මිලිමීටර් 500 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වූ, ඉතිහාසයේ විශාලතම ස්වභාවික විපතකදී ආපදා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජය දැරූ උත්සාහය අවතක්සේරැ කිරිම හා ආපදා තත්ත්වය සුළු ස්වභාවික විපතක් ලෙස අර්ථ දැක්වීමට විපක්ෂය උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී සාගරිකා ගංගානි අතාවුද මහත්මිය පැවසුවාය.
මිලිමීටර් 500ක වර්ෂාපතනයක් යනු මීටර් බාගයක වැස්සක් වන අතර, මහ පොළොවට එය දරාගැනීම අපහසු වූ නිසා කඳු පාත් වෙද්දී, අතින් අල්ලා දේපල හානි නවත්තන්නට නොහැකි වූ බව ඇය අවධාරණය කළාය.
එම මොහොතේ ප්‍රථම කාර්යය වූයේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම බවත්, ඒ නිසා එවැනි විශාල ව්‍යසනයකින් දිස්ත්‍රික්ක 22කම ජීවිත හානිය අවම කර ගැනීමට හැකි වූ බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය. වැඩිපුර මිය ගොස් ඇත්තේ නාය යෑම් ආශ්‍රිත හේතු නිසා බවද වාර්තා වී ඇත.
අනාරක්ෂිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය, සහ ස්වේච්ඡා කණ්ඩායම් ඇතුළු සියලු දෙනාම එකතු වී රෑ දවල් නැතිව කැපවීමෙන් කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම, දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ල අපදා කළමනාකරණ කමිටුව 27 වෙනිදා රැස්වී වගකීම් පවරා, අවදානම් සහගත ප්‍රදේශවල ජනතාව ඉවත් කරන්නේ කෙසේදැයි තීරණය කළ බව ඇය කියා සිටියාය. ජනතාව ඥාති නිවාසවලට හෝ ආරක්ෂිත ස්ථානවලට භාර දීම සිදුවිය.
අනාරක්ෂිත බව නිසා නිලධාරීන්ට යන්න බැරි තැන්වල පවා, පොලිසිය සහ හමුදාව යොදවා මිනිසුන් ඉවත් කරගත් බවට උදාහරණ තිබූ බව ඇය පෙන්වා දුන්නාය. කෑගල්ලේදී ප්‍රධාන රජයේ ආයතනයක් රාත්‍රී 12ට පමණ නාය යාමට පෙර නිලධාරීන්ව ඉවත් කිරීමට කටයුතු කළ බවත්, එම කැපවීම තුළින් ජීවිත බේරාගත් බවත් ඇය සඳහන් කළාය. රාජ්‍ය නිලධාරීන් එකතු වී මහන්සි වී වැඩ කිරීම නිසා මරණ සංඛ්‍යාව අඩුම කර ගැනීමට හැකි වූ බව ඇය වැඩිදුරටත් කීවාය.
මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට කළ හැකි සෑම කාර්යයක්ම සිදුකළ බවට ඇය විශ්වාසයෙන් ප්‍රකාශ කළ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ සංඛ්‍යාලේඛනද ඉදිරිපත් කළාය. එම සංඛ්‍යාලේඛන අනුව, පවුල් 18,884 ක් සහ පුද්ගලයන් 42,898 ක් ආපදාවට පත්ව ඇති නමුත්, වාර්තා වී ඇත්තේ මරණ 22ක් පමණි.
වැස්ස පායලා, සියල්ල නිරාකරණය වූ පසුව පමණක් පිටතට පැමිණ ආපදා කළමනාකරණය කළ ආකාරය ගැන විපක්ෂය කතා කිරීමට පැමිණීම ඇය විවේචනය කලාය.