🔹 සාරාණීය වත කියන්නේ කුමක්ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    "සාරාණීය වත " යනු භික්ෂූන් වහන්සේලාට දන් දීමේ කුසල කර්මය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ එක්තරා වත් ක්‍රමයකි. මෙම වත තරමක් දුෂ්කර වතකි.

    එය කෙසේදැයි විස්තර කරනවා නම්....

    යම් භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතය කරගෙන නැවත විහාරයට වැඩම කළ පසු ...,,

    ඒ ලැබුණු පිණ්ඩපාත කොටස

    පිණ්ඩපාත නොයන භික්ෂූන් වහන්සේලාටත්...
    ගිලන් වූ භික්ෂූන්වහන්සේලාටත්....
    මහලු භික්ෂූන් වහන්සේලාටත් ....
    සහ ඒ මොහොතේ වැඩම කළ ආගන්තුක භික්ෂූන් වහන්සේලාටත් පූජා කිරීමයි.

    මෙම වත සම්පූර්ණ වන්නේ මෙලෙසම එම වත හරියටම අවුරුදු 12ක් ආරක්ෂා කළොත් පමණි.

    මෙම අවුරුදු 12 ඇතුලත එක දවසක්වත් එම වත කැඩීම කළ හොත් එය නැවත මුලසිටම අවුරුදු 12 ක් පිරිය යුතුයි.

    එම වත කැඩෙන ආකාර නම්...

    🔸
    තමන් පිණ්ඩපාතය කරගෙන එන දානය යම් හේතුවක් නිසා වෙනත් භික්ෂුවකට පූජා කිරීමට නොහැකි වීම.

    🔸
    පිණ්ඩපාත කරගෙන රැගෙන ආ එම ආහාර තමන්ටවත් ඉතිරි නැති වීම.

    අවු. 11 මාස 11 දින 29ක් වත නොකඩවා සම්පූර්ණ කළ භික්ෂුවක් 29 වන දින වත කැඩුනොත් නැවතත් වත සම්පූර්ණ කිරීමට නම් මුල සිටම අවුරුදු 12ක් වත සම්පූර්ණ කළ යුතුයි.

    ඒ තරමටම මෙම සාරාණිය වත ඉතාමත් දුෂ්කර වේ.

    භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙම සාරාණීය වත හරියට අවුරුදු 12 ක් රැක්කොත් එම භික්ෂුවට සසරේ සිව්පස දානයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා. අති දුෂ්කර කාලෙක වුණත් , කාන්තාරයක වැඩම කළත්, මිනිසුන් නොමැති ස්ථානයකට ගියත් කවදාවත් සිවුපසයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා දේශනා කරනවා.

    #සාරාණිය වත " සම්පූර්ණ කළ භික්ෂුවක් ලබන ආනිසංස....

    දවසක් එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතය සඳහා ගමකට වැඩම කරනවා. එහිදී භික්ෂූන් වහන්සේලා 50 නමක් වැඩ සිටියා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා හට පිණ්ඩපාත දානය නොලැබ එම ග්‍රාමයෙන් එලියට වැඩම කළා.

    උන්වහන්සේලාට එම ග්‍රාමයෙන් පිණ්ඩපාත නොලැබුණු නිසා "සාරාණීය වත"සම්පූර්ණ කළ භික්ෂූන් වහන්සේ නමක් පසුව එම ග්‍රාමයටම වැඩම කළා. උන්වහන්සේට පාත්‍රය පිරෙන්නම දන් ලැබුණා. එම ලැබුණු දන් ප්‍රමාණය අර 50 නමටම බෙදා ගෙන වැලඳීමට ප්‍රමාණවත් වුණා. ඒ සාරාණීය වත සම්පූර්ණ කළ භික්ෂුවකට ලැබෙන ආනිසංසයි.

    ලංකාවේ ද "සාරාණීය වත" සම්පූර්ණ කළ භික්ෂූන් වහන්සේලා සිටියා.

