විශ්වයම ගම්මානයක් කළ ආතර් චාල්ස් ක්ලාක්....!!!
අපේ රටේ විද්‍යා තාක්ෂණ ප‍්‍රගමනයට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියට තාරකා විද්‍යා ගවේෂණවලට හා සිසු පරපුරේ දැනුම වර්ධනයට මෙන්ම සාමයට සහජීවනයට මහ මෙහෙයක් කළ ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා අපෙන් සමුගෙන ගියත්, එතුමා අපේ රටේ ගෞරවණීය පුරවැසියකු ලෙස වසර 52 ක් ශ‍්‍රී ලංකාවට කළ සේවය හා ලබාදුන් අභිමානය කිසිදා නොමියනු ඇත.
ඔහු පිහිනීමට කැමැති ය. මුහුදේ පිහිනීම ඔහුගේ ජනප‍්‍රියතම විනෝදාංශයයි. 1954 දෙසැම්බර් මාසයේ දී ඔහු ඔස්ටේ‍්‍රලියාවට ගියේ මහා බාධක කොරල් පරයේ පිහිනීම පිණිසය. ඒ ගමන ගියේ ‘හිමාලයා’ නම් නැවේය. ගමන අතරමඟ දී නැව කොළඹ වරායේ පැය 4 ක් නැංගුරම් දැමීය. ඒ ඇසිල්ලේ නැවෙන් බැස ගත් මේ සුවිශේෂ පුද්ගලයා කොළඹ නගරයේත් දෙහිවල සත්ත්ව උද්‍යානයටත් ගොස් මෙරට සිරි නැරැඹුවේ ය.
ඒ පැය 4 ඇතුළත ශ‍්‍රී ලංකාව පිළිබඳව ඔහුගේ සිත වශීවී ගියේ ය. ඒ නිසාම 1956 සිටම ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ ඒ සුවිශේෂ පුද්ගලයාට 1975 දී ශ‍්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසි භාවය ලැබිණි. මිය යන තුරුම ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටිමින් අපේ රටට අභිමානයක් එක් කළ ඒ පුද්ගලයා අන් කිසිවකු නොව පසුගියදා අප අතරින් වෙන්වූ ලෝක පූජිත විද්‍යා ලේඛක ආතර් සී. ක්ලාක් විද්වතාණන් ය.
අනාගතය සියැසින් දුටු ආතර් සී. ක්ලාක් විද්වතා ශ‍්‍රී ලංකාවේ සිටි ලෝක ප‍්‍රසිද්ධ සම්මාන හා තනතුරු රැසක් ලැබූ වැදගත්ම පුද්ගලයෙකි.
එතුමා ශ‍්‍රී ලංකාව, විශ්ව ගම්මාන වැඩ පිළිබඳව එක් කිරීමට කටයුතු කෙළේ ය. එතුමා 1945 දී ලොවට ඉදිරිපත් කළ චන්ද්‍රිකා තුනක් ආධාරයෙන් ලෝකය එක ම සන්නිවේදන ගම්මානයක් කළ හැකිය යන භªෂ්මික චන්ද්‍රිකා සංකල්පය අනුව ශ‍්‍රී ලංකාවට ද විපුල ප‍්‍රයෝජන ලැබිණි. අපේ රටේ අද ජංගම දුරකථන, ගෘහස්ථ දුරකථන හා කෙටි පණිවුඩ ආදිය ද මෙතරම් ජනප‍්‍රිය වීමට මූලික අඩිතාලම වැටුණේ ඒ සංකල්පයට පින් සිදු වන්නට ය. අද ලෝකයේ මෙන් ම ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියව පවතින අන්තර්ජාලය ලොවට හඳුන්වාදීමට ද මූලික අඩිතාලම වැටුණේ ද ආතර් සී. ක්ලාක් විද්වතා ලියූ කෙටි කතාවකි.
1954 ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට පැමිණි පැය 4 ක් පමණක් මෙරට ගත කර ගිය එතුමා යළිත් වරක් 1956 දී රට වටා සංචාරයක් කෙළේ ය. උණවටුන වෙරළ, මහා රාවණා කොටුව, හික්කඩුව ඇතුළු දකුණු මුහුද තීරුව ඔහුගේ ගවේෂණවලට ලක් විය. විශේෂයෙන් මහා රාවණා කොටුව අසල ගැඹුරු මුහුද ප‍්‍රදේශයේ මුහුදු බත් වූ නැව් සොයා ඔහු සුවිශේෂී සමුද්‍ර නිරීක්ෂණ රැසක නිරත විය. ඒ ගවේෂණ මෙරට කිසිම අයකු මෙතෙක් කර තිබූ ආකාරයේ ඒවා නොවී ය.
1956 එතුමාගේ පදිංචියත් සමඟම ශ‍්‍රී ලංකාව පිළිබඳව ලෝකයේ ම අවධානය අපේ රට කෙරෙහි යොමු විය. විශේෂයෙන් අන්තර් ජාලය ආරම්භ වීමට පෙර යුරෝපා ජාතිකයන් හා විශේෂයෙන් යුරෝපා විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් අපේ රට කෙරෙහි හොඳින් දැනගත්තේ ආතර් සී. ක්ලාක් විද්වතා මගිනි. ඔහු මිය යන තුරුම වසර 52 ක් මෙරට සිටිමින් අපේ සංචාරක ව්‍යාපාරයට එතුමා දැක්වූ සහාය ද අනුපමේයය.
අපේ සංචාරක කටයුතු පිළිබඳව එතෙර ප‍්‍රචාරය කරන අය ආතර් සී. ක්ලාක් මහතා මෙහි පදිංචිව සිටින බව ද නිතරම සඳහන් කරයි. මෙරට සමහර සංචාරක හෝටල්වල ඔහුට වෙන් කළ කාමර පවා ඇත.
මුහුද යට එතුමා කළ ගවේෂණවල ප‍්‍රතිඵල ඇසුරින් ඔහු තවත් දෙදෙනකු සමඟ මෙරට ප‍්‍රථම වර්ණ චිත‍්‍රපටය වූ ‘රන්මුතු දූව‘ නිපදවීය.
ආතර් සී. ක්ලාක් විද්වතා උඩරට පහත රට නැටුම් හා ගිනිකෙළි දර්ශනයක් නැරැඹීමට ද බලවත් කැමැත්තක් දැක්වීය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමඟ එක්ව කතරගම දේවාලයේ ගිනි පෑගීම චාරිත‍්‍රයේ විද්‍යාත්මක සත්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් කිරීමට ද ඔහු කි‍්‍රයා කළේය.
අපේ මේ පරසිදු විද්‍යාඥයා ශ‍්‍රී ලංකාවට කළ විශාලතම සේවය මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පිහිටුවීමට පෞද්ගලිකවම ආධාර කිරීම ය.
1945 දී භªෂ්මික චන්ද්‍රිකා සංකල්පය ඇතුළත් ලිපියක් බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛ පෙළේ සඟාවක් වන ‘වයර්ලස් වර්ල්ඩ්’ හි පළ විය. ලෝකයේ ම සන්නිවේදන ක්ෂේත‍්‍රය දියුණු තියුණු කළ මේ නව සංකල්පය මුළු ලෝකයේ ම සන්නිවේදන විප්ලවයක් ඇති කෙළේ ය. ඒ සුවිශේෂී ඉදිරිපත් කිරීම නිසා 1982 දී ඔහු ‘චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා’ විය. ඒ වෙනුවෙන් අපේ ක්ලාක් විද්වතාණන්ට මාර්කෝනි සම්මානය පිරිනමන ලදී. ඒ වෙනුවෙන් ලැබුණු ත්‍යාගය වූ ඇමෙරිකානු ඩොලර් 50000 ම (රුපියල් ලක්ෂ 50) ඔහු යොදවනු ලැබුවේ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පිහිටුවීම පිණිස ය.
