බෝම්බ 17 ක් සමග දර්ගා නගරයේ දී
ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක් ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස් කණ්‌ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බම්බලපිටිය පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.
අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.
පාකිස්‌තාන් සටන්කාමීන් ශ්‍රී ලංකාවේ සිටීදැයි සොයයි
කීර්ති වර්ණකුලසූරිය
පාකිස්‌තාන් සටන්කාමී කණ්‌ඩායම් ඒජන්තවරුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේද යන්න ගැන ආරක්‌ෂක බලධාරීන් විසින් විමර්ශන අරඹා ඇත.
පාකිස්‌තාන් අනාථයන් යෑයි හඳුන්වන 1489 ක පිරිසක් දැනට මෙරට සිටින අතර එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය ඔවුන් ගැන ක්‍රියාකරගෙන යයි.
දින 30 ක සංචාරක වීසා යටතේ මෙරටට පැමිණෙන පාකිස්‌තානුවන් විවිධ ප්‍රදේශවල සැරිසරන බවද හෙළිවී ඇත. මෙරටට පැමිණ සිටින පාකිස්‌තාන් සරණාගතයන් අහ්මදියා නිකායට අයත්වූවන් යෑයි තවදුරටත් හෙළිවී තිබේ.
මුස්‌ලිම් කතකගේ වෙස් ගෙන
දුම්රියේ ගිය පුද්ගලයා අත්අඩංගුවට
ගම්පොළ - සුරංග දිල්හාන්
මුස්‌ලිම් කාන්තාවකගේ වෙස් ගෙන දුම්රියේ ගමන් ගත් පිරිමියකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් සමත්ව ඇත.
මහනුවර සිට මාතලේ දක්‌වා ගමන් ගත් දුම්රියේ තනිව ගමන් කොට ඇති මුස්‌ලිම් කාන්තාව කෙරේ සිවිල් දුම්රිය ආරක්‌ෂකයන් නිරීක්‌ෂණයේ යෙදී සිටියදී ඇගේ හැසිරීම පිළිබඳව සැක සිතී ප්‍රශ්න කොට තිබේ.
එහිදී මොහු කාන්තාවක් නොව පිරිමියෙක් බව අනාවරණය වීම නිසා මාතලේ දුම්රිය ආරක්‌ෂක කාර්යාල බාර නිලධාරි එස් එච්. වීරවංශ මහතාට බාරදී තිssබේ.
මොහු පිළිබඳ වැඩිදුර පරීක්‌ෂා කිරීමේදී සඟවාගෙන සිටි රුපියල් 30000 ද සොයා ගෙන ඇත.
කාන්තා ඇඳුම් හැඳ හිස වසා ගමන්කොට ඇති මොහු එම ඇඳුම්වලට යටින් පිරිමි යට ඇඳුම් හැඳ සිට තිබේ.
මෙම සැකකටයුතු පුද්ගලයා මාතලේ පොලිසිය වෙත බාරදී ඇති අතර මොහු පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
ඉරාකය ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීමට තරුණයෝ හා ළමයි එක් වෙති
ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අයි. එස්. අයි. එල්. ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දස දහස් ගණනක් තරුණයන් හා ළමුන්ගෙන් සැදුම්ලත් හමුදා සේනාංකයක් ස්‌ථාපිත කර ඇත.
අයි. එස්. අයි. එල්. ත්‍රස්‌තවාදීන් සමග බ්‍රිතාන්‍යයේ සිටි ඉස්‌ලාමීය අන්තවාදීහු 450 ක්‌ද එක් වී ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හෙළි කර තිබේ. ඉරාකයේ සිටින ක්‍රිස්‌තියානීන්ද විශාල ලෙස පැන යන බව බැග්ඩෑඩ් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ අතර ඉරාකය බේරා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා යවන්නැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක් මරාදමති
කිනියාවේ ලාමු නැමැති සංචාරක නගරයට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක් ඝාතනය කර ඇත.
මෙම නගරයේ ජනතාව ලෝක කුසලාන තරගාවලිය නරඹන අවස්‌ථාවේ නිවාසවලට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු මුස්‌ලිම් නොවන ජනතාවට වෙඩි තබා තිබේ.
මෙම ඝාතනයට අල් ෂහාබාබ් ත්‍රස්‌තයන් 30 ක් සම්බන්ධ වී ඇත. ලාමා නගරය පිහිටියේ සෝමාලි දේශසීමාවේ සිට සැතපුම් 60 ක් ඈතිනි.