කිමිකෝ රහීම් (දකුණේ) සහ මිචිකෝ රහීම් (වමේ) ඊයේ සිය ජයග්රහණයෙන් පසු ක්‍රීඩා ඇමති සමග
දකුණු ආසියානු පිහිනුම් තටාකයේ ශ්‍රී ලංකාවට රන් ගෞරව දිනාදුන් රහීම් පවුලේ දියණියක් වන කිමිකෝ රහීම් ඊයේ තවත් රන් පදක්කම් 2 ක් සමග මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා තරග අංශයෙන් ශ්‍රී ලංකාවට හිsමිවූ තෙවැනි රන් පදක්කමද, තමන් සතුකරගැනීමට සමත්වද්දී දැන් ක්‍රියාත්මක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම රන් පදක්කම් ලාභියා බවට පත්ව සිටි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ ඊයේ මීටර 400 මිශ්‍ර ආර ඉසව්වද ජය ගනිමින් සිය 5 වැනි රන් පදක්කම ගෙළ පැළඳුවේය.
ඊයේ දිනයේ පිහිනුම් තරග අවසන් කරමින් පැවැති මීටර් 50 නිදහස් ආර ඉසව්වේදී 4 වැනි මංතීරුවෙන් තරගවදිමින් තත්පර 26.49 ක කාලයක් සහිතව දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩිකාව බවට රහීම් පවුලේ බාලම දියණිය වූ කිමිකෝ පත්වද්දී, එම පවුලේ දියණියන් තිදෙනාගෙන් දෙවැන්නා වන මචිකෝ රහීම් තත්පර 27.40 ක කාලයක් සමග 5 වැනි මංතීරුවෙන් තරග වදිමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් මොහොත කැපී පෙනුණි.
ඒ සමග ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට හිමිවූ රන් පදක්කම් 3ම පිහිනුම් ක්‍රීඩාවෙන් හිමිවීම විශේෂත්වයක් විය.
දැවැන්තම කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව අද මලල ක්‍රීඩා පිටියට
12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තු සහිත තරග අංශයක් වන මලල ක්‍රීඩා තරග අද ගුවහති හී ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතය.
ඉකුත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩා තරග අංශයෙන් පැවැත්වුණේ ඉසව් 23 ක් පමණක් වන අතර එහිදී එහිදී රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ 6 ක් ලෙස ශ්‍රී ලංකාව පදක්කම් 22 ක් දිනාගන්නා අතරවාරයේ ඉන්දියාව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගත්තේය.
නමුත් මෙවර ඉන්දියාව සත්කාරක රට ලෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙක් දකුණු ආසියානු මලල ක්‍රීඩා පිටියට යොමුකරද්දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව් සඳහා 69 දෙනෙක් ඉදිරිපත්වනු ලබන අතර ඒ අනුව සත්කාරක රටද ඉක්මවා යන තරමේ පිරිසක් වැඩි ඉසව් ගණනක් සඳහා සහභාගීවන බැවින් ශ්‍රී ලංකාවට මෙවර මලල ක්‍රීඩාවෙන් වැඩි පදක්කම් සංඛ්‍යාවක් හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැක.
මෙවර මලල ක්‍රීඩා තරග අංශයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 කට වැඩි බලාපොරොත්තුවක් තමා තිබෙන අතර ඒ අතුරින් රන් පදක්කම් 5 ක බලාපොරොත්තු අද දිනය සඳහා යෙදී තිබේ.
