"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත්, අයනීකරණයට ලක්වූ අන්තර්තාරකා පරමාණුක හයිඩ්‍රජන්වලින් සමන්විතව පවතින "H II region" ගණයේ කලාපයක් ලෙස සැලකෙන "Tarantula Nebula" (30 Doradus ලෙසද හදුන්වයි) නම් නිහාරිකාවෙහි අපූර්ව ඡායාරූපයක් නාසා ආයතනය විසින් අද දිනයේදී එළි දක්වන ලදී. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 161 000 ක් ඈතින් වූ "Large Magellanic Cloud" නම් වූ "satellite dwarf galaxy" ගණයට අයත් වූ කුඩා ප්‍රමාණයෙහි මන්දාකිණිය තුළ පිහිටා තිබෙන මෙම නිහාරිකාවෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 1862 ක පමණ අගයක් ගන්නා අතර මෙම නිහාරිකාව "Tarantula Nebula" ලෙස හැදින්වීමට එහි මීට පෙර ලබාගත් ඡායාරූප මගින් දිස්වූ දූවිලි සූත්‍රිකාවන් යුක්ත වූ ස්වභාවය හේතුවී ඇත. අපගේ ක්ෂීරපථය මන්දාකිණිය ඇතුළුව තවත් මන්දාකිණි 20 ක් පමණ අයත්වන "Local Group" නමින් හදුන්වන මන්දාකිණි සමූහයෙහි වූ විශාලතම හා දීප්තිමත්ම නව තාරකාවන් බිහිකරන ප්‍රදේශය ලෙස සලකනු ලබන මෙම 'Tarantula' නිහාරිකාව මෙතෙක් හදුනාගෙන ඇති දීප්තිමත්ම හා උණුසුම්ම තාරකාවන්ගේ වාසස්ථානය බවට පත්ව තිබේ.
"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near-Infrared Camera" (NIRCam) නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් මෙම නිහාරිකාවෙහි මධ්‍යයය අසලට වන්නට පිහිටා තිබෙන දිදුළන ලා නිල් පැහැයෙන් දිස්වන දැවැන්ත යොවුන් තාරකාවන්ගෙන් (මෙම තාරකාවන් "NGC 2070" නම් විවෘත්ත තාරකා පොකුරට අයත් වේ) නිකුත් වන දැඩි විකිරණයන් හේතුවෙන් නිහාරිකාව මධ්‍යයය ඛාදනය කරමින් කුහරයක් නිර්මාණය වී ඇත. නිහාරිකාවේ වූ ඝනත්වයෙන් අධික ප්‍රදේශයන් පමණක් මෙම තාරකාවන්ගෙන් නිකුත්වන ප්‍රබල තාරකා සුළංවලින් සිදුවන ඛාදනයන්ට ප්‍රතිවිරෝධීතාවක් දැක්වීම සිදුකරන අතර දූවිලි හා වායූන්ගෙන් නිර්මිත දැවැන්ත කුළුණු (pillars) එම තාරකාවන් පොකුර දෙසට මුහණලා ඇති ආකාරයෙන් නිර්මාණය වී තිබේ. මෙම කුළුණු, නිර්මාණය වෙමින් පවතින යොවුන් තාරකාවන්ගෙන් (protostars) සමන්විතව පවතින අතර කාලයත් සමග එම කුළුණු තුළ වූ දූවිලි කෝෂයන් තුළින් මතුවන මෙම තාරකාවන් ක්‍රමිකව නිහාරිකාවෙහි වූ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි දායක වීම සිදු කරනු ලබයි.
"Near-Infrared Camera" (NIRCam) මගින් ලබාගත් ඡායාරූපය
Credits: NASA, ESA, CSA, STScI, Webb ERO Production Team
මේ අතර "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near-Infrared Spectrograph" (NIRSpec) නම් වර්ණාවලීක්ෂය මගින් 'Tarantula' නිහාරිකාවෙහි වූ බිහිවෙමින් පවතින යොවුන් තාරකාවක් ද හදුනාගැනීමට සමත්ව තිබෙන අතර "James Webb" හි වූ මෙම වර්ණාවලීක්ෂය සතු අධෝරක්ත කිරණයන්හි තරංග ආයාමයෙහි අධි-විභේදන වර්ණාවලියන් හසුකර ගැනීමට තිබෙන හැකියාව මෙම තාරකාවෙහි බිහිවීම සිදුවෙමින් තිබෙන ආකාරය ග්‍රහණය කර ගැනීම සදහා උපකාරී වී තිබේ.
"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Mid-infrared Instrument" (MIRI) මගින් මෙම නිහාරිකාව හසුකර ගැනීමේදී වෙනස්ම ස්වරූපයකින් දර්ශනය වීම සිදු වී ඇති අතර නිහාරිකාවෙහි තිබෙන උණුසුම තාරකාවන් වියැකී ගොස් ශීත වායූන් හා දූවිලිවල පවතින දිදුළන ස්වභාවය මෙහිදී ඉස්මතුවී ඇත. නිහාරිකාවෙහි වූ "stellar nursery" වළාවන් අතරින් දිස්වන කුඩා ආලෝකයන්, තම ස්කන්ධයන් වර්ධනය කර ගනිමින් සිටින බද්ධව පවතින "protostars" ගණයේ තාරකාවන් විය හැකි බවට විශ්වාස කරන අතර දිගු - මධ්‍යම තරංග ආයාමයන්ගෙන් යුක්ත අධෝරක්ත කිරණයන් නිහාරිකාවෙහි වූ දූවිලි විනිවිද ගියද කෙටි තරංග ආයාමයන්ගෙන් යුත් අධෝරක්ත කිරණ නිහාරිකාවේ පවතින දූවිලි මගින් අවශෝෂණය කරගැනීම හෝ විසුරුවා හැරීම සිදුකරන බැවින් Mid-infrared Instrument (MIRI) වෙත එම ආලෝකයන් ගලා ඒම සිදු නොවේ.
"Mid-infrared Instrument" (MIRI) මගින් ලබාගත් ඡායාරූපය
Credits: NASA, ESA, CSA, STScI, Webb ERO Production Team
විශ්වයේ උපත සිදුවීමෙන් වසර බිලියන 2-3 ත් අතර වූ "cosmic noon" නම් වූ කාලසීමාව තුළ විශ්වයේ පැවති නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන ප්‍රදේශයන් තුළ තිබූ රසායනික සංයුතිය, මෙම 'Tarantula' නිහාරිකාවෙහි වූ රසායනික සංයුතියට සමානකමක් දැක්වීමත්, අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි පවතින නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන ප්‍රදේශයන්ට වඩා මෙම 'Tarantula' නිහාරිකාව තුළ ඉතා සිඝ්‍ර වශයෙන් නව තාරකාවන් බිහිවීම සිදුවීමත් වැනි සුවිශේෂීතාවන් හේතුවෙන් තාරකා විද්‍යාඥයින්ගේ අවධානය මෙම නිහාරිකාව කෙරෙහි යොමුවීම සදහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.
Last edited:
