අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ වාර්තාවූ කොරෝනා වෛරස ආසාදිත 7 වන මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ මරණයට පත්වූ පුද්ගලයා 44 හැවිරිදි පිරිමි අයෙක් බවත් කොළඹ I.D.H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්ය
ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙක් බවත් මෙම පුද්ගලයා ජර්මනියේ සංචාරයක යෙදී සිට ලංකාවට පැමිණ ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට අවනත නොවී කටයුතු කළ මෙම පුද්ගලයාට එරෙහිව නඩුවක්ද පවරනු ලැබු බව citizen මීට පෙර වාර්තා කලා .
ඒ , එම පුද්ගලයාට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කලත් එම උපදෙස් වලට අවනත නොවී විවිධ ස්ථානවල කොරෝනා වෛරසය පැතිරෙන ලෙස මෙම ව්‍යාපාරිකයා සංචාරය කිරීම හේතුවෙන් .
මේ සම්බන්ධයෙන් අප පෙර පළ කළ පුවත පහතින්
ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (16 වැනිදා) නඩුවක් පවරා තිබේ.
ගල්කිස්ස පොලිසිය විසින් අංක බී 950/2020 යටතේ පවරා තිබෙන මෙම නඩුවට අදාළ කරුණු පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් සී.ආර්. ධර්මතිලක වෙත ඉදිරිපත් කළේය.
මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වෙයි.
මේ වන විට නඩුවේ පළමු සැකකරු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අධිකරණයට දන්වා සිටියේය.
තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.
ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබිණි.
රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
මෙම නඩුවේ දෙවැනි සැකකාරිය සහ ඇයගේ දරුවන් තිදෙනා ඔවුන් පදිංචි නිවසේ තබාගෙන ස්වයං නිරෝධායනයට ලක්කරමින් සිටින බව දන්වා සිටි පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ රුවන් ගුණසේකර ඔවුන්ට මෙතෙක් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී නොමැති බව අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව පවත්වනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන අප්‍රේල් මස 2 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.[/SIZE]