පින්වත් දරුවනේ, ගෞතම බුදු රජාණන් වහන්සේ ලොව පහළ වුණේ චතුරාර්ය සත්*ය ධර්මය ලෝකයට හෙළි කර දීම පිණිස ම යි. ඒ බව උන්වහන්සේ වදාළ පළමු දේශනාව වන දම්සක් පැවැතුම් සූත්*ර දේශනාවෙන් හොඳින් ම ඔප්පු වෙනවා. ඒ දේශනාව වදාළේ බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන මිගදාය නම් සුන්දර වනයක යි. ඒ දෙසුම අහගෙන හිටියේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන ස්වාමීන් වහන්සේල යි. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා පිරිස ඉතා ඉක්මණින් වැඩි වුණා. හොඳ බුද්ධිමත් තරුණ පිරිස් හරිම ආශාවෙන් පැවිදි වුණා. සිල් රැක්කා. භාවනා කළා. ධර්මය අවබෝධ කළා. සුන්දර සිත් ඇති රහතන් වහන්සේලා බවට පත් වුණා. උන්වහන්සේලා හරිම නිදහස් සිතෙන් මං මාවත් පුරා වැඩම කළා. නුවණැති මිනිසුන්ට මේ ධර්මය කියල දුන්නා. හරිම වාසනාවන්ත යුගයක් බිහි වුණා.
ඉතින් දරුවනේ, ඒ දිනවල බුදු රජාණන් වහන්සේ වැඩ සිටියෙත් රජගහ නුවර ම යි. රජගහ නුවරට වැඩම කළ බුදු රජාණන් වහන්සේගෙන් දහම් ඇසීමේ වාසනාව බිම්බිසාර රජතුමාටත් උදාවුණා. ඔහු සෝවාන් වූ ගිහි ශ්*රාවකයෙක් බවට පත් වුණා. රජතුමාට හරි සතුටුයි. ධර්මාවබෝධයෙන් ලැබුණු ප්*රීතිය නිසා රජකම ලැබුණු දවසටත් වඩා සතුටු වුණා. බුදු රජාණන් වහන්සේ ආරාම පිළිගැනීමට අවසර දුන් බව දැනගෙන රජතුමා තවත් සතුටු වුණා. ඔහුට තිබුණා ලස්සන උද්*යායනයක්. හැම තැන ම වවල තිබුණේ සිහින් කොළ තිබෙන ලස්සන උණ පඳූරු යි. ලස්සනට මල් වවල තිබුණා. හැම තැන ම ලේනුන් පිරිල හිටියා. ඒ උද්*යානය නම් කරල තිබුණේ ලේනුන් ගේ අභය භූමිය කියල යි. රජතුමා එය වේළුවනාරාමය නමින් බුදු රජාණන් වහන්සේට පූජා කළා. ඒ පූජාව තමයි පළමුවෙන් ම ලැබුණු ප්*රධාන ආරාමය වුණේ. වේළු කියන්නේ උණ ගසට යි. උණගස්වලින් පිරුණු වනයක් නිසා ඒ ලස්සන උද්*යානය වේළුවනාරාමය නමින් හැඳින්වුණා. ඒ වගේ ම ගිජ්ක්ධකූට පර්වත මුදුනේත් නිස්කලංක පරිසරයක කුටි තනවා පූජා කළා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩින ඉතා සුන්දර යුගයක් රජගහ නුවර බිහි වුණා.