තරුණ වියේදී
මේ මධ්‍යස්ථානය මෙරට රූපවාහිනි සන්නිවේදන ක්ෂේත‍්‍රයේ හා මුද්‍රිත මාධ්‍යවල විප්ලවයක් ඇති කළ බව කීම අතිශයෝක්තියක් නොවේ. අතීතයේ අපේ රටට රූපවාහිනි ප‍්‍රවෘත්ති සඳහා නැවුම් විදේශ ප‍්‍රවෘත්ති ලබාගැනීම ඉතා අපහසු විය. එසේ වුවත් 1987 සිට මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් බීබීසී හා සීඑන්එන් ප‍්‍රවෘත්ති එවෙලේම පටිගත කර අදාළ රූපවාහිනි ආයතනවලට ලබාදීමේ වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක කෙළේ ය. මෙරට මුද්‍රිත මාධ්‍ය ආයතනවලට හා රූපවාහිනි ආයතනවලට වර්ණ නිශ්චල හා චංචල ඡායාරූප ලබා ගැනීමට ආතර් සී. ක්ලාක් විද්වතා සොයාගත් චන්ද්‍රිකා තාක්ෂණය ප‍්‍රබල පිටුබලයක් විය.
අද මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මෙරට ප‍්‍රමුඛ පෙළේ පර්යේෂණ සංවර්ධන හා පුහුණු ආයතනයක් ලෙස ද කි‍්‍රයා කරයි.
ජපානයෙන් පරිත්‍යාග කළ සෙන්ටි මීටර් 45 කැසර්ග්‍රේන් වර්ගයේ දුරේක්ෂය ද මෙහි ඇති සුවිශේෂි උපකරණයකි. ඊට අමතරව ආතර් සී. ක්ලාක් විද්වතා විසින් ද මේ ආයතනයට තවත් දුරේක්ෂයක් පරිත්‍යාග කර ඇත.
මෙම දුරේක්ෂය ආධාරයෙන් පාසල් සිසුන්ට හා තාරකා ලෝලින්ට නේවාසික තාරකා වැඩමුළු ද පැවැත්වේ. ඒ වැඩ මුළුවලට සහභාගි වන අයට ලබාදෙන සහතික සඳහා කොතරම් අසනීප තත්ත්වයේ සිටිය ද ආතර් සී. ක්ලාක් විද්වතාණන් සිය අස්සන යොදනු ලබයි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ නිර්මාතෘ ලෙස ද අනුශාසක ලෙස ද මේ අයුරින් එතුමා අපේ දූ දරුවන්ට ලබාදෙන සහතික 500 කට පමණ සිය අස්සන යොදා සහතික පිරිනැමීම අපේ දරු පරපුර ලැබූ භාග්‍යයකි.
මෙම දුරේක්ෂය හා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඇති අනෙක් දුරේක්ෂ ආධාරයෙන් අද මේ රටේ සියලුම පළාත්වල සිසු දරු දැරියන්ට හා තාරකා විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන අයට දිවා රාති‍්‍ර තාරකා විද්‍යාත්මක වැඩමුළු රැසක් ම පවත්වා තිබේ. ඉදිරියටත් වැඩමුළු පවත්වන අතර එමගින් පුහුණුව ලැබූ සිසු පිරිස දැනට දස දහසකට අධිකය.
විදුලි සංඥා කණු සවි කිරීම හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඉලෙක්ටේරානික හා පරිගණක තාක්ෂණය පිළිබඳ නවීන දැනුම ලබාදීමට ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු කරයි.
ආතර් සී. ක්ලාක් විද්වතාණන් ගේ ග‍්‍රන්ථ රැසක් ඇතුළත් මෙරට නවීනතම විද්‍යා පුස්තකාලය ද ඇත්තේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ය. එම පුස්තකාලයෙන් ද මෙරට සිසු පරපුරේත් විද්‍යා හා තාක්ෂණයට ආදරය දක්වන සියලු දෙනාගේත් තොරතුරු ලබාගැනීමේ පිපාසය සංසිදුවනු ලැබේ.
