එකකි. "Alpha Camelopardalis" තාරකාවෙහි සිට ආලෝක වර්ෂ 10 ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම "Bow shock" හි හටගැනීම සදහා "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතය හේතු වී ඇත. තත්පරයට කිලෝමීටර 60 ක පමණ ප්‍රවේගයකින් (velocity) චලිතය වන මෙම "Alpha Camelopardalis" තාරකාව, තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව "O-type luminous supergiant" (O9 Ia) ගණයට අයත් තාරකාවක් ලෙස සලකනු ලබයි.
අපගේ සූර්යයා මෙන් 25-30 ගුනයක් දැවැන්ත වූත්, සූර්යයා මෙන් 5 ගුණයක උෂ්ණත්වයකින් යුක්ත වූ එනම් සෙන්ටිග්‍රේඩ් අංශක 29700 කට (කෙල්වින් 30000 ක් පමණ) අධික වූ උෂ්ණත්වයක් පවතින මෙන්ම සූර්යයා මෙන් 500 000 ගුණයකටත් වැඩි දීප්තියක් නිකුත් කරන මෙම "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතයට මුල් වූ ඉහත සදහන් කළ හේතුවට අමතරව තවත් හේතුවක් පිළිබදව උපකල්පනයක් තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ඒ මෙම "Alpha Camelopardalis" තාරකාව මීට පෙරදී උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් පිරි තාරකා පොකුරකට අයත්ව තිබූ බවත්, එහිදි එම තාරකාවන් අතර පැවති ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා හේතුවෙන් එම තාරකාවන් සමූහයෙන් මෙම තාරකාව ඉවතට විසිවී ගොස් ඇතැයි යන උපකල්පනයයි.
Image Credit: André Vilhena
හැබැයි දැන් පැය භාගෙකට විතර ඉස්සෙල්ලා APOD සයිට් එක වැඩ නැතුව තිබ්බා. දැන්නම් හොදට වැඩ.
