ප්‍රථම වරට නාසා ආයතනය විසින් අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි ඇති හුදෙකලා කළු කුහරයක (isolated black hole) ස්කන්ධය ගණනය කිරීමට සමත් වී තිබෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5000 ක් ඈතින් 'Carina-Sagittarius' නමින් හදුන්වන ක්ෂීරපථය මන්දාකිණියට අයත් සර්පිල බාහුවේ පිහිටා තිබෙන මෙම කළු කුහරය විශ්වීය අවකාශය හරහා ගමන් කරමින් පවතිනවා. හබල් දුරේක්ශය (Hubble Space Telescope) යොදාගනිමින් කළ මෙම සොයාගැනීමට පෙර මේ දක්වා කළු කුහරයන්ගේ විශාලත්වය හා ස්කන්ධය මනිනු ලැබුවේ සංඛ්‍යානමය වශයෙන් අනුමාන කරගනිමින් ලබාගත් දත්ත ඇසුරෙන් හෝ මෙම කළු කුහරයන්, ද්විමය තාරකා පද්ධති (binary star systems) අතර හෝ මන්දාකිණියන්ගේ හරයන් සමග දක්වන අන්තර් ක්‍රියාකාරීත්වයන් මගිනුයි.
'Carina-Sagittarius' සර්පිල බාහුව
හබල් දුරේක්ශය මගින් සොයාගත් දත්ත අනුව මෙම කළු කුහරයේ සකන්ධය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.6 - 4.4 අතර ගුණයක් ගන්නා බවට සොයාගෙන ඇති අතර මෙම අඩු ස්කන්ධ පරාසය හේතුවෙන් මෙම කළු කුහරය "low mass black holes" ගණයට අයත් වීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතින බවට තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. තවද මෙම අඩු ස්කන්ධය හේතුවෙන් මෙය ඇතැම් විට නියුට්‍රෝන තාරකාවක් (Neutron star) විය හැකි බවද ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වාසය පළ කර සිටිනවා. මෙම සොයාගැනීමත් සමග පෘථිවියට ළගින්ම පිහිටා තිබෙන කළු කුහරයට පවතින දුර ගණනය කිරීමට ද තාරකා විද්‍යාඥයන් විසින් සමත් වී ඇති අතර ඒ අනුව එය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 80 ක පමණ දුරකින් වන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ. සූර්යයා හැරුණු විට පෘථිවියට ළගින්ම පිහිටි තාරකාව 'Proxima Centauri' තාරකාව වන අතර එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.246 ක දුරකිනුයි.
මෙවැනි "Stellar-mass black holes" ගණයට අයත් වන කළු කුහරයන් දැවැන්ත තාරකාවන්ගේ ආයු කාලය අවසාන වීමත් සමග එහි හරයේ සිදුවන ගුරුත්වාකර්ෂණ කඩාවැටීම (gravitational collapse) හේතුවෙන් හටගන්නා විශාල සුපර්නෝවා පිපිරීම් (supernova) නිසා බිහිවන කළු කුහරයන් වන අතර මෙවැනි ආකාරයේ කළු කුහරයන් මගින් ආලෝකය විමෝචනය නොකිරීම හේතුවෙන් පෘථිවියේ පිහිටි දුරේක්ශයන් මගින් ඡායාරූප ගත කිරීම ඉතා අපහසු කාර්යයක් වනවා. නමුත් මෙම කළු කුහර මගින් අවකාශය නැවීමකට (warp space) ලක්කිරීම හේතුවෙන් කළු කුහරයට පිටුපසින් පිහිටා තිබෙන තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකය මෙහිදී අපසරනය, විකෘති කිරීම හෝ විස්තාරණයට භාජනය කිරීම සිදුවන අතර ආලෝකයන්ගේ සිදුවන මෙවැනි විකෘති වීම් දුරේක්ශයන් මගින් ග්‍රහණය කිරීමට හැකිවීම හේතුවෙන්, එවැනි විකෘතිතා අධ්‍යයනය කිරීම මගින් ද මෙවැනි කළු කුහර හදුනාගැනීම සිදු කළ හැකියි.
මූලාශ්‍ර ලිපිය
Hubble Determines Mass of Isolated Black Hole Roaming Our Milky Way Galaxy
වීඩියෝව
කළු කුහරයක් යනු
Last edited:

