මෙසේ දකින ඔහු තම වයස ටිකෙන් ටික ආපස්සට ගනිමින් අඩු කරගෙන යයි. දැන් වයස අවුරුදු 40 ක අයෙකු නම් අවුරුදු 30, 25, 20, 15 ආදී වශයෙන් ප්‍රතිගමනය කරමින් ස්වකීය ශරීරය දෙසම බලයි. ඉහත කී අවයව හා ඉන්ද්‍රිය් තවමත් අද මෙන්ම පවතින බව ඔහු දකියි. ඒ ඒ යුගවල කළ කී දේ සිතට එළඹුනොත් වහා ඉවත් වී තම ශරීරය දෙස පමණක්ම සතිය පිහිටුවයි. මෙසේ ප්‍රතිගමනය සිදුකරන විට තමා ළදරුවෙකු බවට පත්වෙයි. අද මෙන් වැඩුනු සවිමත් අත් පා ආදී ශරීර අවයව දැන් තමාට නැති බව පෙනෙයි.
දැන් හෙතෙම ඇවිදීමට වාරු නැති මව් තුරුලෙහි වෙසෙන්නෙකු බව පෙනෙයි. තවමත් පෙර කී කෙස්, හිස, ඇස්, කන් ආදී අවයව ඇතත් පැහැදිලි හැඟීමක් නැති බැවින් මම හා මගේ කම සැඟවී ඇත.
ස්වයං ප්‍රතිගමනය තවදුරටත් කරන විට තමා මෙලොව එළිය දුටු අවස්ථාවට යයි. තනිවම කිසිවක් කර කියාගත නොහැකි මස් වැදැල්ලක් වැනි, පෙර කී අවයව සහිත බිළිඳකු මනසට හසු වෙයි. ඒ මොහොතේදී අද පවතින නම, ගම, ආගම කොහිද? ඉපදී පසු කලෙක තමා වෙතට බැඳුණු මගේ් නම, මගේ ගම, මගේ ආගම, මගේ් ජාතිය, මගේ් කුලය ආදී සම්මුති සංඥා දැන් නැති බව අභ්‍යාසලාභියාට මනසින් මෙනෙහි කළ හැකිය.
ප්‍රතිගමනයේදී කය පිළිබඳ නුවණින් මනාව දැකිය යුතු අවස්ථාව උදාවන්නේ මෙතැන් සිටය. මෙතෙක් කළ ආවර්ජනය තවදුරටත් ඉවසීමෙන් කරන විට තමා මව්කුස තුළට ප්‍රවේශ වෙයි. දැන් තමා තම මවගේ සිරුරට යොතකින් සම්බන්ධ වී ද්‍රවතරලයක පාවෙමින් ගර්භාෂය තුළ සිටින බව මනසින් පෙනේ. මෙලොව කිසිවක් දැන් තමාට අයිති නැත. වර්තමානයේ පවතින්නා වූ හැඩිදැඩි සිරුර දැන් නැත. තවදුරටත් ප්‍රතිගමනය කරන විට තමන්ගේ කෙස් නැති වී යයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන් නැතිවී යයි. ඇටසැකිල්ල, මොලය, පෙනහළු, හෘදය, අතපය, ඇස, කන, නාසය ආදී සියලු දේ නැතිවී ගොස් ගෝලාකාර කලලයක් පමණක් මනසට ගෝචර වෙයි.
මේ කුඩා කලලය කුමක්ද? මව සහ පියා ලෙස පිහිටි ස්ත්‍රී පුරුෂ එකතුවකින් හටගත් ජෛවී නිර්මාණයකි. අද පවතින්නා වූ, මගේය කියා ගන්නා ඇස් කන් නාසා ආදී ඉන්ද්‍රියයන් කෙසේ නම් මෙයින් නිර්මාණය වූයේ ද? ඒවා හටගැන්වීමට කිසිදු හැකියාවක් මේ ජීව නිර්මාණයට නැත. හැකි එකම දේ නම් හටගත් ටික දිනකින් ගර්භාෂය තුළදීම විනාශ වී යාම පමණකි. එසේ නම් සියලු ඉන්ද්‍රියයන් සහිත තමා හටගත්තේ කෙසේදැයි ආවර්ජකයා මනස යොමු කරයි. මෙම කලලයට එළඹුනු ගන්ධබ්බයාගේ හෙවත් ප්‍රතිසන්ධි විඤ්ඤාණය මගින් මෙකී නිර්මාණ ශක්තිය එයට ප්‍රවේශ කර ප්‍රතිසන්ධිය ඇතිකළ බව ඔහු නුවණින් දකියි. එම ප්‍රතිසන්ධි විඤ්ඤාණය නොඑළඹුනේ නම් මේ කලලය මවගේ ගර්භාෂය තුළදීම විනාශයට පත්වන්නේය. මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය කුමක්ද? පෙර භවයේ අවසානයට එළඹි චුති චිත්තයේ (හේතු සිතේ) විපාක සිතය. අද ඇති ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්, එමගින් සංස්කාර වශයෙන් එළඹවන ලද කර්ම විපාකයෝ ද ප්‍රතිසන්ධි විඤ්ඤාණය අද්භූත ආත්ම බලවේගයක් නොව, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකකි. පෙර භවයේ අවසානයට එළඹි කුසලා කුසල (සංස්කාර) කර්ම සිත හේතු ප්‍රත්‍යකොට හටගත් එකකි.
