විවිධ ආශාවන්ගෙන් මියයන පුද්ගලයන් අමනුෂ්‍ය භවයන්වල උත්පත්තිය ලබනවා . තමන්ගේ ආශාවන් ඉෂ්ඨ කරගන්න හැකි සිත දුර්වල පුද්ගලයන්ගේ ශරීරවලට ආකර්ශනය වෙනවා . එහෙම නැතිනම් ඒ අයව මෙහෙයවනවා . ආශාවන්ගෙන් පෙලෙන සියලුම ජීවත්වන අයට ප්‍රේත ආත්ම වලින් නැතිනම් අමනුෂ්‍ය ආත්මවලින් බලපෑමක් වෙන්නෙත් නෑ .
“සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා. යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පසන්නා යේව භගවතෝ. තං කිස්ස හේතු?
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු පහත් යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු පහත් යක්ෂයෝ සිටිති.ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොපැහැදුණෝ ම ය. ඒ මක් නිසා ද යත්;
භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති, යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පටිවිරතා යේව පාණාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා, අප්පටිවිරතා කාමේසු මිච්ඡාචාරා, අප්පටිවිරතා මුසාවාදා, අප්පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා. තේසන්තං හෝති අප්පියං අමනාපං.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ සත්ව ඝාතයෙන් වෙන් නොවූවෝ ම ය. සොරකමෙන් වෙන් නොවූවෝ ම ය. වැරදි කාම සේවනයෙන් වෙන් නොවූවෝ ම ය. බොරු කීමෙන් වෙන් නොවූවෝ ම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් නොවූවෝ ම ය. එහෙයින් ඔවුන්ට පංචශීල ධර්මය අප්‍රිය ය. අමනාප ය.
සන්ති හි භන්තේ භගවතෝ සාවකා, අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනෝ යේ ඉමස්මිං භගවතෝ පාවචනේ අප්පසන්නා. තේසං පසාදාය උග්ගණ්හාතු භන්තේ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා”ති.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ, හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කරති. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයෙහි නොපැහැදුණු යම් බලසම්පන්න යක්ෂයෝ වෙත් ද, ඔවුහු ඒ සෙනසුන් පෙදෙස්හි වාසය කරති. ඔවුන්ගේ පැහැදීම පිණිස, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවනු පිණිස, පහසුවෙන් විසීම පිණිස ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගන්නා සේක්වා!”
ඉත්ථිවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
පුරිසවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
ස්ත්‍රියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. පුරුෂයෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති
කුමාරිවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
කුමාරවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
කුමරියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. කුමරෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති
යෝ හි කෝචි මාරිස අමනුස්සෝ; යක්ඛෝ වා යක්ඛිනී වා, යක්ඛපෝතකෝ වා යක්ඛපෝතිකා වා, යක්ඛමහාමත්තෝ වා යක්ඛපාරිසජ්ජෝ වා යක්ඛපචාරෝ වා, ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපෝතකෝ වා ගන්ධබ්බපෝතිකා වා, ගන්ධබ්බමහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බපචාරෝ වා, කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපෝතකෝ වා කුම්භණ්ඩපෝතිකා වා, කුම්භණ්ඩමහාමත්තෝ වා කුම්භණ්ඩපාරිසජ්ජෝ වා කුම්භණ්ඩපචාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපෝතකෝ වා නාගපෝතිකා වා, නාගමහාමත්තෝ වා, නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා, පදුට්ඨචිත්තෝ; භික්ඛුං වා භික්ඛුනිං වා, උපාසකං වා උපාසිකං වා, ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය. ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය, ඉමේසං යක්ඛානං මහායක්ඛානං, සේනාපතීනං මහාසේනාපතීනං, උජ්ඣාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං; අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසති, අයං යක්ඛෝ හේඨේති, අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති, අයං යක්ඛෝ විහිංසති, අයං යක්ඛෝ න මුඤ්චතීති.
නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍යයෙක් යක්ෂයෙක් වේවා, යක්ෂණියක් වේවා, යක්ෂ පැටියෙක් වේවා, යක්ෂ පැටවියක් වේවා, යක්ෂ මහඇමතියෙක් වේවා, යක්ෂ පිරිසට අයත් අයෙක් වේවා, යක්ෂ මෙහෙකරුවෙක් වේවා, ගාන්ධර්වයෙක් වේවා, ගාන්ධර්වියක් වේවා, ගාන්ධර්ව පැටියෙක් වේවා, ගාන්ධර්ව පැටවියක් වේවා, ගාන්ධර්ව මහඇමතියෙක් වේවා, ගාන්ධර්ව පිරිසට අයත් අයෙක් වේවා, ගාන්ධර්ව මෙහෙකරුවෙක් වේවා, කුම්භාණ්ඩයෙක් වේවා, කුම්භාණ්ඩියක් වේවා, කුම්භාණ්ඩ පැටියෙක් වේවා, කුම්භාණ්ඩ පැටවියක් වේවා, කුම්භාණ්ඩ මහඇමතියෙක් වේවා, කුම්භාණ්ඩ පිරිසට අයත් අයෙක් වේවා, කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා, නාගයෙක් වේවා, නාගිනියක් වේවා, නාග පැටියෙක් වේවා, නාග පැටවියක් වේවා, නාග මහඇමතියෙක් වේවා, නාග පිරිසට අයත් අයෙක් වේවා, නාග මෙහෙකරුවෙක් වේවා, ද්වේෂයෙන් දූෂිත වූ සිතින් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ යන විට ඒ අනුව යන්නේ හෝ වෙයි ද, සිටින විට ළං ව සිටින්නේ හෝ වෙයි ද, හිඳින විට ළඟින් හිඳින්නේ හෝ වෙයි ද, සැතපෙන විට සමීපයේ සැතපෙන්නේ හෝ වෙයි ද,එකල්හී මේ යක්ෂයින්ට, මේ මහා යක්ෂයින්ට, මේ සෙන්පතියන්ට, මේ මහා සෙන්පතියන්ට දැනුම් දිය යුත්තේ ය. හඬ නගා කිව යුත්තේ ය. කෑ ගසා කිව යුත්තේ ය. එනම්; ‘මේ යක්ෂයා මා අල්ලා ගනියි. මේ යක්ෂයා මට ආවේශ වෙයි. මේ යක්ෂයා මා පෙළයි. මේ යක්ෂයා මා බොහෝ සෙයින් පෙළයි. මේ යක්ෂයා මට හිංසා කරයි. මේ යක්ෂයා මට බොහෝ හිංසා කරයි. මේ යක්ෂයා මා නිදහස් නොකරයි’ කියා ය.