එජාප ජනපති අපේක්ෂක රනිල්
ජනපති මැතිවරණ කමිටුව තීරණය කරයි
අකිත පෙරේරා
source Divaina
ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.
ජනාධිපතිවරණය ජය ගැනීම අරමුණු කරගනිමින් එජාපය විසින් පසුගිය මස (සැප්තැම්බර්) 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුතු මෙම ඉහළ පෙළේ කමිටුව පත් කර ගන්නා ලදී.
එජාප නායකත්ව මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ද නියෝජනය වන පරිදි පත් කර ගනු ලැබූ මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඊයේ (10 දා) එහි උපසභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පත් කර ගෙන තිබේ.
මෙම මෙහෙයුම් කමිටුව ඊයේ (10 දා) දිනයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය ජනපතිවරණයේ සංවිධාන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.
මැතිවරණ ප්‍රතිපත්ති, වෙනත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළු විශේෂ කරුණු ගණනාවක් ගැනම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එජාප මන්ත්‍රීවරයෙක් "දිවයින" ට පැවසීය.
මේ වනවිටත් පක්ෂයේ ප්‍රබලයන් අනෙක් දේශපාලන පක්ෂ සමග සිදු කරනු ලබන විශේෂ සාකච්ඡාවක ප්‍රගතිය සම්බන්ධව ඉතා ඉක්මනින් මෙහෙයුම් කමිටු සාමාජිකයන්ට දන්වන බව ද නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණයේදී එජාප ඡන්දපළ නියෝජිතයන් ලබන 28 දා කොළඹට ගෙන්වා පවත්වනු ලබන විශේෂ සමුළුව ගැනද මෙහිදී සාකච්ඡා වූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.