ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ කවි තුනක්..
1. දාස් පෙති මල්
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කළුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක්
ඔහුව වට කොට ගත්හ.
ඔහුගේ මුදල් පැහැර ගන්නට
තැත් කළහ.
බැරිම තැන ඔහු කෑ මොර දෙන්නට හදත් ම
එක් සොරෙක් ඔහුගේ
ළය පසා කරගෙන යන්නට
පිහි පාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි.
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් පාලු වූ කුඹුරක
මඩෙහි ඔබා යට කර දැමීය.
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතරු
මග බලමින් සිටියාය.
එහෙත් ඔහු ආයේ නැත.
ඔහුට කුමක් වී දැයි කිසිවෙකු
නොදත්හ.
පාලු කුඹුරක දාස්පෙති මල්
දාහක් පිපී තිබුණි.
2. වයලට්
දැන් අප එක වහලක් යටය
දරුවන් ද සිටී
එහෙත් නොඉවසුමත්
සීමාරහිත බවත්
සුඛාන්තයත්
වැඩිපුර හමුවන්නේ නැත
ලක්ස්ප්‍රේ ටින් වලින් වැහිලා නොඉවසුම
සමුපකාරයෙයි සීමා රහිත බව
ගෙවල් කුලිය ද - ලයිට් බිල ද සුඛාන්තය!
වයලට් ! මට සමාවෙන්න !
කන්තෝරුවේ දී මිසිස් ජුලියට්ට මා දැකීමත්
මට මිසිස් ජුලියට් ව දැකීමත්
මේ අතරතුර තෘප්තියක් වී තිබේ.
3. ඡන්ද දායකයෝ
කාඩ් කුට්ටමේ
ආසියාත්
රැජිනත්
බූරුවාත් ඇත.
ලින්ටන්
සැල්ටන්
ජෝන්සන්
විල්සන්
වටේ ගොඩ වෙති.
ලින්ටන් කැරපොත්තන්ට බයය
කතා කරන්නේ අහස්යානා ගැනය
සැල්ටන් අහස්යානා වලට බයය
කතා කරන්නේ කැරපොත්තන් ගැනය
ජොන්සන් කැරපොත්තන්ටත් අහස්යානා වලට ත්
දෙකටම බයය
විල්සන් ඒ දෙකටම බය නැත
වාරයෙන් වාරයට
කාඩ් කුට්ටමේ
ආසියාත්
රජ්ජුරුවොත්
රැජිනත්
බූරුවාත්
කැපෙමින් - වැටෙමින් - නැගිටිමින්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ මාරු වෙති
එහෙත්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
තාමත් උන් හිටි තැන් වලමය
ලින්ටන් කැරපාත්තන්ට බයය
සැල්ටන් අහස්යානා වලට බයය
ජොන්සන් දෙකටම බයය
විල්සන් දෙකයම බය නැත. fb eken