ආවර්ජකයා දැන් මේ කලලයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඉවත් කරයි. අද ඉමහත් ඇල්මෙන් හා අභිමානයෙන් නොයෙකුත් ඉන්ද්‍රියයන් දරා සිටින තමන්ට මමය මාගේය කියා ගත හැකි සියුම් දෙයක්වත් නැති තනි සෛලයක් පමණක් මනසින් මෙනෙහි කළ හැකිවෙයි. එහි තමන්ගේ සිතද නැත. එසේ නම් එයට ‘මම’ යන සංඥාව නොයෙදේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය එළඹීම නිසා අද සිටින තැනැත්තා ඇති වූ බැවින් ‘මම’ නොවන්නේද නොවේ. මම කලල මූලයට එළඹුනු ප්‍රතිසන්ධි විඤ්ඤාණය ආත්මයද? නැත. එයද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වූ විට නිරුද්ධ වන සංඛත ධර්මයකි.
තවද ප්‍රතිසන්ධි විඤ්ඤාණය නොඑළඹුනු කලල මූලය හෙවත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධයෙන් හටගත් ජීව ඒකකය කුමක්ද? පඨවි, ආපෝ, ෙත්ජෝ, වායෝ යන සතර මහාධාතූ®න්ගේ සමවායෙන් හටගත් රූප කලාප පොදියකි. බීජ නියාම ධර්මය මත නිර්මාණය වු එහි අයිතිය පවරා ගත හැකි කිසිවෙක් නැත. ප්‍රතිසන්ධි විඤ්ඤාණය නොඑළඹුනේ්නම් හෝ එළඹී සිටියත් ටික දිනකින් එය බැහැර වූයේ නම් හෝ එම කලල මූලය විනාශය ඒකාන්ත කොට ඇත. මමය මාගේය කියා ගතහැකි කිසිවක් එහි නැත.
ප්‍රතිගමනයේ මෙතැන් නතර වී මේ අනාත්ම දෘෂ්ටිය සෘජු කර ගන්නා තැනැත්තාට භාවිතාය බහුලීකතාය වශයෙන් බොහෝ කොට අනාත්ම සංකල්පය වඩන තැනැත්තාට, අද සිටින අවදියේදී තර කරගෙන ඇති මමංකාර බන්ධනයන්හි ඇති නිස්සාරභාවය මෙනෙහි කළ හැකිය. මෙය අනවරත පුහුණු ප්‍රතිපදාවකි. මේ කරුණු හුදු න්‍යායක් නොව සඵල ප්‍රායෝගික පිළිවෙතකි. ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, ශිල්පයෙන්, බලයෙන් කවර තරාතිරමක් උදාකර ගත්තත්, කවර මනුෂ්‍යයෙකුගේ වුවද මූලාරම්භය ජීව ඒකකයක් වශයෙන් එක සමානය.
කයෙහි යථා ස්වභාවය නුවණින් නොදකිනා තෙක් කල් අපි කවුරුත් මේ කය (පංචස්කන්ධය) ආත්ම වශයෙන් ගෙන සිටිමු. පොත පතෙන් ලබාගත් දැනුමෙන් හෝ ව්‍යුහ විද්‍යාව පිළිබඳ ශිල්ප දැනුමෙන් හෝ මේ යථා දර්ශනය වටහා ගත නොහැකිය. මුල සිට අගටත්, අග සිට මුලටත් හෙවත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් (යෝනිසෝ මනසිකාරයෙන්) මේ කය කෙරෙහි ඇති ආත්ම බැඳීම ලිහිල් වෙයි.