මෙහිදී මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමේ වැඩි හැකියාව ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් සතුවන අතර මෙම තරග සමයේ ඔහුගේ හොඳම කාලය තත් 10.36 ක් වශයෙන් සටහන් වේ. ඉකුත් ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දුර පැනීමේ කාන්තා අංශයේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමූ, කලාපයේ අංක එකේ සිටින සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාව වන එන්.සී.ඩී. ප්‍රියදර්ශනී අද දිනයේදී අදාළ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් ජයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැක. මීටර් 800 කාන්තා සහ පිරිමි යන ඉසව් දෙකෙහිම රන් පදක්කම සඳහා වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාව සතුවන අතර එහිදී පිළිවෙලින් නිමාලි ලියනාරච්චි සහ ඉඳුනිල් හේරත් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මංජුල කුමාරගේ උස පැනීමේ ඉසව්වද අදට යෙදී තිබෙන අතර ඔහු මෙහි රන් පදක්කම දිනාගතහොත් අදාළ ඉසව්වේ පිට පිටම තෙවැනි වරටත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කම දිනාගැනීමේ ගෞරවය ඔහු සතුවනු ඇත.
වොලිබෝල් ක්‍රීඩිකාවන් අවසන් තරගයට
සිය පළමු තරගයේදී නේපාලය පරාජයට පත්කළ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ ඊයේ මාලදිවයින ද පරාජයට පත්කරමින් අද ඉන්දියාව සමග අදාළ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. නමුත් ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග විලාසය එතරම් ඉහළ මට්ටමක නොතිබූ අතර ඉතා පහසු ප්‍රතිවාදියකු වන මාලදිවයින ඉදිරියේ ඔවුන්ගේ වට 3-0 ක ජයග්‍රහණයේ දෙවැනි සහ තෙවැනිවට වලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඇල්මැරුණු තරග ස්වභාවයක යෙදෙනු පෙනිණි.
පෙරේදා පැවැති ඉන්දියාව සමග තරගය තරග වට 3-0 ක් ලෙසින් පැරදුණු ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඊයේ පකිස්තානය සමග තීරණාත්මක තරගයක යෙදීමට නියමිත වූ අතර එම තරගය ජයගතහොත් ඔවුනටද අවසන් මහා තරග වරම ලැබීමට අවස්ථාව තිබිණි. 'දිවයින' ප්‍රාදේශීය මුද්‍රණයට යෑවෙන විට අදාළ තරගය ක්‍රියාත්මක වෙමින් පැවතුණි.
බර ඉසිලීමෙන් තවත් පදක්කම්
බර ඉසිලීමේ තරග අංශයෙන් ඊයේ පැවැති කිලෝ ග්‍රෑම් 105 පිරිමි තරගයේ රිදී පදක්කම ශානක මධුශංකටද, කිලෝ ග්‍රෑම් 94 පිරිමි අංශයෙන් තුසිත සිරිමල් කරුණාරත්න ලෝකඩ පදක්කමද, කිලෝ ග්‍රෑම් 85 පිරිමි තරගයෙන් රොමේෂ් සමරසේකර ලෝකඩ පදක්කමද, කිලෝ ග්‍රෑම් 75 කාන්තා අශිනි සුරංගි රිදී පදක්කමද දිනාගත්හ.
පාපැදි ක්‍රීඩිකාවන්ට රිදී හිමිවෙයි
කිලෝ මීටර් 75 කණ්ඩායම් කාලය මැනීමේ පාපැදි පිරිමි තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිවද්දී කිලෝමීටර් 40 කාන්තා කාලය මැනීමේ කණ්ඩායම් තරගයේදී උදේශනී නිරංජනී, ලසන්ති ගුණතිලක, ශ්‍රියාලතා වික්‍රමසිංහ, සුදාරිකා ප්‍රියදර්ශනී යන ක්‍රීඩිකාවෝ රිදී පදක්කම දිනාගත්හ.
පාපන්දු පරාජයක්
ඊයේ පැවැති පාපන්දු තරග අංශයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමග තරගයේදී ගෝල 3-1 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත තරගයේදී ඉන්දියාව පරාජය වුවහොත් පමණක් (ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පැරදවූ බැවින්) ශ්‍රී ලංකාවට එම අවසන් මහා තරගය සඳහා අවස්ථාව තිබේ.
Source:
http://www.divaina.com/2016/02/09/sports01.html