එදා අස්සජී මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින මාවතේ තරුණ උපතිස්ස තවුසා ද ගමන් කරමින් සිටියා. ඒ රහතන් වහන්සේ ගේ සුන්දර ඉරියව් දුටු සැණින් තරුණ උපතිස්සයන් ඇස පිය නො හෙළා බලා සිටියා. “ම් ... අමුතුම කෙනෙක්. අමුතුම සංවරයක්. ශාන්ත ගමනක්. නිවී ගිය පෙනුමක්. හරි පුදුමයි! මං බොහෝ ම තවුසන් දැක තිබෙනවා. පිරිවැජියන් දැක තිබෙනවා. විවිධාර විමුක්ති ගවේෂකයන් දැක තිබෙනවා. නමුත් මේ ශ්*රමණයන් වහන්සේ තුළින් ඒ කිසිවෙක් තුළ නො තිබූ වෙනසක් මට පේනවා. නිසැකව ම මේ ශ්*රමණයන් වහන්සේ සංසිඳී ගිය සිත් ඇති කෙනෙක් ම යි.” උපතිස්ස පිරිවැජියා අස්සජී මහරහතන් වහන්සේ පසුපසින් ගමන් කළා. උන්වහන්සේ ඉතා සංසුන් ලෙස පිඬුසිඟා වැඩීමෙන් ලබාගත් දානය රැගෙන වළඳන්නට තැනක් සොයා ගෙන පිටත් වුණා. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පසුපසින් ම ගමන් කළා. උන්වහන්සේට පැන් පිළිගැන්වූවා. දන් වැළඳීමෙන් පසුව අස්සජී මහරහතන් වහන්සේ සමඟ උපතිස්ස පිරිවැජියා කථාවට වැටුණා. අස්සජී මහරහතන් වහන්සේ දෙස ඇස පිය නොහෙළා බලා සිටියා. ඉතා දීප්තිමත් නෙත් යුග තුළින් අසාමාන්*ය කාන්තියක් විහිදුනා. ඒ මද සිනහවෙන් අහිංසක පිවිතුරු බවක් දිස් වුණා. උන්වහන්සේ කථා කරන හැම වචනයක ම අවංකකමත්, සත්*යයත් දිළිසෙන්න වුණා. “පින්වත් උපතිස්ස, ඇත්තෙන් ම මේ පැවිදි ජීවිතයට මං අළුත් කෙනෙක්. මාගේ ශාස්තෘන් වහන්සේ තුළ ඇති ජීවිතාවබෝධය මහා සාගරය වගේ පළල් එකක්. අහස වගේ අනන්ත එකක්. හිරු එළිය වගේ දීප්තිමත් එකක්. එනිසා පින්වත් උපතිස්ස ඔබට විස්තර වශයෙන් කියන්න තරම් මා තුළ දැනුමක් නැහැ. ඒ නිසා මා හිතන්නේ වඩාත් ම හොඳ දෙය නම් ඒ මාගේ ශාස්තෘන් වහන්සේ මුණගැසෙන එකයි.” “පින්වත් ස්වාමීනී, ඒකෙ ඇත්තක් තියෙනවා. නමුත් ඔබ වහන්සේ ගැන මගේ සිතේ ඇති වුණ පැහැදීම අනන්ත යි. ඇත්තෙන් ම ස්වාමීනී, මගේ ජීවිතයේ ප්*රථම වතාවටයි මෙතරම් සුන්දර චරිතයක් මුණ ගැසුනේ. ඔබ වහන්සේ ගේ හැම ඉරියව්වක් ම මාව වසඟයට පත් කළා. අනේ ස්වාමීනී, ඉතා ස්වල්පයක් වුණත් කමක් නැහැ. ඔබවහන්සේ දන්නා දෙය මට පවසා වදාළ මැනැව. තේරුම් ගැනීම මා සතු දෙයක්. ඒ ගැන මට විශ්වාස යි.” අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා දෙස බලා ඉතා අහිංසක ලෙස ගාථාවකින් උන්වහන්සේ තේරුම්ගත් ධර්මය මෙසේ පැවසුවා.
යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ
තේසඤ්චයෝ නිරෝධෝ - ඒවං වාදී මහාසමණෝ
හේතූන්ගෙන් උපදින - යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
ඒ හේතූන් පිළිබඳ - වදහළ සේක තථාගතයාණෝ
යම් තැනක ඒ සියළු හේතූන් - සදහටම නැති වේ නම්
එබඳූ දහමකි අප ගේ - මහාසමණිඳූ වදාරන්නේ