මේ ආකාරයට පූර්ව නිර්මිත ගී තනුවකට වචන යෙදිමට අවස්ථාවක් උදා වූයේ පලමු වතාවටය.ඒ මීට කලකට ඉහත දීය. එය ආධුනිකයෙකුට ලැබෙන විරල අවස්ථාවකි. මට ඒ අවස්ථාව උදා වූයේ 1990 දශකයේ අග භාගයේ දීය. මගේ අතින් ලියැවුණ ගීත සංකල්පනා කීපයක් ගීත වශයෙන් නිර්මාණය වී තිබුණද එතෙක් කිසිම දවසක තනුවකට (Music Track) ගී ලියා නොතිබුණ මට එය අලුත් අත්දැකිමක්ම විය.
එවකට “බ්ලූ ෂැඩෝෂ්” සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියා ලෙස හදුනාගෙන සිටි මගේ හිත මිතුරු සංගිත් විජේසූරියගෙන් හදිස්සියේ ඇරයුමක් ලැබුනේ ඔහුගේ සංගීත පථයකට (Music Track) ගීයක් ලියන්නටය.
සංගීත්ගේ ඇරයුම සතුටක් ගෙන දෙන කාරණයක් වුවද, ගී තනුව ඇතුළත් හඬ පටය දින කිපයක් තිස්සේ ඇසූවද, අදහසක් පහළ නොවුණි. ඒත් ගීතයේ සංගීතය බෙංගාලි ගී තනුවකට බෙහෙවින්ම සමීප ගතියක් දැනුණි. ඒත් ගීතයකට ගොනුකර ගැනිමට තරම් එකම වචනයක්වත් හිතට ආවේ නැත. දින කිපයකින් නැවත සංගීත් මා හමුවී ගීය ගැන විමසූ නමුත් ඒවන විටත් අකුරක්වත් ලියැවී නොතිබුණි.
“අපි දෙන්නම එකතුවෙලා සිංදුව හදමු.” සංගීත් යෝජනා කළේය.
මමද ඊට එක පයින්ම කැමැත්ත පළකළෙමි. දින කීපයකින් නැවත අප දෙදෙනාම හමුවුයේ එක හැන්දැවකය. ආගිය තොරතුරු කතා කරමින් සිටි අප දෙදනා ගීතය ගැන කතා කරන්නට වීමු.
“ මේක මම ලියලා අප්සට් ගියොත් මොකද කරන්නේ?” මම සංගීත්ගෙන් අසුවෙමි.
“ දයා මං මේ මියුසික් ට්‍රැක් එක හැදුවේ ජනප්‍රිය වෙන්නම නෙවෙයි. හැම ගීයක්ම ජනප්‍රිය වෙන්න ඕනෙත් නැහැ. ඒක නිසා බය නැතුව ලියන්න ඉතිරි ටික මං බලා ගන්නම්” සංගීත් කිවේය.
ඒ වචන ටික මට හොඳ දිරිගැන්වීමක් මෙන් ම අස්වැසිල්ලක්ද විය. ගීතය ගැන කතාබහ සෙමෙන් සෙමෙන් ඇදී යද්දී මේ ගී තනුවේ තිබූ අපූර්ව වයලීන වාදනය එවකට ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් ව තිබූ මධුරි ඩික්සිත් රඟපෑ “නාගීනා” චිත්‍රපටය එකවරම සිහිය නැගුවේය. ගී තනුවේ තිබූ බෙංගාලි ගී රටාවද ඒ ආසන්නයෙන්ම තිබූ නිසා ඒ ඔස්සේ ගීතය ගොනු කිරිමට අවස්ථාව එළඹ ඇති බව වැටහුණි.
ඒ එක්කම කේමදාසයන් සංගීතවත් කළ “සත්වෙනි දවස” චිත්‍රපටයද කීප විටක්ම නරඹා තිබූ මට එහි කතා පුවත සිහියට නැගුණි.
“මේකට නුහුරු වචන ටිකක් දැම්මට කමක් නැද්ද?” මම සංගීත්ගෙන් ඇසීමි.
“අවුලක් නෑ දයා, ටිකක් වෙනස් ගතියක් තිබුණොත් හොඳයි”
සත්වෙනි දවස චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑවේ “අගටන්නා” නම් වූ අහිගුණ්ඨික තරුණියකගේ චරිතයකි. එහි ගායන රිද්මයද මගේ හිතේ තැන්පත් වී තිබුණී.
“අගටන්නා.... කියල පටන්ගත්තොත් කොහොමද?” මම සංගිත්ගෙන් යළි ඇසුවෙමි.
“අන්න නියම වචනේ... හරියට හරි...මේ රිදම් එකට නියමෙට මැච් වෙනවා ඒක හොඳයි ඒ අදහසට ලියන්න” සංගිත්ගෙන ලැබුණ තල්ලුවෙන් මට හොඳ එන්නතක් ලැබුණි.
ඒත් ඒ වචනය ගැලපුනේ ගීයේ මැද කොටසට වුවද මුල තව වචන පේලි දෙකක් අඩුව තිබුණි. සංගීත්ගේ අත තිබූ ගිටාරය හැඬවෙන රිද්මයට “දූමුරු දූමුරු දූමුරු දෙයියා” පේලිය ලියැවුණි. “සත්වෙනි දවස” චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑ “අගටන්නා” නම් වූ අහිගුණ්ඨික තරුණියකගේ චරිතයට පෙම් කළේ සනත් ගුණතිලක ය. චිත්‍රපටය පුරාම මාලනී ෆොන්සේකා ඔහුට කතා කළේ “සිංදු කඩේ මහත්තයා” කියා ය. ගීයේ තනුවට ඒ වචන ටිකද ගානට ගැලපුණේය. මා මුල් වරට පැය කීපයක් ඇතුළත ගී තනුවකට එසේ ලියා නිම කළෙමි. ඊට පස්සේ සංගීත් සිය අත තිබූ ගිටාරය වයමින් ගීතය මුලුමනින්ම දෙතුන්වතාවක් ගැයුවේය. මා එසේ මුල් වරට තනුවකට ලියූ ගීය මෙයයි.