96 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම&#35

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම&#

    අදින් වසර 20කට පෙර, 1996 අවුරුද්දේ මාර්තු 17 වැනිදා ඔබට මතකද? ඒ දවස වෙද්දි යම්තම් හෝ දැනුම් තේරුම් ඇති වයසක හිටපු කිසිම කෙනෙක්ට ඒ මොහොත අමතක වෙන්න බෑ. ක්‍රිකට් ලොව පතාක යෝධයන්ව දණ ගස්වපු ඒ තරඟාවලියෙදි සිදුවූ අපූරු සිදුවීම් 14ක් තමයි මේ.

    1. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කළ පලමු සත්කාරක රට වන්නේ ශ්‍රී ලංකාවයි. 96 වසරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය සත්කාරක රටවල් ලෙස කටයුතු කළා.

    2. දෙවනුවට පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරඟය ජයග්‍රහණය කල මුල් අවස්ථාව වන්නේත් එයයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට මුහුණ දෙන්න යද්දි වට්මෝර් සහ අරවින්ද මුලින් පන්දුවට පහර දෙමුයි කියල යෝජනා කර තිබෙනවා. මොකද ඒ වෙද්ද තිබ්බ හැම ලෝක කුසලාන අවසාන තරඟයකම ජයග්‍රහණය ලබල තියෙන්නෙ මුලින් පන්දුවට පහරදුන්න කණ්ඩායමයි.

    කොහොම උනත් අපේ කණ්ඩායම තරඟාවලිය පුරාවට පසුපසින් හඹාගොස් ජයග්‍රහණය කල නිසා අවසන් තරඟයෙත් දෙවනුවට පන්දුවට පහර දෙන්න තමයි අවසානයේදී තීරණය කර තිබෙන්නෙ.

    ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාගත් ලකුණු 241 හඹාගොස් ජයග්‍රහණය කිරීමත් සමග ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලකුණු හඹාගොස් අවසන් තරඟයක් ජයගත් කණ්ඩායම හැටියටත් අපේ කණ්ඩායම ඉතිහාසගත වනවා.

    3. නිකම්ම ලැබුණු ජයක් නොවෙයි අවුරුදු දෙකක සැලැස්මක්

    වට්මෝර්, ඇලෙක්ස් කොන්ටූරි වගේ විශේෂඥයින්ගෙ සේවය ලබාගෙන. 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් වසර එකහමාරක් දෙකක් මුලුල්ලේ අත්හදා බලල තමයි මේ අවසන් කණ්ඩායම බිහි වන්නෙ. ඉතින් ඒ අය උපරිම දස්කම් දැක්වීම පුදුමයට කරුණක් නොවෙයි.

    4. මාවන්ට බින්දුව

    ලංකාවෙන් බිහිවූ විශිෂ්ටම පිතිකරුවෙක් වුණ මාවන් අතපත්තුට 1996 ලෝක කුසලාන තරඟාවලියෙ එක තරඟයක්වත් ක්‍රීඩා කරන්නන අවස්ථාව ලැබුණෙ නැහැ.

    5. අවසාන තරඟය සඳහා අරවින්දට ගැම්මක් දුන් සුවිශේෂී අමුත්තන්

    පකිස්ථානයේදී පැවති ලෝක කුසලාන අවසාන තරඟයට කලින් දවසේ අරවින්දව පුදුමයට පත් කරමින් අමුත්තන් දෙදෙනෙක් ඔහුගේ කාමරයට ඇතුල් වෙනව. ඉන් එක් අයෙක් වන්නෙ අරවින්දගේ පියායි. අනිත් පුද්ගලයා වන්නේ අරවින්ද ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරයෙක්.

    “රටට කීර්තියක් ලබා දෙන්න තියන මේ අවස්තාවට උපරිමයෙන් ක්‍රීඩා කරන්න. ආයෙත් ඔයා ගහන ෆයිනල් බලන්න අපි ජීවත්ව හිඳීද දන්නෙ නෑ.”

