1923 ඔක්තෝබර් 4 වැනිදාවක ඇමෙරිකාවේ ඉලිනොයිසˆ(Illinois) වල දී උපත ලැබූ මේ වීර නළුවා මුලින් ම හඳුන්වන ලද්දේ ජෝන් චාල්ස් කාටර් නමිනි. (John Charles Carter) ඔහු උපන් වර්ෂය ගැන පොඩි ප‍්‍රශ්නයක් තිබේ. ඒ 1923 දී ද නැත්නම් 1924 දී ද යන්න යි. ඔහු ගේ වෙබ් අඩවියෙන් ලැබෙන තොරතුරුවල ද මේ වර්ෂ දෙක ම සඳහන් වෙයි.
චාල්ටන් හෙස්ටන් වීර නළුවෙකු ලෙස මුළු ලොව පුරා ප‍්‍රසිද්ධ වීමටත්, ජනප‍්‍රිය වීමටත් පටන් ගත්තේ ඔහු රඟපෑ “ද ටෙන් කොමාන්ඩ්මන්ට්ස් (The Ten Commandments) නමැති වීර කාව්‍යයේ මෝසස් ගේ චරිතය නිරූපණය කිරීමෙන් පසුව ය.
ඉන් පසු ඔහු ‘බෙන් හර්’ නමැති (Ben Hur)දැවැන්ත චිත‍්‍රපටයේ රඟපෑවේ ජුඩා බෙන්හර් (Judah Ben Hur)නම් වීර සෙබළා ගේ චරිතය යි. චාල්ටන් ලොව පුරා තව තවත් ජනප‍්‍රිය වීමට ‘බෙන් හර්’ චිත‍්‍රපටය තදින් ම බලපෑවේ ය.
ලයිලා චාල්ටන් සහ රසල් වයිට්ෆෝඩ් කාටර් ඔහු ගේ මාපියෝ වූහ. චාල්ටන් ගේ පියා වතුපිටි වෙන්දේසිකරුවෙකි.
චාල්ටන් කුඩා කාලයේ ම ඔහු ගේ මවත් පියාත් දික්කසාද වූහ. මව චෙස්ටර් හෙස්ටන්(Cheter Heston) නමැති තරුණයා සමඟ යළි විවාහ වූවා ය. දස හැවිරිදි ජෝන් චාල්ස් කාටර් - චාල්ටන් හෙස්ටන් වූයේ එතැන් සිට ය.
ඔස්කාර් සම්මාන ඇතුළු සම්මාන රාශියකින් ම පිදුම් ලබා ඇති චාල්ටන් හෙස්ටන් රංගන කලාවට ප‍්‍රිය බවක් දැක්වූයේ පාසල් වියේ දී ම ය. ඒ බැව් දත් මව පාසලේ නාට්‍ය පංතියට ඔහු ඇතුළත් කළා ය
රංගනයට උපන් හැකියාවක් දැක්වීම නිසා චාල්ටන්ට වැඩි කලක් යෑමට මත්තෙන් නෝත් වෙස්ටන් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබිණි. ඒ නාට්‍ය කලාව තවදුරටත් හැදෑරීම සඳහා ය. නෝත් වෙස්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ටික කලකට පසු ඔහු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හවුල් කරගෙන විලියම් ෂේක්ස්පියර් ගේ “ජුලියස් සීසර්” නාට්‍යය වේදිකා ගත කළේ ය. ඔහු මෙම නාටකයේ මාක් ඇන්ටනී ගේ චරිතය රඟපෑවේ ය.
පාසලෙන් සමුගත් චාල්ටන් 1944 දී ඇමෙරිකානු ගුවන් හමුදාවට බැඳුණේ ය. අවුරුදු දෙකක් එහි සේවය කළ ඔහු මේ කාලය තුළ දී ලයිඩියා මාරි ක්ලාක් සමඟ විවාහ විය. මෙම විවාහයෙන් චාල්ටන්ට පේරෂර් ක්ලාක් නමින් පුතෙකු සිටී. හෝලි ඈන් නමින් දියණියක ද ඔවුහු දරුකමට හදා වඩා ගත්හ.
