මේක කට්ටිය කවි දෙකක් විධියට අරන් මම අදහස් කරපු නියම අර්ථය මගඇරිලා වගේ. ඒ නිසා ටිකක් පැහැදිලි කරන්නම්. කට්ටිය හිටිය නම් දිග සංවාදයක් කරන්න තිබ්බ. ඒත් දැන් අපේ බෝංචි දායකයෝ සෙට් එකම නිදි වගේ නිසා මම දැනට කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.
ආදරය කියන්නෙ කාටවත් නිර්වචනය කරන්න බැරි දෙයක් කියලයි මට හිතෙන්නේ. දැඩි ආකල්ප වල ඉඳන් ලොකු කතා කිව්වත් ආදරය හැමෝවම සුමට කරන දෙයක්. ඒක දැනෙන්න ආදරය විඳින්නම ඕන. ගොඩ ඉඳන් පීනන්න බෑ වගේ දෙයක් තමයි ආදරය කියන්නේ. ඒත් ඒක පිහිනීම තරම් සරල නෑ. මොකද ඒක තනිකරම අපි එකිනෙකා හිතන ආකාරය අනුව තමයි දැනෙන්නේ.
මට හිතෙන්නෙ නම් ආදරය කියන්නේ වර්ගයාගේ පැවැත්ම උදෙසා සාමාජික මිනිස් ජීවියා තුල හට ගැනෙන දෙයක් කියලයි. ඒක ශිෂ්ඨාචාරගත වූ මිනිසාගේ සංස්කෘතික දෙයක් මිය අවශ්යතාවයක් නෙවෙයි. අවශ්යතාවය තමයි ශෲංගාරය (ලිව්වා හරිද මන්දා).
කොහොම හරි ඒක මෙතනට අදාල නෑ.
මුල් කවියෙ සඳහන් ආදරයෙදි මට මතකයි අපි ගැලපීම් හෙව්ව. නොයෙක් දේවල් වලින් (නම් දෙක පවා) අපි ගැලපෙනවද කියන එක ඔප්පු කරන විවිධ කරුණු ආදරය පවත්වගන්න උදව් කලා. ඒත් ඒ දේවල් කතාකරන්න කාලය හරස් වීම නිසා අපට කවදාවත් කියන කතාවක් ඉවර කරන්න ලැබුණෙ නෑ. හැමදාම අවසන් නොවුණ එකඟ නොවුණ මතවාද හිතේ තියන් අපි වෙන්වුණා. ඒ නිසාම සදහටම වෙන් වෙන්නත් වුණා.
දෙවෙනි අවස්ථාව හාත්පසින්ම වෙනස්. ඒකෙදි කතා කරන්න, අදහස් හුවමාරු කරන්න තාක්ෂණයේ උදව්වෙන් අසීමිත අවකාශයක් ලැබුණ. බැලුවම මලීගෙ සිගියෙ තියෙනව වගේ නිරායාසයෙන්ම හමුවුණ මම වගේම කෙනෙක්. ටික දවසක් කතා කරද්දි අපට කතා කරන්න දේවල් නැති වුණා. ජීවිතේ ගෙවන්න වෙන හැම මූලික ක්රමයක්ම වගේ අපි කතා කරල තිබුණා. අන්තිමේ කිසිම හැඟීමක් නැති වියලි ආදරයක් වුණා. ඒකත් එහෙම්ම අවසන් වුණා.
මේ දෙක මට වෙනත් සම්බන්ධ වලට වඩා දේවල් ඉගැන්නුව.
ආදරය පවතින්නෙ ගැලපීම් මත වගේම නොගැලපීම්ද මතයි!