    තම පියාගේ සහ තමා ඉතා ගරු කරන මේ ගුරුතුමාගේ කතාව අරවින්දගේ හිතේ ඉතා ගැඹුරින් සටහන්ව තිබෙනවා. ලෝක කුසලාන අවසන් තරඟයේදී අරවින්ද සුවිශේෂී ඉනිම ක්‍රීඩා කලේ මේ වදන් ඔහුගේ හිතේ තබාගෙන බව අරවින්ද පවසනවා.

    6. පුටුවෙන් නැගිට්ටොත් බැනුම්

    ලෝක කුසලානෙ කළමනාකරු හැටියට කටයුතු කළ දුලිප් මෙන්ඩිස් මහත්මය අපේ අය බැට් කරද්දි ක්‍රීඩාගාරෙ බලන් ඉන්න අපේ අනිත් ක්‍රීඩකයන්ට අපූරු නීතියක් පනවල තියනවා. ඒ තමයි. “විකට් එකක් යනකම් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටල යන්න තහනම්” කියන එක. නැගිටීම කෙසේ වෙතත් හෙල්ලුනත් බැනුම් අහන්න වෙනවලු.

    ඔහු එහෙම කරල තියෙන්නෙ අපේ කට්ටිය එහෙ මෙහෙ යන්නෙ නැතිව පුටුවල වාඩිවෙලා මැච් එක බලද්දි පිතිකරනයේ යෙදෙන පිතිකරුවො දෙන්න හොඳින් ලකුණු ගහනවා කියන විශ්වාසය ඇතුව බවයි පැවසෙන්නේ.

    7. වොට්මෝර්ට කුණුහරුපෙන් බැනුම්

    එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරඟයේදී කණ්ඩායම් දෙක පෙළගැසීමේ වෙලාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් ප්‍රමාද වී තිබෙනවා. ප්‍රමාද වී එතැනට පැමිණෙන ශ්‍රී ලාංකික පුහුණු කරු වට්මෝර්ට එවක එංගලන්ත කළමනාකරු ව සිටි රේ ඉලිංග්වර්ත්ගෙන් ලැබිල තියෙන්නෙ කුණුහරුප බැනුම් වරුසාවක්.

    8. සිදත්ගෙන් සනත්ට ඔරලෝසුවක් තෑගි

    එංගලන්තය සමග පැවතුන අවසන් පූර්ව තරඟයේදි ඕවර 15ක් යනකම් නොදැවී හිටියොත් සනත් ජයසූරියට අපූරු තෑග්ගක් දෙන්න සිදත් වෙත්තමුනි පොරොන්දු වෙලා තිබෙනවා. ඒ තෑග්ග තමයි සනත්ගේ හිත ගිය අත් ඔරලෝසුවක්.

    පන්දු 44ක් තුළදී වේගවත් ලකුණු 82ක් ලබාගත් සනත් අවාසනාවන්ත ලෙස දැවී යනව. ක්‍රීඩාගාරයට නැවත එන සනත් ඕවර 15ක් කඩුල්ලේ රැඳීඉන්න බැරීවීම ගැන කනස්සලු ස්වභාවයකින් ඉන්නව දකින සිදත් වෙත්තමුනි පසුව ඔහුට ඒ ඔරලෝසුව රැගෙන තෑගි දී තිබෙනවා.

    9. We are Sorry, Congratulations Sri Lanka

    ඉන්දියාවත් එක්ක පැවැත්වුනු අර්ධ අවසන් තරඟය ඉතාම ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පිරි තරඟයක්. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට තරඟයක් අවසන් නොකොට එක් කණ්ඩායමකට දිනුම දුන් අවස්ථාව හැටියට මේ තරඟය ඉතිහාසගත වනවා.