1948 දී සිය බිරිය සහ දරුවන් සමඟ නිව්යෝර්ක් නගරයට පැමිණි චාල්ටන් එහි දී බ්‍රෝඩ්වේ නාට්‍යවල රඟපෑමට පටන්ගත්තේ ය. ඉන්පසු ඔහු රූපවාහිනි ටෙලිනාට්‍යවල ද පෙනී සිටියේ ය. “වොදරිං හයිට්ස්” ඔහු රඟපෑ එක ටෙලි නාටකයකි.
1950 දී මෙම ටෙලි නාටකයත් එහි රඟපෑ චාල්ටන් හෙස්ටන් නමැති තරුණ රංගන ශිල්පියාත් චිත‍්‍රපට නිෂ්පාදක හල් බී. වලිස්ˆ(Hal B Wallis)ගේ නෙත ගැටිණි. මෙම තරුණ නළුවා තමා ගේ චිත‍්‍රපටයකට යොදා ගැනීමට නිෂ්පාදක හල් වලිස් තීරණය කළේ ය.
ඔහු ගේ ඇරියුමට චාල්ටන් කැමැත්ත පළ කළේ ය. මේ අනුව ඔහු 1950 දී ’ඩාක් සිටි’ (Dark City) නමැති චිත‍්‍රපටයේ රඟපා රංගන ශිල්පියෙකු ලෙස පුංචි නමක් ඇති කර ගත්තේ ය.
හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිෂ්පාදක - අධ්‍යක්‍ෂවරයෙකු වන සිසිල් බී. ද මිල් (Cecil B De Mill) චාල්ටන් ගේ හැකියාවන් දැක ඔහු ”ද ග්‍රේටස් ෂෝ ඔන් අර්ත්(The Greatest Show on Earth) නමැති චිත‍්‍රපටයේ සර්කස් මැනේජර් ගේ චරිතයට යොදා ගත්තේ ය. රංගන ශිල්පියෙකු හැටියට ඔහු ඩි මිල් ගේ පමණක් නොව රසිකයන් ගේ ද සිත් දිනා ගනිමින් ආකර්ෂණීය රංගනයක් ඉදිරිපත් කළේ ය.
චාල්ටන් සිනමා ප‍්‍රතිමූර්තියක් (Icon) බවට පත්වූයේ මිල් ගේ ‘ද ටෙන් කොමාන්ඩ්ටන්ට්ස්’ චිත‍්‍රපටයේ මොසස් ගේ චරිතය රඟපෑමෙන් පසුව ය.
මයිකල් ඇන්ජිලෝ නමැති ලෝ පතළ චිත‍්‍ර ශිල්පියා ඔහු ගේ තෙලි තුඩින් මෝසස් ගේ චිත‍්‍රයක් ඇඳ තිබිණි. මයිකල් ඇඳ තිබුණු මෝසස් ගේ චිත‍්‍රයත් චාල්ටන් හෙස්ටන් ගේ රූපයත් එක වගේ ම ය. සත්දන්ත පුරුෂයෙකු ගේ රූපකායක් ඇන්ජිලෝ එම චිත‍්‍රයෙන් ඇඳ තිබිණි. අඩි හයකුත් අඟල් තුනක් උස චාල්ටන් එම චිත‍්‍රයේ සිටින අයෝමය පුරුෂයා මෙනි. මෙම චිත‍්‍රය දුටු ඩිමිල් මෝසස් ගේ චරිතයට සුදුසු ම පුද්ගලයා චාල්ටන් බව තීරණය කළේ ය.