පරිගණක, පණිවුඩ හුවමාරු, රොබෝ තාක්ෂණය, තාරකා විද්‍යාව, බලශක්ති සම්බන්ධව ශ‍්‍රී ලංකාවටත් තුන් වැනි ලෝකයටත් උචිත පරිදි තාක්ෂණය සකස් කර ගැනීමට 1984 දී පිහිටවනු ලැබූ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තු පනතකින් පවා අනුමත කර ඇත. ඒ ආතර් සී. ක්ලාක් මහතාට උපහාර ලෙසයි.
90 වැනි උපන්දිනය දා ජනාධිපතිතුමා සහ ඇමැති බෝගොල්ලාගම සම¼ඟ
මෙරට පවත්වන විද්‍යාත්මක ක්ෂේත‍්‍රයේ උත්සවවලට ද ආතර් සී. ක්ලාක් විද්වතා සහභාගි වෙයි. එවැනි එක් අවස්ථාවකදී ඔහු විවිධ අදහස් පළ කරයි. ඔහු 1995 දී කි‍්‍රකට් කාලය කා දමන කී‍්‍රඩාවක් බව පැවසීය. ආචාර්ය ක්ලාක් විසින් රචිත ච්ඥඥන අචදඨඥ (ගැඹුරු මුහුද) කෘතියේ 2050 වර්ෂය වන විට මනුෂ්‍ය සිත් සතන් පුබුද විය හැකි එකම ආගම වන්නේ බුද්ධාගම බව සඳහන් කර ඇත. ආතර් සී. ක්ලාක් මහතා සිය අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳව කරුණු දක්වා තිබේ. ඒ අනුව අවමඟªල් කටයුතු ආගමික චාරිත‍්‍රවලින් තොරව සිදු කළ යුතු ය. ඊට අමතරව අවමඟුල් කටයුතු සඳහා බි‍්‍රතාන්‍ය රජයේ හෝ ශ‍්‍රී ලංකා රජයේ රාජ්‍ය අනුග‍්‍රහය අවශ්‍ය නොවේ. කිසිම කථාවක් නැතිව සැරසිලි නැතිව අවමඟුල් උත්සවය අවසන් කළ යුතු බව ද ආතර් සී. ක්ලාක් විද්වතා දක්වා ඇත. ඒ අනුව විශ්වයට හෙල්ලූ එතුමා නිසොල්මනේ සිය අවසන් ගමන යයි.
ආතර් සී. ක්ලාක් මහතාගේ 90 වැනි ජන්ම දිනයේ දී ඔහු ගැනම අපූරු අදහසක් ඉදිරිපත් කළේ ය. තමා පිළිබඳව ස්මරණය කරන විට තමා විද්‍යා ලේඛකයකු ලෙසට මතක තබා ගන්නේ නම් තමා ඉතා සතුටු වන බව ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසා ඇත.
ඒ සමඟම ආතර් සී. ක්ලාක් විද්වතා අවසන් කාලයේදී අප ඉටු කරගත යුතු විශේෂ කරුණු 3 ක් පිළිබඳව ද අවධානය යොමු කර ඇත. ඉන් පළමු වැන්න පිට සක්වළ ජීවීන් සොයා ගැනීමයි. දෙවැන්න සුපිරිසුදු විකල්ප බලශක්ති නිපදවීමයි. තෙවැන්න ශ‍්‍රී ලංකාවට තිරසාර සාමයක් ඇතිවීමයි.
එතුමා වෙනුවෙන් අපට කළ හැකි යුතුකම වන්නේ ඉහත කරුණු තුන ඉෂ්ට සිද්ධ කර ගැනීමට සුහුසුලුව කටයුතු කිරීම බව අපේ අදහසයි.
අපේ රටට මෙවන් සේවයක් කරමින් රටට අභිමානයක් එක් කළ චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස විරුදාවලි ලත් මේ ලෝක ප‍්‍රසිද්ධ විදුධරයා අපෙන් වෙන්වීම නිසා අප රටට සිදුවූ පාඩුව කවදා මොන ආකාරයකින් පියවන්නට ලැබේදැයි අපට සිතීමට අපහසු ය. එමෙන් ම එතුමා අපෙන් වෙන්වීම නිසා ඇතිවූ හිදැස කිසි දිනෙක පිරවීමට හැකි වේ දැයි අපට සිතීමට අපහසු ය.