    ලක්දිව දවසක් එක්තරා රජ කෙනෙක් භික්ෂූන් වහන්සේලාට දානයක් පූජා කරනවා. මෙම දානයට වැඩම කරනවා "සාරාණීය වත" සම්පූර්ණ කළ තරුණ භික්ෂූන් වහන්සේ නමක්.

    උන්වහන්සේ දානය සංවිධානය කරන අමාත්‍යවරයා ලඟට පැමිණ විමසනවා මෙම දාන වස්තූන්ගෙන් තිබෙන වටිනාම පරිෂ්කාරය කුමක්ද කියලා. අමාත්‍යවරයා කියනවා ඉතා වටිනා සිවුරක් පෙන්නලා

    "ස්වාමීන් වහන්ස මෙම සිවුර තමයි මෙතන තිබෙන වටිනාම පරිෂ්කාරය " කියලා.

    එවිට ස්වාමින් වහන්සේ කියනවා

    " එහෙනම් අමාත්‍යතුමනි ඒ සිවුර මට ලැබෙයි" කියලා. ඉන්පසු ඒ භික්ෂුව දානය සඳහා යම් ආසනයක අසුන් ගත්තා.

    මෙම අමාත්‍යවරයා රජතුමාට මේ කාරණාව පැවසූ විට , තරුණ භික්ෂූන් වහන්සේලා ඔහොම ම තමයි හොඳම දේ ලැබෙයි කියලා තමයි හිතන්නෙ .. යැයි රජතුමා සිතින් හිතා ගත්තා. එවිට රජතුමා කියනවා "මේ වටිනා සිවුර උන්වහ්න්සේට ලැබෙන්නෙ නෑ. ඒක ලැබෙන්නේ ගරු කළයුතු සිල්වත් භික්ෂූන් වහන්සේටයි " යැයි පැවසුවා.

    ඉන් පසුව දාන පූජා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පරිෂ්කාර පූජා කිරීමට පටන් ගත්තා. අර වටින සිවුරත් පරිෂ්කාර ගොඩේ උඩින්ම තියෙනවා.

    අමාත්‍යවරු සියලු පරිෂ්කාර රැගෙන රජතුමා පසු පස එන අතර තුර රජතුමා ද අතට ලැබෙන ලැබෙන පරිෂ්කාර පිළිවෙලින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා. ටික වෙලාවකින් අර වටිනාම සිවුර අතට ආවා. අතට ගත් විගසම රජතුමා පිළිවෙලින් ඉදිරියෙන් සිටි භික්ෂූන් වහන්සේට පූජා කළා.

    එකවරම රජතුමා පූජා කළ භික්ෂූන් වහන්සේගේ මුහුණ දෙස බලන විට ඒ අර කාරණාව කියපු තරුණ භික්ෂූන් වහන්සේමයි. එවිට රජතුමා සහ අර අමාත්‍යවරයා මුහුණට මුහුණ බලමින් පුදුම වුණා. අවසානයේ රජතුමා දාන කටයුතු අවසන් වී මේ පිලිබඳ විමසන විට දැනගන්නට ලැබුණේ ඒ තරුණ භික්ෂුව " සාරාණීය වත" සම්පූර්ණ කළ භික්ෂුවක් ලෙසය.

    ඒනම් මේ "සාරාණීය වත" සම්පූර්ණ කළ භික්ෂුවට යම් ස්ථානයකට වැඩම කළොත් එම ස්ථානයේ තිබෙන හොඳම වටිනාම දේ තමයි උන්වහන්සේට ලැබෙන්නෙ. ඒ සාරාණීය වත සම්පූර්ණ කළ භික්ෂුවකට ලැබෙන විශේෂ ආනිසංසයි.

    මුලාශ්‍ර

    ධම්මසංගණී අටුවාව


    ------ Post added on Apr 23, 2024 at 7:46 AM
     
    • Like
    Reactions: kinkon