’බෙන්හර්’ නමැති දැවැන්ත චිත‍්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ 1959 දී ය. මේ සඳහා මාලන් බ‍්‍රැන්ඩෝ, බර්ට් ලැන්කැස්ටර් සහ රොක් හඩ්සන් යන රංගන ශිල්පීන් තෝරා ගෙන තිබිණි. එහෙත් මේ රංගන ශිල්පීන් තිදෙනා ම ‘බෙන්හර්’ හි ජුඩා බෙන්හර් ගේ චරිතය රඟපෑමට “බෑ” කීහ. බෙන් හර් චරිතය සඳහා චාල්ටන් හෙස්ටන් තෝරා ගන්නා ලද්දේ ඉන් පසුව ය.
’බෙන්හර්’ ඔස්කාර් සම්මාන එකොළහක් දිනා ගත්තේ්ය. චාල්ටන් හෙස්ටන් හොඳ ම නළුවා ලෙස ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. රංගන ශිල්පියෙකු ලෙස චාල්ටන් ලෝ පතළ වීමටත් ජනප‍්‍රිය වීමටත් පටන් ගත්තේ ‘බෙන්හර්’ තිරගත වීමෙන් පසුව ය.
චාල්ටන් ඉන්පසු ප‍්‍රබන්ධ කතාවල මෙන් ම ඓතිහාසික කතා රැගත් චිත‍්‍රපටවල ද රඟපාමින් රංගන ශිල්පියෙකු ලෙස දැවැන්ත ප‍්‍රතිරූපයක් ගොඩ නඟා ගත්තේ ය.
එල්සිඩ් (Elcid - 1961)ෆිෆ්ටි ෆයි ඩේස් ඇට් පීකිං (55 Days at Peking - 1963) ද ඇගනි ඇන්ඩ් ද එක්ස්ටසි (The Agony and the Ecstasy – 1965)සහ කාටූම් (ම්ඩචපබධභථ - 1966) ඔහු රඟපෑ ජනප‍්‍රිය චිත‍්‍රපටවලින් කීපයකි.
1965 දී ස්කි‍්‍රන් ඇක්ටර්ස් ගිල්ඩ් සංගමයේ සභාපති ධූරයට පත් චාල්ටන් 1971 වන තෙක් එම ධූරය හෙබවී ය.
ප්ලැනට් ඔෆ් ද ඒප්ස් (Khartoum - 1966)ජූලියස් සීසර් (Planet of the Apes - 1968) ද ඔමේගා මෑන් (Julius Caesar – 1970)සහ අර්ත් ක්වේක් (The Omega Man – 1973) හෙස්ටන් රඟපෑ තවත් චිත‍්‍රපට කීපයකි.
පසු කාලයක දී දේශපාලනයට පිවිසි චාල්ටන් හෙස්ටන් මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් කෙළේ ය.
1998 දී චාල්ටන් ගේ උකුලේ ආබාධයක් ඇති විය. ඒ සමඟ ම ඔහු පිළිකා රෝගයකින් පෙළෙන බව ද හෙළි විය. පිළිකාවට කරන ලද ප‍්‍රතිකාරවලින් ඔහු බොහෝ දුරට සුවය ලැබුවේ ය. එහෙත් 2002 දී ඔහු අල්ෂයිමර් රෝගයෙන් පෙළෙන බව වෛද්‍යවරු කීහ. ඒ අතර ම ඔහු රෝහල් ගත කැරිණි.
එහෙත් පසුගිය 2008.04.05 වෙනි දා හෙස්ටන් මියගියේ ඔහු ගේ නිවසේ දී ම ය.
චාල්ටන් හෙස්ටන් යනු හොලිවුඩ් සිනමාවේ අමරණී නාමයකි. ‘බෙන්හර්’ සහ ‘ටෙන් කොමාන්ට්මන්ට්ස්’ නමැති චිත‍්‍රපට යුගල පමණක් වුව ඒ සඳහා සෑහේ.
උපුටා ගැනීම silumina


.BALANNA ONA 