    ඉන්දීය කණ්ඩායමේ නියත පරාජය දැක කළහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් වෙත බෝතල් ගල්මුල් එල්ල කරමින් ප්‍රේක්ෂකාගාර ගිනි තබනවා. මේ ගිනි තබමින් ප්‍රචණ්ඩව හැසිරෙන ප්‍රේක්ෂකයින් මැද එක් සැබෑ ඉන්දීය ක්‍රිකට් ලෝලියෙක් පමණක් නිහඬවම බැනරයක් ඔසවාගෙන සිටිනවා. තමන්ගේ කණ්ඩායමේ පරාජයෙන් හඬාවැටෙන සිතින් යුතුව වුවත් ඔහු ඉහලට ඔසවාගෙන සිටි බැනරයේ සටහන් වන්නේ මේ වචන පෙළයි.

    “We are Sorry, Congratulations Sri Lanka“‍
    093.jpg


    10. කැප්ටන් කූල්ගේ මයින්ඩ් ගේම්ස්


    අර්ජුන රණතුංග කියන්නෙ ලංකාවෙන් බිහිවූ උපක්‍රමශීලීම නායකයෙක්. ඔහුගේ මේ ගති ස්වභාවය ක්‍රිකට් පිටිය තුළ විතරක් නොවෙයි ඉන් පිටතටත් විහිදෙනවා. ලෝක කුසලාන අවසන් තරඟයට කලින් දින පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් අර්ජුන ඕස්ට්‍රේලියානුවන්ගේ ඔලු අවුල් කරන ප්‍රකාශ දෙකක් කරනව.

    ඉන් එකක් තමයි ලෝක පූජිත දඟපන්දු යවන්නකු වන ෂේන් වෝන් එච්චර හොඳ පන්දු යවන්නකු නොවෙයි කියන එක. අනිත් ප්‍රකාශය තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෝ සහෝදරවරු කියන්නෙ ඕනෑවට වඩා වර්ණනාවට ලක්වූ සාමාන්‍ය පිතිකරුවන් දෙන්නෙක් කියන එක.

    අර්ජුනගෙ මේ ප්‍රකාශ ඕස්ට්‍රේලියානු කඳවුර තුළ ගින්නක් වගේ පැතිරෙමින් ඔවුන්ව මානසිකව දුර්වලකරන්නට සමත්ව තිබෙනවා.

    11. පුෂ්පකුමාරගේ අපූරු පණිඩුඩ ගෙනයාම

    අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන අපේ කණ්ඩායමේ මුල් කඩුලු දෙකක් ඉතාම ඉක්මනට දැවිල යනව. ඉන්පසුව පිටියට පිවිසෙන්නේ අරවින්ද සහ ගුරුසිංහයි. අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් ඒ තරඟයට ක්‍රීඩාකරපු රවීන්ද්‍ර පුෂ්පකුමාරට පැවරිලා තිබෙනවා අනෙත් ක්‍රීඩකයන්ගෙ සහ පුහුණුකරු වට්මෝර්ගෙ පණිවුඩ කීපයක් අරා සහ ගුරා වෙත ගෙනියන්න.

    හැබැයි වට්මෝර් පූෂ්පකුමාරට කියපුව තේරිලා නැහැ. පිට්ටෙනියට ගියපු පුෂ්පකුමාර ආපහු ආවාම වට්මෝ ඇහුවලු පණිවුඩය කිව්වද කියල. පුෂ්පකුමාර ගත් කටටම කියල තියෙන්නෙ ඔව් කියල හැබැයි ඇත්තටම පණිවුඩය කියන්න කියපු පණිවුඩය පුෂ්ප කුමාරට තේරිලා නැහැ.


    12. ශේන් වෝන් vs. ලක්ෂ්මන් කදිරගාමර්

    1996 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරනවා. මේ ගැන මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ෂේන් වෝන් පවසන්නේ ලංකාවේ Shopping කරන අතරතුර තමන්ව බෝම්බයකට අසුවෙන්න ඉඩ තියන නිසා නොඑන බවයි.

    ශේන් වෝන්ගේ මේ ප්‍රකාශයට පිළිතුරු සපයමින් එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා Shopping කරන එක ගෑනු ගතියක්යැයි පවසනවා. මේ ප්‍රකාශය ඔස්ට්‍රේලියානු මාධ්‍යයත් එරට විදෙස් අමාත්‍යවරයාවත් කෝපයට පත් කරන්න සමත් වනවා. ඔහු දොස් පවරනු පිණිස කදිරගාමර් මහතාට දුරකථනයෙන්ද අමතා තිබෙනව.

    සිද්ධිය සමාදානයට පත් කරන්න කදිරගාමර් අමාත්‍යවරයා සමත් වන අතර තිළිණයක් ලෙසට ඕස්ට්‍රේලියානු විදෙස් ඇමතිට මල්කළඹක්ද යවනු ලබනවා. ඉන්පසුව එතුමා මෙහෙම ප්‍රකාශයක් කර තිබෙනව. “මලුත් ඉතින් ගෑනු වගේ අයට තමයි”

    13. කැප්ටන්ලා දෙන්නා

    ලෝක කුසලානය දිනාගෙන පෙරලා ලංකාවට පැමිණෙන කැප්ටන් කූල් සහ ඔහු පැමිණෙන ගුවන් යානයේ කැප්ටන් (ප්‍රධාන නියමු) තමයි මේ ඡායාරූපයේ සිටින්නෙ.

    මේ ඡායාරූපයේ ලෝක කුසලානය අතැතිව සිටින නියමුවාත් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලාංකික නම සටහන් කල තැනැත්තෙක් ඒ තමයි සුනිල් වෙත්තමුනි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනිගේ සහෝදරයෙක්. සුනිල් ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධ ශතකය රැස්කරගත් ක්‍රීඩකයාද වනවා.

    132.jpg


    14. ලොවක් පුදුම කල හෂාන්ගේ වමත් දකුණත් පන්දු යැවීම

    96 ලෝක කුසලානෙදි ලෝක වාර්තා තබමින් කෙන්යාවට එරෙහිව පැවැත්වූ ලෝක කුසලාන තරඟයේදි හෂාන් අත් දෙකෙන්ම පන්දු යැවීමේ යෙදෙන්නෙ ක්‍රීඩකයින් අමන්දානන්දයට පත්කරමින්.

    නෙත් නිවුස් ඇසුරෙනි.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඒ දවස්වල නියම ගැම්මක් තියෙන්නේ match බලනකොට...මම කැමතිම අරවින්ද , මහානාම , ගුරුසිංහ , සනත් සහ කළුවා ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    තව දෙයක් වුන 96 final match එකට players පිට්ටනියට එනකොට ඒගොල්ලන්ව පිළිගන්න ඉස්සරහට ආවේ පාකිස්තානේ ළමා නිවාසයක සිටින අංගවිකල ළමයි පිරිසක්. අර්ජුන ඇතුළු කණ්ඩායම ඔවුන්ව සාදරයෙන් පළිගත්ත. අපේ නමුත් ගොඩක් දෙනෙක් සිතුවේ එක අසුබ ලකුණක් කියල
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තව දෙයක් වුන 96 final match එකට players පිට්ටනියට එනකොට ඒගොල්ලන්ව පිළිගන්න ඉස්සරහට ආවේ පාකිස්තානේ ළමා නිවාසයක සිටින අංගවිකල ළමයි පිරිසක්. අර්ජුන ඇතුළු කණ්ඩායම ඔවුන්ව සාදරයෙන් පළිගත්ත. අපේ නමුත් ගොඩක් දෙනෙක් සිතුවේ එක අසුබ ලකුණක් කියල
    :shocked::shocked:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    //3. නිකම්ම ලැබුණු ජයක් නොවෙයි අවුරුදු දෙකක සැලැස්මක්

    වට්මෝර්, ඇලෙක්ස් කොන්ටූරි වගේ විශේෂඥයින්ගෙ සේවය ලබාගෙන. 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් වසර එකහමාරක් දෙකක් මුලුල්ලේ අත්හදා බලල තමයි මේ අවසන් කණ්ඩායම බිහි වන්නෙ. ඉතින් ඒ අය උපරිම දස්කම් දැක්වීම පුදුමයට කරුණක් නොවෙයි. //

    ඒ කාලේ තිබ්බේ දැන්වගේ එදාවේල plans නෙමෙයි.